Monday, March 9, 2015

ඊයේ අපිට මොකද උනේ | Our Chances in CWC 2015



2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ අවසාන ඉවර උනේ ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයග්‍රහණයක් ලබාදෙමින්.

ගොඩක් අය කියන්නේ ඕස්ට්‍රේලියාවට අපේ ටීම් එක ගහපු ගැහිල්ල හරි හොඳයි කියලයි. ඒ වගේම ඒ පරාජය ජයග්‍රාහී පරාජයක් විදියටත් බොහෝ දෙනා අර්ථ දක්වලා තිබුණා. සංගක්කාරගේ ශතකය, ඩිල්ෂාන් එක ඕවරයකදී 4 පාරවල් 6ක් ගැසීම, චන්දිමාල්ගේ පන්දු 22 අර්ධ ශතකය වගේ දේවල් එ තරඟයේදී අපි දැක්ක හොඳ දේවල් තමයි. නමුත් ඒ මැච් එකේදි අපි හරියට සෙල්ලම් කළාද? ඇත්තටම ඒක ජයග්‍රාහී පරාජයක්ද? එහෙමත් නැතිනම් අනිවාර්යෙන්ම වෙන්න තිබ්බ පරාජයක්ද?

මීට කළිං මැච් එකේ එංගලන්තෙත් එක්ක දින්නට පස්සේ ලිව්ව සටහනේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කළා. ඒ ප්‍රශ්න ඔක්කෝම ඒ විදියටම මේ තරඟයේදීත් තිබ්බ එක තමයි අවාසනාවට කාරණාව.



මුලින්ම සළකමු පන්දු යැවීම...

එංගලන්ත තරඟයේදී අන්තිම ඕවර 10 දී ලකුණු 103ක් ලබා දුන්නා. ඊයේ තරඟයේදී අන්තිම ඕවර 10 දී ඕස්ට්‍රේලියාව ලබාගත්ත ලකුණු ගාණ 123ක්. ඒක එංගලන්තය ලබාගත්තට වඩා ලකුණු 20ක වැඩිවීමක්. අන්තිම ඕවර 15ම බැලුවොත් ඕස්ට්‍රේලියාව ලකුණු 175ක් ගැහුවා. බැටිං පවර්ප්ලේ ඕවර් 5දී ඕස්ට්‍රේලියාව ගත්ත ලකුණු ගාණ ලකුණු 54ක්. ඒ වගේම අන්තිම ඕවර 10දී ඕවරයකට ලකුණු 12.3ක වේගයක් රඳවාගන්න ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අපේ පන්දු යවනන් ඉඩ ප්‍රස්ථාව දීලා තියෙනවා.

ඊයේ අවසාන ඕවර 10යේදී අපේ පන්දු යැවීම සිදු වුනේ මේ ආකාරයටයි.
ප්‍රසන්න ඕවර් 2 (41,46)  ලකුණු 33 (RPO 16.5)
මැතිව්ස් ඕවර් 3 (42,44,50) ලකුණු 33 (RPO 11.0)
තිසර    ඕවර් 3 (43,47,49) ලකුණු 47 (RPO 15.6)
මාලිංග  ඕවර් 2 (45,48) ලකුණු 10 (RPO 5.0)

එංගලන්ත තරඟයට සාපේක්ෂව ඉතා හොඳ පන්දුයැවීමක් ලසිත් මාලිංගගෙන් දක්නට ලැබුණත්, මැතිව්ස් සහ තිසර දෙදෙනාම ආයෙත් වතාවක් දැඩි ප්‍රහාරයකට ලක්වුනා. ප්‍රසන්න තමන්ගේ ඕවර 10දී ලබා දුන් ලකුණු 77න් 33ක්ම ලබාදුන්නේ මේ අවසාන ඕවර 2දී වීමත් විශේෂත්වයක්. ඒ කියන්නේ දැන් ගැටළුව පැහැදිලියි. අන්තිම ඕවර 10යේ පන්දු යැවීම සඳහා තිසර සහ මැතිව්ස් සුදුසු නැහැ. සචිත්‍ර, ඩිල්ෂාන් දෙනම ඉද්දි දිගින් දිගටම තිසරවම බෝල් කරන්න දාන්න මැතිව්ස්ට හිතුනේ ඇයි කියන එක ගැන කිසිම අදහසක් මට නැහැ. ඒත් දැං වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඉඳිරි තරඟවලදී ඒ වෙනුවට වෙන යම් විකල්පයකට යා යුතුයි. මාලිංග මීට වඩා වැඩි ඕවර සංඛ්‍යාවක් අවසාන ඕවර 10 තුළදී යැවිය යුතුයි. ඒ වගේම ඩිල්ෂාන් සහ සචිත්‍ර දෙදෙනාව මීට වඩා භාවිතා කරන්නට තිබුණා. තමන්ට ඉන්න හොඳම පන්දු යවන්නන්ව ඉතුරු කරගෙන අනිත් අයගෙන් මැද ඕවර් 25,30 කවර් කරගන්න එක නායකයාගේ වැඩක්. කෙසේවෙතත් අවසාන ඕවර 10දී ලකුණු 100කට වඩා අපේ පන්දු යවන්නන් ලබාදෙන මේ ක්‍රියාවලිය වෙනස් විය යුතුමයි. එහෙම නැති උනොත් ඉස්සරහටත් ලකුණු 350ක් 360ක් පස්සෙන් පන්නන්න තමයි වෙන්නේ.

පන්දු රැකීමත් ඒ ආකාරමයි. ඊයේ දවසේදී අතෑරපු උඩපන්දු ගණන 4ක්. ඒ වගේම හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමත් සාපේක්ෂව මදි. ඊයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 4 සීමාව ආසන්නයේදී පන්දුව රැකීමෙන් අපිට වඩා බොහොම ඉහළින් හිටියා. මගේ පුද්ගලික විශ්වාසය, ඊයේ දවසේදී පන්දු රැකීම ඉහළ තලයක තිබ්බනං අපිට ඕස්ට්‍රේලියාව ලබාගත්ත ලකුණු ගණන 350ට අඩු කරගන්න තිබුණා. නමුත් ඒක එහෙම උනේ නැහැ. අපේ කණ්ඩායමේ පන්දු රැකීමේ මේ දුර්වලතාවය ලෝක කුසලානය පුරාම අපි දැක්ක දෙයක්. ඒක කවදා හැදෙයිද කියන්න දන්නේ නැහැ.



පන්දුවට පහරදීමත් එහෙම්මම තමයි.
හැමදාම වගේ බැට් කරන්න ආපු ගමං තිරිමාන්න දෙන කැච් එක මිස් නොකර අල්ලගන්න ඕස්ට්‍රේලියාවට පුළුවං උනා. ඊයේ මැච් එකට බැට්ස්මන්ලා 9ක් ගැහුවට ඒකෙන් සාර්ථක උනේ තුන්දෙනෙක් විතරයි. ඒ ඩිල්ෂාන්, සංගක්කාර සහ චන්දිමාල්. මේකෙන් වඩාත් වැදගත් වෙන්නේ චන්දිමාල්ගේ සාර්ථකත්වය. ඊයේ වෙනකං කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ චන්දිමාල්ට ඔය තරම් හැකියාවක් තියෙනවා කියලා වේගයෙන් ලකුණු රැස්කරන්න. නමුත් අධික පීඩනයක් යටතේ උනත් චන්දිමාල් ඉතාම දක්ෂ විදියට පහරදීලා ඉතා ඉක්මන් ලකුණු 50ක් කණ්ඩායමට ලබා දුන්නා. ඒ දායකත්වය අතිශය තීරණාත්මකයි. නමුත් සමස්ථයක් විදියට අනිත් පිතිකරුවන් හැමෝම ෆේල්. ඒ බව අපි පිළිගත යුතුයි. උඩ තුන් හතරදෙනා ගැහුවේ නැත්තං ලකුණු ගහන්න වෙන කෙනෙක් නැහැ කියන දේ ආයෙත් වතාවක් පැහැදිලි උනා. ඊයේ මැච් එකේදී චන්දිමාල් පාදයේ ආභාදයක් ඇවිත් පැවිලියන් එකට යන්නේ ලකුණු 281දී. එතකොට ඕවර් ගණන දැක්වුනේ 41.2ක් විදියට. එතන ඉඳලා ඕවර් 5ක් යද්දි ලකුණු 30ක් විතරක් එකතුවෙද්දි අපි ඕල්අවුට් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ මැද පෙළ දුර්වලයි කියන දේ දෙවෙනි වතාවටත් ඔප්පු උනා. ඒ වගේම හරි හමං බෝලිං ඇටෑක් එකක් දෙන්න පුළුවං ටීම් දෙකක්ම දැං අපිව ඕවර් 50ට කලිං ඕල්අවුට් කරන්න පුළුවං කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉස්සෙල්ලාම නවසීලන්තේ අපිව ඕවර් 47කදී ඕල්අවුට් කළා. ඊයේ ඕස්ට්‍රේලියාවත් අපිව ඕවර් 47කදී ඕල්අවුට් කළා. අඩුම ගානේ ඕවර් 50 බැට් කරගන්නවත් අපිට බෑ නේද කියන සිතුවිල්ල ස්ථිර කරන එක යහපත් දෙයක් නෙමේ. ලෝක කුසලානේ ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේ දේවල් ඉතා ඉක්මනින්ම වෙනස් කරගත යුතුයි.

අපිට තියෙන ඊළඟ මැච් එක තියෙන්නේ ස්කොට්ලන්තේ එක්ක. ඒ මැච් එක දිනාගන්න අපේ අයට හැකියාව තියෙනවා. ඒක දින්නත් අපි නතර වෙන්නේ A3 කියන ස්ලොට් එකේ. මේ යන විදියට B2 කියන ස්ලොට් එකේ ඉතුරු වෙන්නේ දකුණු අප්‍රිකාව. එතකොට අර්ධ අවසන් පූර්ව තරඟය (Quarter Final) තියෙන්නේ අපි සහ දකුණු අප්‍රිකාව අතර. ඒ මැච් එකේදීත් මේ විදියට බෝල් කළොත් ඊයේ මැක්ස්වෙල් බෝල 50කදී ලකුණු 100ක් ගැහුවා වගේ එදාට ඩිව්ලියර්ස් බෝල 80කට 180ක්වත් ගහයි. කොහොමත් දකුණු අප්‍රිකාව එක්ක මැච් එකේදී එයාලා මුලින් බැට් කළොත් ලකුණු 370ක් 380ක් විතර එළවන්න බලාපොරොත්තුවෙන් ඉන්න එක හොඳයි. මේ බෝල් කරන විදිය සහ ෆීල්ඩ් කරන විදිය දැක්කම ඊට වඩා යහපත් චිත්‍රයක් මවාගන්න බැහැ. ඒ වගේම බැටිනුත් මේ විදියටම තිබ්බොත් ලකුණු 330ක් විතර ගහගන්න අපේ අයටත් පුළුවං වේවි. ලකුණු 40කින් විතර මැච් එක පැරදුනාම ඊට පහුවෙනිදට ක්‍රිකට් විචාරක බුවාලා හැමෝම වගේ ඒකත් "ජයග්‍රාහී පරාජයක්" විදියට අර්ථ දක්වාවි. පත්තරවලත් එහෙම්මම තියේවි. ලෝක කුසලානේ වෙන ටීම් එකක් ද්නාගන්නවා අපිට කට ඇරගෙන බලගන්න නං හැකියාව තියේවි.

අපි සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් පූර්ව තරඟය තියෙන්න නියමිත වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගනයේදීමයි. ඒ කියන්නේ ඊයේ දවසේ මැච් එක තිබ්බ පිට්ටනියේමයි. ලෝක කුසලාන ඉතිහාසය ගත්තෝතින් දකුණු අප්‍රිකාව කියන්නේ ඉතාම අවාසනාවන්ත රටක්. හැම ලෝක කුසලානෙකටම කළිං රෑන්ක් 01 ඉන්න කණ්ඩායම තමයි දකුණු අප්‍රිකාව. ඒ වගේම පළවෙනි රවුමත් හොඳින්ම ඉවර කරන කණ්ඩායමක් තමයි ඔවුන්. හැබැයි ඔවුන්ගේ වාසනාව හැමදාම ක්වාටර් ෆ්යිඅල්, සෙමි ෆයිනල් එද්දි ඉවර වෙනවා. බොහොම අවාසනාවන්ත විදියට ෆයිනල් පෙනි පෙනී ඔවුන් තරඟාවලියෙන් ඉවතට විසිවෙච්ච අවස්ථා ගණන එකක් දෙකක් නෙමේ. අනිත් අතිං අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තම ෆයිනල් එන්න තියෙන වාසනා ශක්තිය නං අති විශාලයි. 2003 ඉඳංම ලෝකේ හැම කලාපෙකම තිබ්බ ලෝක කුසලානවලදී අන්තිම කණ්ඩායම් 4ට එන්න අපිට පුළුවං උනා. වාසනාව කියන සාධකේ අතිං අපි දකුණු අප්‍රිකාවට වඩා ඉඳිරියෙන් ඉන්නවා. හැබැයි මෙදාපාරත් ඒ වාසනාව අපිට තියෙයිද?

මේ ගැටළු ඔක්කෝටම උත්තර දැක බලාගන්න පුළුවනි ලබන මාර්තු 18 වෙනිදට. ඒ වෙද්දි දැං මේ තියෙන දුර්වලතාවයන් හදාගෙන වඩාත් ශක්තිමත්ව ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායමට ශක්තිය, ධෛර්යය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහේ ඉඳං ක්‍රීඩාලෝලීන් විදියට අපිට කරන්න පුළුවං එකම දේ ඒක විතරයි!!!

Monday, March 2, 2015

එංගලන්තේ හමුවේ ලැබූ ජය මහා විශාලද? | DO NOT PANIC, We are far behind.


2015 වර්ල්ඩ්කප් එකේ ශ්‍රී ලංකාව සහ එංගලන්තේ අතර තිබ්බ මැච් එකෙන් ඊයේ අපි විකට් 9කින් දින්නා... ලකුණු 310ක් ඕවර් 47කදී එක විකට් එකක් විතරක් අවුට් වෙලා හඹාගෙන ගිහිං දිනනවා කියන්නේ ලොකු දිනුමක් තමයි.

ඊයේ මැච් එකේදී අපේ ටීම් එකේ රෙකෝඩ් කීපයක්ම කැඩුනා. වර්ල්ඩ්කප් එකකදී අඩුම වයසෙන් සෙන්චරියක් ගැහුව ශ්‍රී ලාංකිකයා බවට තිරිමාන්න පත්වෙද්දි, බෝල 70කින් 100 ගහලා සංගක්කාර තමන්ගේ වේගවත්ම 100 සටහන් කරගත්තා. ඒ වගේම පළවෙනි විකට් එකට ආයෙත් ලකුණු 100ක සම්බන්ධතාවයක් තියාගන්න ඩිල්ෂාන්, තිරිමාන්න ජෝඩුවට පුළුවං උනා... දෙවෙනි විකට් එකට තිබ්බ නොබිදුණු ලකුණු 212ක සම්බන්ධතාවයත් වර්ල්ඩ්කප් රෙකෝඩ් එකක්...

හැබැයි ඒක මහා ලොකු දිනුමක්ද?
ඊයේ මැච් එක ගැහුව විදියට සෙල්ලම් කළොත් අපිට මේ සීරීස් එකේ ඉස්සරහට යන්න පුළුවංද?

මේ ගැන කතා කරන්න නං ඊයේ මැච් එකේ අපි සෙල්ලම් කරපු විදිය ගැන අදහසක් ගන්න වෙනවා...

ඊයේ මැච් එකේදී ඒ ගහපු ලකුණු 312 ඔච්චර ලේසියෙන් ගහන්න හැකි උනේ එංගලන්තේ දුර්වල පන්දු යැවීම සහ දුර්වල නායකත්වය නිසා කියන බව අමතක කරන්න හොඳ නැහැ. අඩුම ගානේ ඇෆ්ගනිස්ථානේ මැච් එකේදී ඇෆ්ගන් නායකයා අපිට ඇටෑක් කරපු තරම්වත් ඊයේ එංගලන්ත නායකයා තමන්ගේ පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් යොදවලා ඇටෑක් කළේ නැහැ... එහෙම කළා නං ඊයේ තරඟේ තීරණේ ඔය තරං පහසුවෙන් විසඳගන්න ලැබෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

ඒ වගේම දැනට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අන්තිම ඕවර 10 බෝල් කෙරිල්ල.
ඊයේ මැච් එකේදිත් අන්තිම ඕවර් 10ට ලකුණු 103ක් ගැහුවා එංගලන්තේ...
ඒ 103න් 90ක්ම ආවේ අන්තිම් ඕවර 7ට... ආසන්න වශයෙන් ඕවරේකට ලකුණු 13ක්...
 
අන්තිම ඕවර් 10දී
මාලිංග ඕවර් 3ක් ලකුණු 24 (RPO 8), ලක්මාල් ඕවර් 2ක් ලකුණු 28 (RPO 14)
මැතිව්ස් ඕවර් 2ක් ලකුණු 18 (RPO 9), තිසර ඕවර් 1 ලකුණු 25 (RPO 25)
හේරත් ඕවර් 2ක් ලකුණු 11 (RPO 5.5) විදියට තමයි ඔය ලකුණු 103 දුන්නේ...

මේ බෝලර්ස්ලා 5න් 3ක්ම ෆුල් ටයිම් බෝලර්ස්ලා. එහෙම අය බෝල් කරලත් ඕවරේට ලකුණු 10ක් ගහනවා එංගලන්තේ වගේ ටීම් එකක්...

ඕස්ට්‍රේලියාවේ මැක්ස්වෙල්, දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස්, ඉන්දියාවේ දෝනි/රයිනා වගේ උන්දැලාට අහු උනෝතින්, 150කින් මෙහා නවතින්නේ නැහැ අන්තිම ඕවර් 10යේ ලකුණු දිවිල්ල... අපි පිළිගන්න ඕනේ දේ තමයි, අවසාන ඕවර් 10යේ අපේ පන්දු යැවීම දුර්වලයි...

ඒ වගේම තමයි පන්දු රැකීම.
ඊයේ මැච් එකේදීත් ආසන්න වශයෙන් විකට් ගන්න තිබ්බ චාන්ස් 4ක් අපි මිස් කළා...
වෙනදාට තමන්ගේ අහළින් උඩින් හෝ බිමින් වැරදිලාවත් බෝලයක් යන්න නොදෙන ඩිල්ෂාන් මේ වර්ල්ඩ් කප් එකේදී එහෙම කරන්නේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම සීරීස් එකේ ඉන්න අනිත් ටීම් එක්ක ගත්තම අපේ ෆීල්ඩිං ස්ටෑන්ඩර්ඩ් එක තියෙන්නේ බොහොම පල්ලෙහායින්... ඔය ගැහුව ලකුව 309න් අවම ලකුණු 20ක්වත් අඩු කරගන්න තිබ්බා ෆීල්ඩිං හොඳට තිබ්බානං... ලකුණු 20ක් කියන්නේ මැච් එකක තීරණේ වෙනස් කරන ලකුණු ගාණක්...

දැං බලමු පන්දුවට පහර දීම...
බැට් කරන්න ආව ගමංම මිස් කරන්න කැච් එකක් දෙන්නේ කොහොමද කියන එකට උත්තරේ දන්නේ තිරිමාන්නම තමයි. තිරිමාන්නගේ හොඳ හෝ නරක වෙලාවට ඊයෙත් තිරිමාන්න දුන්න කැච් එක එංගලන්තේ මිස් කළා... ඒ වගේම තමන්ගේ සෙන්චරිය අතර මගදීත් තව ආසන්න අවස්තා දෙකක් විතර තිරිමාන්න දුන්නා... එංගලන්තේ ඒවා ප්‍රයෝජනේට නොගත්ත එක ගැන දැං ඔවුන් කණගාටු වෙනවා ඇති. නමුත් අපේ පැත්තේ තියෙන ප්‍රශ්නේ එහෙම්මම තියෙනවා තවම. ඒකට විසඳුමක් නැතුවද තව ඉස්සරහට යන්නේ...
දැනට පළවෙනි 4 දෙනාම ලකුණු අතරේ ඉන්න එක සතුටට කාරණයක්. ඒ වගේම තිසරත් තමන්ට ලැබුන චාන්ස් එකකදී පීඩනේ මැද්දෙන් ලැජ්ජාව බේරගෙන ලකුණු කීපයක් එක්කහු කරගත්තා. පිතිකරණය දැනට ශේප්. හැබැයි කොලිටි බෝලිං ඇටෑක් එකකදී අපේ බැටිං ෆේල් කියන එක පළවෙනි නිව්සීලන්ඩ් මැච් එකේදිම පැහැදිලිවම පෙන්නුවා...

ටීම් සිලෙක්ෂන් එකේ ඉඳලාම තිබ්බ සංකල්පීය ගැටළු ටික තවමත් ඒ ආකාරයෙන්මයි තියෙන්නේ. කව්රු මොනවා කොහොම කිව්වත් තවම ටීම් එක 100%ක් බැලන්ස් නැහැ කියන එක පිළිගත යුතුයි. ආරංචි විදියට හේරත්ගේ වම් අත තමයි ඊයේ තුවාල වෙලා තියෙන්නේ. ඊළඟ මැච් එකට තව සතියක කාලයක් තිබුණත් ඒ කාලය තුළදී හේරත්ට සනීප වෙන්න වෙලාව තියෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම සචිත්‍ර සේනානායකව එක්කගෙන ගිහිං තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තේ සාරවත් තණභූමි පෙන්නන්නද කියලා මම දන්නේ නැහැ. හේරත් සම්පූර්ණයෙන්ම සනීප නොවුනොත් සචිත්‍රට අවස්ථාවක් ඒවි කියලා විශ්වාස කරන්න පුළුවනි. ඒ වගේම සුරංග ලක්මාල්ට සාපේක්ෂව කුලසේකර අත්දැකීම් සහ දක්ෂතාවයන්ගෙන් ඉස්සරහින් ඉන්නවා කියන එකයි මගේ පෞද්ගලික මතය. ඒකනිසා ඊළඟ ඕස්ට්‍රේලියානු මැච් එකේදීවත් කුලසේකරට අවස්ථාවක් දිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොන විදියකින් හරි තිර්මාන්න ඊයේ 140ක් ගැහුව නිසා ආරම්භක පිතිකරු ස්ථානයේ දිගටම ඉන්න ඔහුට පුළුවනි. ඒ කියන්නේ උපුල් තරංග ඊළඟ මැච් එකේදීත් බංකුවට වෙලා ඉඳීවි. 
දුෂ්මන්ත චමීර සහ තරංග පරණවිතාන ගැන මොකුත් නොකියා ඉන්නං. සමහර විට ස්කොට්ලන්ඩ් මැච් එකේදී ඒ දෙන්නගෙන් කෙනෙක්ට හෝ දෙන්නටම චෑන්ස් එකක් වදීවි සෙල්ලං කරන්න. නැත්තං ඉතිං ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ සිරි නරඹන්න ගියා කියල හිත හදාගන්න ඒ දෙන්නට පුළුවං වෙයි.

ලීග් ස්ටේජ් එකේ තව මැච් දෙකක් ඉතුරුයි.
ඒ ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තේ අතර මැච් දෙක. 

ඔය දෙකම දින්නත් අපි ඉතුරු වෙන්නේ A2 කියන ස්පොට් එකේ. ක්වාටර් ෆයිනල් සඳහා එන්නේ B3 කියන ස්ලොට් එකේ තියෙන රට. දැනට තියෙන තත්ත්වේ අනුව වෙස්ට් ඉන්ඩීස්, අයර්ලන්ඩ්, සිම්බාබ්වේ, සහ පාකිස්ථානේ කියන රටවල් 4න් ඕනෙම එකක් B3 කියන ස්ලොට් එකට එන්න පුළුවනි. මේ ඉන්න තත්වෙං ඔය රටවල් 4ට ගහන එක මහ අමාරුවක් වෙන්නේ නැහැ... එහෙම උනෝතිං සෙමි ෆයිනල් යන්න හැකියි අපිට.

ඕස්ට්‍රේලියාවට පැරදිලා ස්කොට්ලන්තේට තලාගත්තෝතිං අපි නවතින්නේ A3 කියන ස්පොට් එකේ. ඕකට අනිත් පැත්තෙං එන්නේ B2 කියන ස්ලොට් එකේ තියෙන රට. බොහෝ විට ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව ඒකට එන්න පුළුවං. මේ ඉන්න තත්ත්වෙං ඔය රටවල් දෙක එක්ක සෙල්ලං කරනවා කියන්නේ, වර්ල්ඩ්කප් හීනේට අබ සරණයි තමයි. ක්වාටර් ෆයිනල් වලිංම හැරිලා එන්න පුළුවං ආයේ මව්රට බලා.

ලබන ඉරිදා (මාර්තු 08) ඕස්ට්‍රේලියාව එක්ක තියෙන මැච් එක අනිවාර්යෙන්ම දිනා ගත යුතු මැච් එකක්. ඒක දිනාගන්න එක මේ වර්ල්ඩ් කප් එකේ අනාගත පැවැත්ම උදෙසා මහෝපකාරී වෙනවා.

බැටිං, බෝලිං, ෆීල්ඩිං කියන අංශ 3ම තියෙන ඔය ප්‍රශ්න ටික ගොඩ දාගන්න අපේ ටීම් එකට ශක්තිය, ධෛර්යය සහ හැකියාව ලැබේවා කියලා මෙහේ ඉඳං ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න ක්‍රීඩාලෝලීන් විදියට අපිට වෙන කරන්න දෙයක් නැහැ.

හැබැයි ඉතිං 2007, 2011 දෙකේදීම ගේන්න බැරි වෙච්ච ලෝක කුසලානේ මේ පාරවත් ගෙනේවි කියන බලාපොරොත්තුව අපේ හිතවල තියෙනවා කියන එකත් ටීම් එකේ ඉන්න සියල්ලෝම දන්නවා... 
 
අපි බලමු!!!