Tuesday, August 5, 2014

ශ්‍රි ලංකා, පාකිස්තාන පළමු ටෙස්ට් තරගය...




සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පවත්වන්නට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමුවන තරඟය අද උදෑසන ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදි ආරම්භ විමට නියමිත තිබේ.


එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟයන් දිනා සිටි ශ්‍රී ලංකා කණඩායම දකුණු අප්‍රිකාණුවන් ඉදිරියේ ලැබු පරාජයෙන් යම් තාක් දුරට සාර්තකත්වයට පත් වීමට නම් මෙම තරඟාවලිය ජය ගත යුතුව තිබේ.


සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර, උපනායක ලහිරු තිරිමාන්න ක්‍රීඩා කරන්නේ නැත. ව්ශේෂයෙන්ම සදහන් කලයුතු කරුණ වන්නේ මහේල ජයවර්ධන ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වීමයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් මෙමෙ තරඟයේදීත් ලකුණු අතරට පැමිණීමට හැකි උවහොත් මහේලට මෙන්ම අපටද ප්‍රීති ඝෝෂා නැගිය හැක.


අපගේ අනික් බලාපොරොත්තුව වන්නේ කුමාර සංගක්කාරයි. උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ඉකුත් දකුණු අප්‍රිකාණු තරඟාවලියේදි දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම තරඟයටද කැදවා තිබේ. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ක්‍රීඩා කරන අතර වේග පන්දු යවන්නන් ලෙස දම්මික ප්‍රසාද් සමගින් ශාමින්ද එරංග ක්‍රීඩා කරනු ඇති.

 

පාකිස්තානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මිස්බා උල් හක් වන අතර පිතිකරුවන් ලෙස යුනිස් ඛාන්, අහමඩ් ෂෙහාඩ්, කුරාම මන්සූර්, අසාර් අලි ක්‍රීඩා කරන අතර වේග පන්දු යවන්නන් ලෙස ජුනයිඩ් ඛාන් සමගින් අබ්දුර් රෙහෙමාන් ක්‍රීඩා කරනු ඇති. රංහන හේරත් සමගින් කරට කර කඩුළු ලබා ගැනීමට සෑම තරඟයකම දඟ පන්දු යවන්නකු ලෙස මහඟු සේවයක් ඉ‍ටු කරන සහීඩ් අජ්මාල් මෙමෙ තරඟයේදී ශ්‍රී ලංකා පිලට අභියෝගයක් වනු නොඅනුමානය.


කෙසේවෙතත් ඉකුත් දකුණු අප්‍රිකාණු ටෙස්ට් තරඟයට මෙන් වර්ශාවෙන් බාදාවක් ඇති නෙවී මෙමෙ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු...



ජය වේවා...!!!

Monday, July 28, 2014

පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං - මංජු වන්නිආරච්චි | Manju Wanniarachchchi - The Boxer



මංජු වන්නිආරච්චි...
ඔබට ඒ නම මතක ඇති...
ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ඨතම,
බොක්සිං ක්‍රීඩකයෙක් ඔහු...
2010 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී,
තමන් තරඟවදින බැන්ටම් බර පංතියේ (කි.ග්‍රෑ 56),
රන් පදක්කම දිනාගන්නේ මංජු!!!
නමුත් ඒ පදක්කම මංජුට අහිමි වෙන්නේ,
තහනම් උත්තේජක පාවිච්චි කළ බවට,
ජාත්‍යන්තරය හමුවේ ඔප්පු වෙන නිසයි...
ඒ විතරක් නෙමෙයි, අවුරුදු දෙකක තරඟ තහනමකටත්,
මංජු වන්නිආරච්චි යටත් වෙනවා දඬුවමක් විදියට...
2011දි මංජු බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නේ,
තවදුරටත් බොක්සිං අනාගතයක් තමන්ට නැති නිසයි..

නමුත් අවුරුදු දෙකක තරඟ තහනමෙන් පස්සේ,
නැවතත් 2013දී මංජු ක්‍රීඩාවට එක්වෙන්නේ,
2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාතරඟාවලියේදීම,
ගිළිහුණු කිරුළ යළි දිනාගැනීමේ එකම අධිෂ්ඨානයෙන්...

මංජු,
අපි උඹට ආදරේ,
උඹ අපිට පදක්කමක් ගේන නිසා නෙමෙයි...
අපි ආදරේ උඹේ නොසැලෙන ධෛර්යයටයි...
උඹ දින්නත් පැරදුනත්,
උඹ පදක්කමක් ගෙනාවත් නැතත්,
අපේ හිතවල උඹට තියෙන ආදරේ,
නැතිවෙන්නේ නැහැ මචං!!!


අද තියෙන 16දෙනාගේ වටේන් අන්තිම 8ට යන්නත්,
එතනින් අන්තිම 4දෙනාට ගිහිං සෙමිෆයිනල් යන්න්නත්,
සෙමිෆයිනල් එක දිනලා ෆයිනල් ගිහිං,
2010දීම වගේ ආයෙත් රන් පදක්කම අපේ රටට ගේන්න,
ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව උඹට ලැබේවා...

ගහලම වරෙං!!!



අද අපේ රටේ වෙලාවෙන් හවස 6ට,
මංජු වන්නිආරච්චගේ තරඟේ පැවැත්වෙනවා...
ටීවී එකේ ඒ මැච් එක පෙන්නුවොත්,

මංජු වෙනුවෙන් ඒක බලන්න...
හවස 6.10ට මධුරංග පතිරගේ තරඟවදින මැච් එකත්,
හවස 6.15ට මධුෂාන් ගමගේ තරඟවදින මැච් එකත් තියෙනවා...
අපේ කොල්ලොන්ට ජය පතන්න එක්කහුවෙන්න...

Saturday, July 26, 2014

2014 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේ පලමු පදක්කම



පොදු රාජ්යමණ්ඩලීය ක්‍රීඩා තරග මේ වෙද්දි පටන් අරගෙන දවස් කීපයක්,,103 වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු පදක්කම වාර්තා උනා බර ඉසිලීමේ තරග වලින්.වෙනම 44 වන නිලධාරීන් කන්ඩායමක්,, ස්කොට්ලන්තය බලන්න යන චාන්ස් එක නේ,,
අපේ රටට මුල්ම පද්දක්කම ගෙනාවේ සුදේශ් පීරිස්, 62kg බර පන්තියේ රිදී පදක්කම 276kg බරක් ඔසවලා තමා මේ පදක්කම හිමිකර ගත්තේ ,ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නෙත් සුදේශ්,ඒ එක්කම 2010 නවදිල්ලි පොදු රාජ්ය මන්ඩල තරගාවලියේ මේ අංශෙන්ම ලෝකඩ පදක්කම හිමිකර ගත්තා,
සඳලංකාවේ ඉපැදුණු සුදේශ් පීරිස් 29 වැනි වියෙහි පසු වෙනවා. මීගමුව සාන්ත මේරි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2004 සිට 2009 දක්වා සේවය කලා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සොහොයුරා වන්නේ සුදේශ්. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක් සිටී. 2004 වසරේ සිට පිට පිට වසර 5ක් බර ඉසිලීමේ ජාතික සූරතාව දිනා ගත් ඔහු 2006 වසරේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් දකුණු ආසියාවේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
මෙවර අපේ කණ්ඩායමේ නායකත්වය ලබලා ආරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන කණ්ඩායමේ පෙරටුව ගමන් ගත්තෙත් සුදේශ්.කණ්ඩායමටම ආදර්ශයක් වෙලා පලමු පදක්කම හිමි කර ගත්තා

 අපේ ස්පෝර්ට් අඩවියේ අපව නිරන්තරයෙන් දිරි ගන්වන අරූ අයියා විසින් මෙමෙ ක්ලිප් එක අපට ලබා දුන්නා.සුදේශ් 2010 ලබා ගත් ජයග්‍රහනය

Wednesday, July 23, 2014

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල - 2014

අද උදේ පාන්දරම රාජකාරි පටං ගන්න ගූගල් ගියාම උගෙ ඩූගල් එකේ තිබ්බා අමුතු සීන්ස් එකක්. ඒක මොකක්ද කියලා බලන්න ගියාම තමා දන්නේ අද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල පටං ගන්නවා කියලා. ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ අපෙ බ්‍රිතාන්‍ය මහ රජ්ජුරුවන්ට යටත් වෙලා හිටපු රටවල් ටිකටනේ. ඒත් මං දන්න තරමින් ඇමරිකාව ලොකු සීන්ස් නිසා එන්නෑ ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන ගේ ඇතුලට.
ඒකෙන් වැඩක් නෑනේ. දැන් ඔය පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රිඩා උළෙල පටං අරං තියෙන්නේ බොහෝ ඈත කාලෙක. ඒ කිව්වේ ඔය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උලෙල ඉස්සල්ලාම පටං ගත්තේ රටවල් අතර මිත්‍රත්වය ඇති කරන්න කියලා අලවන ලේබලය යටතේ තමා. එය මිතුදමේ තරගාවලියක් විදිහට උනා කියලා තමා ඔය ඒ ගැන දන්න රට්ටු කියන්නේ. පලවෙනි තරගාවලිය පටං අරං තියෙන්නෙ 1930 දි කැනඩාවේ හැමිල්ටන් කියන නගරේ. ඒ තරගාවලියට රටවල් 11කින් තරඟ කරුවන් 400ක් සහභාගි වෙලා තියනවා.ඒතේ තරඟ 6ක් සහ ඉසව් 59ක් තිබිලා තියනවා. 1930 ඉදලා මේ දක්වා හැම අවුරුදු 4කටම වරක් ඔය කියන ක්‍රිඩා තරගාවලිය තිබිලා තියනවා. හැබැයි 1942 අවුරුද්දෙයි 1946 අවුරුද්දෙයි ඔය තරගාවලිය පැවැත්විලා නෑ. මොකද කියනවා නන් ඒ කාලේ ඒ පැත්තේ දෙවනි ලෝක යුද්ධ තිබ්බලුනේ. ඒ නිසා ඒ අවුරුදු දෙක නැතුව අනිත් හැමදාම අවුරුදු 4කට වරක් මේ තරගාවලිය පැවැත්විලා තියනවා.

ඒ කාලේ මේකට කියපු නම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල නෙමේ.1930 - 1950 කාලේ මේකට කියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය කියලා. පස්සෙ ඒ නම හොද මදි කියලා  1954 දි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා පොදු රද මඩුලු ක්‍රිඩා වලිය කියලා නම් කරලා ඒ නම 1966 වෙනකං පාවිච්චි කරලා තියනවා. 1970 පැවතුන තරගෙට දීලා තියන නම තමා බ්‍රිතාන්‍ය පොදු රජ්‍ය මණ්ඩල ක්‍රිඩාවලිය. 1974 තරගෙටත් ඒ නමම පාවිච්චි කරලා තියනවා කියලා තමා ඔය තැන් තැන් වල සදහන් වෙලා තියෙන්නේ.1978 ඔන්න ආයෙත් කැනඩාවෙම තමා මේ තරගාවලිය තිබිලා තියෙන්නේ.අන්න ඒ තරගාවලියෙදි තමා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල කියන නම ඉස්සල්ලම භාවිතා කරලා තියෙන්නේ.

ඔය තරගාවලිය ආසියානු කලාපයේ දෙපාරයි පැවැත්විලා තියෙන්නේ. ඒ තමා වසර 1998දී මැලේසියාවේදී සහ වසර 2010 දී ඉන්දියාවේදී. මේවෙද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල ඇතුලේ තරඟ ඉසවු 39ක් විතර තියනවා. 1998 වසරෙදි ක්‍රිකට් ක්‍රීඩාවත් මේකෙ තරග ඉසව්වක් කියලා පිළි අරගෙන තියනවා. ඒත් මට නන් මතක නෑ ලංකාවෙ ටීම් එකක් ක්‍රිකට් ගහන්න ගියා කියලා. මගේ මතකේ අවුලක්ද දන්නෑ ඉතින්. ඒත්  එහෙම ක්‍රිකට් ක්‍රිඩාවත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල තියනවා කියලා තමා ඉතින් කියන්නේ.
ඉතින් ඔන්න ඔහොම කතන්දර තියන තරගාවලි ඉතිහාසයක 2014 කතාව අද ඉදලා ඉතිහාසයේ ලියවෙන්න පටං ගන්නවා. ස්කොට්ලන්තෙ නයිජීරියාවත් එක්ක තරග කරලා තමා 2014 තරගාගවලිය ස්කොට්ලන්තෙට දිනා ගත්තේ.ඉතින් ඔය ජයග්‍රහනයත් එක්ක තව පැය 7කින් විතර ස්කොට්ලන්තෙ තියන glasgow කියන නගරේ ඉදං ඉතිහාසෙට අලුත් කතාවක් එකතු කරන්න කස්ටිය බෝම ලක ලෑස්තියෙන් ඉන්නවා කියලා ආරංචි උනේ.
වැඩි විස්තර ඔයාලට පුලුවන්

මෙතනින් ගිහින් බලා ගන්න..
http://www.glasgow2014.com/

ඒ විතරක් නෙමේ. මේ වෙද්දි 2018 දි මේ තරගාවලිය කොහෙත තියෙන්නෙ කියලත් දැන්ම සැලසුම් කරලා ඉවරයි. ඒක තියෙන්නේ ඉතින් Gold Coast කියන නගරේ.

2018 තරගාවලිය ගැන විස්තර තියනවා මෙන්න මෙතන..
http://www.gc2018.com/

එහෙනන් තව පැය කිහිපයකින් ආරම්භ වෙන සැනකෙලියකින් පස්සේ රටවල් 71ක්  සහ 4500ක් විතර තරඟ කරුවන් එක්ක අපිට විඳින්නත් ලෝකෙට අලුත් සටහන් තබන්නත් නව වාර්ථා බිහිවෙන්නත් හේතු වන තරගාවලියක් අපට අත්විදින්නට ලැබේවි.





Tuesday, July 22, 2014

ප්‍රංශ සවාරිය - Tour de France 2014


පාපන්දු උන්මාදයෙන් පස්සෙ අලුත් පෝස්ට් එකකට යන්න හිතුනා,,අපේ ක්‍රීඩා වලට ආසා යාලුවන්ට හදුන්වලා දුන්නු ක්‍රීඩා බ්ලොග් එක නේ මේ,ලෝකෙ ඕනම ක්‍රීඩා උත්සවයක්,ක්‍රීඩා තොරතුරක් බෙදා හදා ගන්න එක තමා අපේ කණ්ඩායමේ අරමුන.
උඩ මාතෘකාව දකින්න ඇති නේ ලෝකෙ බයිසිකල් ධාවක තරග රසිකයන්ට ජූලි කියන්නෙ වැදගත් මාසයක් ඒ ලෝක ප්‍රකට ප්‍රංශ සවාරිය පවත්වන මාසය.ඔන්න මේ වෙනකොටත් තරගයේ අවසන් අදියරයෙ තමා මේ ඉන්නේ.මේ වෙනකොට දින 15 අවසන්,මේ ලිපිය ලියන අද 21 දවස විවේක දිනයක්,තවත් දින 6 ඉතුරු වෙලා තියෙන්නෙ.
පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කලොත් 1903 දී තමා මේ සවාරියේ ආරම්භය,ලෝක යුද්ධ දෙක පැවති කාලයේ සවාරිය නැවතුනාට අනෙක් සැම වසරකම නොකඩවා මේ තරගාවලිය පැවත් වූවා.මෑත කාලයේ සිදු උනු විශාලතම කලු පැල්ලම තමා නොකඩවා 7 වසරක් තරගය ජයග්‍රහනය කරපු ලෝක ප්‍රසිද්ද ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් , ඔහු තහනම් උත්තේජක භාවිත කලා කියලා ඔප්පු වෙලා ජයග්‍රහන සියල්ලම ඉවත් කිරීම.ඔහු පිළිකා රෝගියෙක්, රෝගයත් සමගම තරග ජයග්‍රහනය කරපු ක්‍රීඩකයෙක්.තහනම් උත්තේජක සිදු වීමත් සමගම ඔහුගේ කීර්තියට දැඩි හානි උනා.
2014 වසරේ එංගලන්තයේ සිට ආරම්භ උනු තරගයේ දින15 වෙද්දි කහ ජර්සිය හිමි කරන් ඉන්නෙ පහු ගිය වසරේ ඉතාලි සවාරිය ජයගත් වින්චෙන්සෝ නීබලි,නීබලිව වරක් දැකගන්න මට වාසනාව ලැබුනා,,ඒ නීබලි මා ජීවත් වන පලාතෙම වැසියෙක් නිසා.මේ වෙනකොට මුලු ඉතාලියම බලන් ඉන්නෙ පාපන්දුවෙන් බැට කාලා ආපු ඉතාලියට යම් සහනයක් නීබලි අරන් ඒවි කියලා. නීබලි කදු තරනයේ දක්ශයෙක්.කදු නැග්ම 35-40 Kmph අතර වේගයක් ගන්නවා. දින 3 ජයග්‍රහන වාර්තා කලා,ඒ එක්කම අනෙක් සෑම දිනකම මුල් ස්තාන 5 අතරේ ‍රැදී සිටින්න දක්ශ උනා.

                                          මේ ඉන්නෙ නීබලි
නීබලිට දැඩි තරගයක් දෙනවා ස්පාඤ්ඤ ක්‍රීඩකයෙක් වෙන බෙල්මොන්තෙ වල්වේර්දෙ ඔහු මේ වෙද්දි මිනිත්තු 4.30 පසු පසින් ඉන්නේ,බලමු තරගය කොහොම වේවිද කියලා.
මා නිරන්තරයෙන් දකින දෙයක් තමා ප්‍රංශ සවාරිය ජයග්‍රහනය කරන්නෙ,ඊට ඉකුත් වසරේ ඉතාලි සවාරිය හෝ ස්පාඤ්ඤ  සවාරිය ජය ගන්න ක්‍රීඩකයෙක්.ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය සහ ස්පාඤ්ඤ සවාරිය තමා ලෝකෙ බයිසිකල් සවාරි වලින් ඉදිරියෙන්ම ඉන්න සවාරි 3,ඒ නිසාමද කොහෙද මම ඉස්සල්ලා කියපු දේට හේතුව ,ඉදිරි ලිපියකින් හමු වෙමු කවුද ජයග්‍රහකයා කියලා දැන ගන්න....

Monday, July 14, 2014

ජර්මනිය VS ආජන්ටිනාව | Germany VS Argentina | Final



වර්ල්ඩ් කප් එක දැං ඉවරයි...
ශූරයෝ, අනු ශූරයෝ කව්ද කියලා හැමෝම දන්නවා...
කොහොම උනත් පට්ට සිරා විනාඩි 120ක ෆුට්බෝල් තරඟෙකින් පස්සේ,
ජර්මනිය 4වෙනිවතාවටත් ලෝක ශූරයෝ බවට ඊයේ අභිශේක ලැබුවා...
ජර්මනිය සහ ආජන්ටිනා කණ්ඩායම් දෙකම,
එකම තරඟේකින්වත් පරදින්නේ නැතුව අවසාන තරඟෙට ආවත්,
දෙගොල්ලොම දැනගෙන හිටියා ඊයේ තරඟයෙන් කව්රු හෝ පරදින බව...
ඒ පරදින කණ්ඩායම තමන්ගේ කණ්ඩායම නොවෙන්නයි,
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ එකම අරමුණ වෙලා තිබ්බේ...
මිනිත්තු 90ක් යනකංම එකම ගෝල් එකක්වත්,
කණ්ඩායම් දෙකටම ගහගන්න බැරි උනේත් මේ නිසාමයි...

ජර්මනි සහ ආජන්ටිනා ක්‍රීඩකයෝ හැමෝම,
විරුද්ධවාදීන්ගේ ගෝල් එක කීප සැරයක්ම ආක්‍රමණය කෙරුවත්,
ඒ කිසිම වතාවකදී සාර්ථක වෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැහැ...
විශේෂයෙන්ම ෆස්ට් හාෆ් එකේදී ආජන්ටිනාවට ලැබුණ අවස්තාව ඒකෙන් විශේෂයි...
ජර්මනියේ කෲස් වැරදි පාස් එකකින් බෝලේ ආජන්ටිනාවේ ගොන්සාලෝ හිගුවේන්ට දුන්නේ,
මේං මචං බෝලේ ගිහිං ගෝල් එකක් ගහගනිං කියන්නා වගේ...
නමුත් ඒක ගෝල් එකක් කරගන්න ආජන්ටිනාවට පුළුවං උනේ නැහැ...
ඒ වගේම ඊට විනාඩි කීපයකට පස්සේ ජර්මනි ගෝල් එක සාර්ථකව ආක්‍රමණය කරන්න,
හිගුවේන්ට පුළුවං උනත් ඕෆ සයිඩ් නීතිය යටතේ ඒ ගෝල් එක නිශ්ප්‍රභා කෙරුනා...
හැමෝගෙම වීරයා වෙච්ච මෙසීටත් අවස්තා කීපයක් ලැබුනා ගෝල් එකක් ගහන්න...
සෙකන්ඩ් හාෆ් එක පටං ගත්ත ගමංම වගේ මෙසීගේ වම් කකුලෙන් පාර කාපු බෝලේ ගෝල් එක ඇතුළට නොගියේ ඇයි කියලා මෙසී තාමත් හිතනවා ඇති...
ෆුට්බෝල් ඔස්තාර්ලාගේ අදහසට අනුව බාසිලෝනා ක්ලබ් එකේ මැච් එකකදී ඔය වගේ අවස්තා 10ක් ආවොත් ඒකෙන් 9ක්ම මෙසී නවත්තන්නේ ගෝල් එක ඇතුළට බෝලේ දාලයි...
ඒ වගේම තරඟේ පෙනල්ටි රවුම දක්වා ඇදගෙන යන්න ලැබුන අන්තිම අවස්තාවේ,
ඒ කියන්නේ තරඟයේ 122වෙනි මිනිත්තුවේදී,
මෙසී ගැහුව ෆ්‍රී කික් එක ගෝල් එකට අඩි 10ක් විතර උඩිං පියාඹලා ගියේ,
2014 වර්ල්ඩ් කප් චැම්පියන් හීනේ ආජන්ටිනාවේ සීමාවෙන් ඈතට ගෙනියමින්...
ඊයේ දවසේ ආජන්ටිනාවේ වාසනා චක්කරේ කැරකුනේ ඔන්න ඔය විදියට...

අනිත් පැත්තෙං ජර්මනියට උනත් එච්චරම තමයි...
අවස්තා කීපයකදීම ආජන්ටිනා ගෝල් එකට ඔන්න මෙන්න බෝලේ ගෙනිච්චත්,
ගෝල් එකක් කරගන්න අවස්තාවක් ලැබුනේම නැහැ ඔවුන්ටත්...
කෝනර් කික් කීපයක්ම තමන්ගේ ඔලුවේ වද්දගන්න ජර්මනිය ක්‍රීඩකයන්ට පුළුවං උනත්,
ඒ ඔලුවෙන් ගහපු බෝලේ ගිහිං නතර උනේ ගෝලිගේ අතේ, ගෝල් කණුවේ හරි, ගෝල් එකක් නොවෙන වෙන ඕනෑම තැනක...

කොහොම වෙතත් ජර්මනියේ වයස්ගතම ක්‍රීඩකයා වෙච්ච මිරස්ලෝව් ක්ලෝස,
88වෙනි මිනිත්තුවේදී වර්ල්ඩ් කප් එකට ආයුබෝවන් කියලා පිට්ටනියෙන් එළියට යන්නේ,
තරඟයේ ඉරනම වෙනස් කරන මාරියෝ ගොට්සේව පිට්ටනීයට කැඳවමින්...
ඒ ඇවිත් මිනිත්තු 25කට පස්සේ, එහෙමත් නැත්තං තරඟයේ 113වෙනි මිනිත්තුවෙදී,
මාරියෝ ගොට්සේ තමන්ට ඇන්ඩ්‍රෙ ෂෲරිල් එව්ව බෝලේ පපුවෙන් නවත්තලා වම් කකුලෙන් ගැහුවේ, අවුරුදු 22ක් වෙච්ච තමංගේ ජීවිතේ මෙච්චර කාලයක් ගහපු ගෝල්වලිං වටිනාම ගෝල් එකයි...
අතිරේක කාලයේදි ගැහැව්ව ඒ ගෝල්ඩන් ගෝල් එකෙන් තරඟේ ඉරණම තීන්දු වෙන්නේ,
අවුරුදු 24ක ජර්මනි ෆුට්බෝල් වර්ල්ඩ් කප් චැම්පියන් නියඟේ හමාර කරමින්...


2002 ඉඳං ජර්මනිය හැම වර්ල්ඩ් කප් එකකදීම ෆයිනල් හෝ සෙමි ෆයිනල් ආවත්,
ඒ කිසිම වතාවකදී චැම්පියන් වෙන්න ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ...
නමුත් තමන්ට හුරු නැති දකුණු ඇමරිකා කලාපයේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්,
කවදාවත් දකුණු ඇමරිකා කලාපේදී යුරෝපියන් ටීම් එකක් නොදින්න වර්ල්ඩ් කප් එක දිනමින්,
ජර්මනිය මෙදාපාර පෙන්නුවේ ලේසි පාසු දක්ෂතාවයක් නං නෙමේ...

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට දෙන ගෝල්ඩන් බෝල් සම්මානේ ආජන්ටිනාවේ ලයනල් මෙසී දිනාගත්තත්,
දියාගෝ මැරඩෝනා වගේ දෙවියෙක් වෙන්න ඒ සම්මානේ මදි කියලා මෙසී දන්නවා...
ඒ සඳහා ආජන්ටිනා ජනතාවට ෆුට්බෝල් ලෝක කුසලානයක් ලබා දෙන්න,
තමන්ගේ ජීවිත කාලය තුළදී ලයනල් මෙසීට හැකිවේවා කියලයි මම ප්‍රාර්තනා කරන්නේ...
මොකද මෙසී සුපිරි තරුවක් වගේම අති දක්ෂයෙක් නිසා...
ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමයි...


2010 වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක් ගහලා ඇඩිඩාස් රත්තරං සපත්තුව ගෙනිච්ච,
තෝමස් මුලර්ට මෙදාපාර ගෙදර ගෙනියන්න ඊට වඩා ලොකු තෑග්ගක් තියෙනවා...
රත්තරං සපත්තුව නැති උනත් මුලර් රිදී සපත්තුව අරගෙන යන්නේ,
මෙදා වර්ල්ඩ් කප් එකේ දෙවෙනියට වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා විදියට...
ඒ වගේම දෙවෙනියට දක්ෂතම ක්‍රීඩකයට දෙන රිදී බෝලේත් හිමිවෙන්නේ මුලර්ටමයි...

දවස් 32ක් තිස්සේ බ්‍රසීලේ නගර 12ක තිබ්බ,
ලෝක කුසලාන තරඟාවලිය 64වෙනි තරඟෙන් අවසාන උනා...
තරඟාවලියේ අවසාන ප්‍රතිඵලේ ඉඳිරි අවුරුදු 4 සඳහා,
ලෝක ශූරයන් විදියට ජර්මනිය අභිශේක ලැබීම...
ඒ තරඟ 64ම නැතත් අහුවෙච්ච අහුවෙච්ච විදියට ගෙනාව,
වර්ල්ඩ් කප් ෆුට්බෝල් විචාර සීරීස් එක මේ විදියට අදින් අවසාන වෙනවා...

කියෝපු හැමෝටම ජයවේවා!!!

Sunday, July 13, 2014

ආජන්ටිනාවද ජර්මනියද... මෙසීද මුලර්ද... | Who will be the Champion?


දවස් 32ක් තිස්සේ මැච් 63ක් ගහලා,
33වෙනි දවසේ 64වෙනි මැච් එකෙන්,
2014 ෆිෆා වර්ල්ඩ් කප් එක අවසන් විමට නියමිතයි...
අද තමයි අවසාන මහා තරඟේ...
මෙච්චර දවසක් අපරාජිතව හිටිය,
ජර්මනිය සහ ආජන්ටිනාව අද තරඟ වදින්නේ,
ලෝක ෆුට්බෝල් කිරුළ තමන්ගේ රටට ගෙනියන අධිෂ්ඨානයෙන්...
කව්රු දිනයිද, කව්රු පරදියිද,
කව්රු ජයපැන් බොයිද, කව්රු දුක් කඳුළු බොයිද,
තව පැය කීපයකින් මුලු ලෝකෙටම ඒක දැකබලාගන්න පුළුවනි...

ආජන්ටිනාව ගත්තොතින් මුහුණ දීපු සියළුම තරඟ ජයග්‍රහණය කරගෙනයි,
අවසාන තරඟේ දක්වා පැමිණියේ...
ඔවුන් අද දක්වා අපරාජිතයි...
සමස්ත තරඟාවලියේදී ඔවුන් ලබාගත්ත ගෝල් ගාණ 8ක්...
ඒ වගේම ශක්තිමත් ආරක්ෂක වළල්ලකුත් ආජන්ටිනාව සතුව තියෙනවා...
මේ තරඟ සියල්ලේදීම ඔවුන් ලබාදීලා තියෙන්නේ ගෝල් 3ක් පමණයි...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි පැනල්ටි දක්වා තරඟේ ඇදුනම,
පැනල්ටි ගෝල් 2ක් පමණයි ඔවුන් ලබාදුන්නේ...
මෙයින් පැහැදිලි වෙනවා ඔවුන්ගේ ශක්තිය...

නමුත් අද තරඟයේදී ඔවුන්ගේ ප්‍රධානම ඉඳිරි පෙළ ක්‍රීඩකයෙක් වෙන,
ඒන්ජල් ඩී මරියාගේ දායකත්වය ආජන්ටිනාවට ලැබේවිද කියන එක සැක සහිතයි...
ඔහු සුළු ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටිනවා...
ඒ වගේම ආජන්ටිනාව අද දක්වාම තනිකරම රැඳීසිටින්නේ ලයනල් මෙසී මතයි...
ඔවුන් ලබාගත් ගෝල් 8න් ගෝල් 4ක්ම ගැහුවේ මෙසී...
නමුත් අවසාන තරඟ 3දීම (සෙකන්ඩ් රවුන්ඩ්, ක්වාටර් ෆයිනල්, සෙමි ෆයිනල්),
මෙසී එක ගෝලයක්වත් වාර්තා කළේ නැහැ...
ඒ වගේම මෙසී බෝලේ අරගෙන යන වෙලාවට,
ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙන්නෙක් හෝ තුන්දෙනෙක්,
ඔහුට අභියෝග කරලා ඔහුගෙන් බෝලය ඩැහැගෙන යන හැටි,
ඉරාන් සහ ස්විට්සර්ලන්ඩ් මැච් දෙකේදී හොඳින්ම දකින්න ලැබුනා...
මේ තත්ත්වේ ජර්මනිය අධ්‍යයනය කරලා නැතිවෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
ඉතිං බොහෝ වෙලාවට ලයනල් මෙසී මත රඳාපවතින ආජන්ටිනාවට,
මෙසී නැති උනොත් හෝ හිර උනොත් ඇතිවෙන තත්ත්වය සෝචනීය වෙන්න පුළුවං...
ඒ වගේම තමයි ඔවුන්ට් තියෙන පීඩනය...
අද තරඟය නරඹන්න එන සියළුම බ්‍රසීල ජාතිකයන් අද චියර් කරන්නේ ආජන්ටිනාවටයි...
ඒ විතරක් නෙමේ, ඔවුන් තමයි දකුණු ඇමරිකානු කණ්ඩායම...
ඔවුන්ට තමන්ගේ සුපුරුදු දේශගුණික/කාළගුණික/පරිසර තත්ත්වයන්ගේදී පරදින්න බැහැ...
මේ අමතර පීඩනේත් ඔවුන්ගේ හිස මත තියෙනවා නිසැකයි...

අනිත් අතිං ජර්මනිය ගත්තම,
අද ඔවුන්ට තියෙන ලොකුම මානසික ගැටලුව වෙන්නේ,
කිසිම යුරෝපීය පාපන්දු කණ්ඩායමක් දකුණු ඇමරිකානු රටකදී,
ලෝක කුසලානය දිනා නැති වීම...
පිටතට නොපෙන්නුවට මේ විස්තරේ ඔවුන්ගේ හිතේ හොල්මන් කරනවා ඇති...
හැබැයි මුලු ලෝකෙම බලාගෙන ඉද්දි, සෙමි ෆයිනල් එකේදී බ්‍රසීලේ වත්ත පිටිපස්සේ ඉඳං,
බ්‍රසීල පාපන්දු කණ්ඩායමට ෆ්ලැට් වෙන්න ගහපු ගැහිල්ලෙන්,
ඔවුන්ගේ මානසිකත්වය සෑහෙන්න තරම් හැදිලා හොඳ ෆෝම් එකේ ඉන්න බව පේනවා...
ඒවගේම ජර්මනිය කියන්නේ ටීම් එකක්...
තනි තනි සුපර් ස්ටාර්ලා ජර්මනියේ නැහැ...


ටිම් එකක් විදියට යුද්ධ ටැංකියක් වගේ අනිත් ටීම් එක පොඩි පට්ටම් කරගෙන ඔවුන් ගිය විදිය, පෘතුගාල, ඇමරිකා, ප්‍රංශ සහ බ්‍රසීල කියන නම් දරාපු කණ්ඩායම්,
ඔවුන් පරාද කරපු හැටියෙන් පේනවා...
මේ දක්වා තරඟාවලියේදී ජර්මනිය ගෝල් 17ක් ලබාගෙන තියෙනවා...
ඒ ගෝල් 17 ගැහුවේ ප්ලේයර්ස්ලා 7 දෙනෙක්...
වැඩිම ගෝල් ගාණක් ගහපු තෝමස් මුලර් (05),
තරඟාවලියේ වැඩිම ගෝල් ගහන ක්‍රීඩකයාට දෙන,
ගෝල්ඩන් බූට් සම්මානේ ගන්න ඔන්න මෙන්න ඉන්නේ...
ඒ වගේම 2010 වර්ල්ඩ් කප් එකේදිත් ඒක ගෙදර ගෙනිච්චේ මුලර්ම තමයි...
ඉතිං මුලර් කැමති ඇති මෙදාපාර වැම්පියන් කෙනෙක් වෙලා,
ගෝල්ඩන් බූට් එකත් අරගෙනම යන්න...
ඒ වගේම ජර්මන් ටීම් එකේ ඉන්න වයස්ගතම ක්‍රීඩකයා වෙන මිරස්ලෝව් ක්ලෝස (වයස 36),
ලෝක කුසලාන 4කදී ගෝල් 16ක් ගහලා ලෝක කුසලාන වැඩිම ගෝල් ගානේ වාර්ථාව තමංගේ කරගෙන ඉන්නේ...
තෝමස් මුලර්, ටෝනි කෲස්, මෙසුට් ඔසිල් සහ බැස්ටියන් ශ්වයින්ස්ටයිගර් හතරදෙනාගේ,
හොඳටම සංවිධානය වෙච්ච ආක්‍රමණයට මුහුණ දෙන්න,
මෙච්චර දවසක් ඔවුන් එක්ක සෙල්ලං කරපු කිසිම කණ්ඩායමකට බැරිඋනා...
ඒ වගේම අතිරේක ක්‍රීඩකයන් විදියට මිරස්ලෝව් ක්ලෝස සහ නිකලස් පොඩොල්ස්කි බැස්සම,
ජර්මනියේ ඇටෑකිං සයිඩ් එක එක්ක හැරෙන්න වෙන කිසි කෙනෙක් නැහැ...
මේ ඇටෑක් එකට මුහුණ දීලා, තමංගේ ගෝල් එක බේරගෙන,
ඔවුන්ව පරාද කරන්න ආජන්ටිනාවට හැකි උනොත්,
ඔවුන් ලෝක ශූරයෝ විදියට ගෙදර යන්න පුළුවං...
ලයනල් මෙසීට, දියාගෝ මැරඩෝනා වගේ දේවත්වයෙන් පිදුම් ලබන්න පුළුවං...
මේ සියල්ල සිද්ධ වෙන්න තව පැය 3ක් විතර තියෙන්නේ...
එකම අවුල තමයි අපේ රටේ වෙලාවෙන්,
යක්කු ගස්යන වෙලාවට මේ මැච් එක පෙන්නන එක...

මීට කළිං තිබ්බ 2002, 2006, 2010 වර්ල්ඩ්කප් 3 දිම,
අවසාන මහා තරඟේ ගෝල් ගැහුවේ
2002 - බ්‍රසීලේ - ජර්මනිය 2-0,
2006 - ප්‍රංශේ - ඉතාලිය 1-1 (පැනල්ටි 3-5),
2010 - ස්පාඤ්ඤේ - නෙදර්ලන්තේ 1-0 විදියට...
ඒ නිසා මේ තරඟේදීත් මහා විශාල ගෝල් ගාණක් ගහයි කියලා මම හිතන්නේ නැහැ...
කොහොම උනත් ඉතාම තියුණු, සුපිරි, පට්ට සිරා ෆුට් බෝල් මැච් එකක් අපිට දැකබලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම මේ මැච් එක විනාඩි 90කට වැඩිය යයි කියලත් මට හිතෙනවා...
පැනල්ටි ශූට් එකක් දක්වා මැච් එක ගියොත්, බලන අපි මාර වාසනාවන්තයි...
ඒ කොහොම වෙතත්, අද දවස ලෝක ෆුට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්...

ඔක්කොමත් හරි මැච් එක කව්රු දිනයිද....
මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ...
මගේ පෞද්ගලික අදහස,
මෙදාපාර ලෝක ශූරයෝ වෙන්නේ ජර්මනිය...
1-0 හෝ 2-1 විදියට ඔවුන් තරඟය ජයග්‍රාහීව අවසන් කරාවි...
මම හරිද වැරදිද කියලා,
අපි හැමෝටම තව පැය කීපයකින් බලාගන්න පුළුවං වේවි...

එහෙනං,
අලුත් ලෝක ශූරයෝ එක්ක අවසාන මහා තරඟේ පසු සටහන අරගෙන,
හෙට උදේට සෙට් වෙමු...

Saturday, July 12, 2014

මෙදාපාර රත්තරං බෝලේ අයිතිකාරයා කව්ද | Adidas Golden Ball



ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ,
වටිනාම ක්‍රීඩකයා එහෙම නැත්තං Man of the Seriesට,
ලැබෙන සම්මානේ තමයි මේ රත්තරං බෝලේ සම්මානේ...
තරඟාවලියේ සෙමිෆයිනල් වලදී,
ක්‍රීඩකයින් 10දෙනෙකුගේ නම් මේ සඳහා ප්‍රසිද්ධ කරනවා...
අවසාන මහා තරඟේ ඉවර උනාම,
ෆිෆා තාක්ෂණික අධ්‍යයන කණ්ඩායම (FIFA Technical Study Group),
කව්ද මේ සම්මානේට හිමිකම් කියන්නේ කියලා ප්‍රකාශ කරනවා...
දෙවෙනි සහ තුන්වෙනි ස්තාන දිනාගන්නා ක්‍රීඩකයින් දෙන්නාට,
රිදී බෝලය (Silver Ball) සහ ලෝකඩ බෝලය (Bronze Ball) දෙන්නත්
ෆිෆා අමතක කරන්නේ නැහැ...


මෙදාපාර රත්තරං බෝලේ සඳහා,
නිර්දේශ වෙලා ඉන්න ප්ලේයර්ස්ලා සෙට් එක තමයි මේ...
අද තරඟේට සෙල්ලම් කරන ක්‍රීඩකයින් 7ක්ම ඉනවා...
ඒ ආජන්ටිනාවෙන් 3ක් සහ ජර්මනියෙන් 4ක් විදියට..
දැං අපි බලමු මෙයාලගෙන් කව්ද මේ සම්මානේට,
වැඩියෙන්ම ළංවෙලා ඉන්නේ කියලා...

ලයනල් මෙසී - ආජන්ටිනාව

මේ සම්මානේ ගන්න ඉන්න ළඟම ක්‍රීඩකයා මෙසී...
ලෝකේ විතරක් නෙමේ අපේ රටේත්,
ආජන්ටිනාවට සපෝට් කරන අති බහුතරයක් දෙනා,
එහෙම කරන්නේ මෙසී හින්දයි...
මෙසී දක්ෂ ක්‍රීඩකයෙක් වගේම මාධ්‍ය මගින් සෑහෙන්න තරම්,
තද ප්‍රචාරයකුත් ලබාදෙන ක්‍රීඩකයෙක්...
මෙදාපාර ආජන්ටිනාව ෆයිනල් ගෙනාවේ මෙසී තමයි...
පළවෙනි වටේදී හැම තරඟෙකදිම මෙසී ගෝල් ගැහුවා...
ඊටපස්සේ දෙවෙනි වටේදි සහ ක්වාටර් ෆයිනල්වලදි,
ගෝල් ගහන්න පට්ට සපෝට් එකක් දුන්නා...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි,
පෙනල්ටි ගහන වෙලාවෙදිත් තමන්ගේ වගකීම ඉටුකරලා,
කණ්ඩායම දිනවන්න මෙසීට හැකියාව ලැබුනා....
අද තරඟේදී ආජන්ටිනාව ජයග්‍රහණය කරවන්න,
ලයනල් මෙසීට හැකි උනොත්,
එයා මේ සම්මානේට හිමිකම් කියනවා විතරක් නෙමේ,
1986දී ආජන්ටිනාවට ලෝක කුසලානේ ගෙනිච්ච,
දියාගෝ මැරඩෝනා වගේ,
අමරණීය චරිතයක් බවටත් පත්වෙනවා...

තෝමස් මුලර් - ජර්මනිය

රත්තරං බෝලේට හිමිකම් කියන්න ලෑස්ති වෙන,
තවත් පට්ටම සිරා ක්‍රීඩකයෙක් තමයි මුලර්...
ජර්මනියේ ප්‍රධානම ඉඳිරිපෙළ ක්‍රීඩකයායි මේ...
මේ දක්වා තරඟාවලියේදී මුලර් ගෝල් 5ක් ගහලා තියෙනවා...
ඒ විතරක් නං කමක් නැහැ...
වෙන අයට සාර්ථකව ගෝල් ගහන්න,
මුලර් 3පාරක් සපෝට් කරලත් තියෙනවා...
මෙදාපාර තරඟාවලිය වෙනස් කරපු ක්‍රීඩකයෙක් තමයි මුලර්...
ඒ වගේම තරඟාවලියේ වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා වෙන්න,
මුලර් ගහන්න ඕනේ තව එක ගෝල් එකක් විතරයි...
අද තරඟයේදී මුලර් දක්වන දක්ෂතාවයන් මත,
මෙදාපාර වර්ල්ඩ් කප් වටිනාම් ක්‍රීඩකයා වෙන්න,
මුලර්ට තියෙන හැකියාව ඉතා වැඩි බවයි මගේ අදහස...

ඒරන් රොබෙන් - නෙදර්ලන්තය

මෙදාපාර 3වෙනි ස්ථානේ දිනාගත්ත නෙදර්ලන්ත කණ්ඩායමේ,
ප්‍රධානතම ක්‍රීඩකයෙක් තමයි ඒරන් රොබෙන්...
නෙදර්ලන්ත කණ්ඩායම 3වෙනි තැනට ගේන්න,
පට්ටම දායකත්වයක් දැක්වූ ක්‍රිඩකයෙක් තමයි රොබෙන්...
2010 වර්ල්ඩ්කප් එකේදීත් වෙච්ච විදියට,
බොහෝ දුරට නෙදර්ලන්තේ රොබෙන්ට,
මේ සම්මානේ මෙදාපාර ලැබෙන එකක් නැහැ...
නමුත් මෙදාපාර තරඟාවලියේදී,
නියමෙටම සෙලම් කරපු ක්‍රීඩකයෙක් තමයි මෙයත්...

මීට කළිං වර්ල්ඩ් කප් තරඟාවලිවලදී,
දියාගෝ මැරඩෝනා - ආජන්ටිනාව (1986),
රොනාල්ඩෝ - බ්‍රසීලේ (1998),
සිඩාන් - ප්‍රංශේ (2006),
ෆෝර්ලාන් - උරුගුවේ (2010) වගේ ක්‍රීඩකයෝ,
මේ වටිනා සම්මානේ දිනගත්තා...
අද රෑ පැවැත්වෙන අවසාන තරඟේදී,
2014 දක්ෂතම ක්‍රීඩකයා කව්ද කියලා,
දැකබලාගන්න අපිට හැකියාව ලැබේවි...

ෆිෆා සහ ජර්මන් වට පිට විත්ති....


මරකානා පිටිය.



මේපාර ෆිෆා අවසාන තරඟය පැවැත්වෙන්නෙ රියෝද ජැනෛරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේදී. පසුගිය 8 වෙනිදා පැවැත්වුන ජර්මනිය සහ බ්‍රසීලය අතර තරඟය 7ට 1ක් ලෙස පරාජය වීමට පෙර බ්‍රසීල පාපන්දු කන්ඩායමේ අපකීර්ථිමත්ම පරාජය විදියට සැලකුවේ 1950 වර්ශයේදී ලක්ෂ දෙකකට අධික ජනකායක් ඉදිරියේ එවකට දක්ෂ කන්ඩායම් ලැයිස්තුවේ පහල කන්ඩායමක් වුන උරුගුවේට 2-1ක් ලෙස පරාජයට පත්වීම. ලක්ෂ දෙකක ජනකායක් ඉදිරියේ උරුගුවේට බ්‍රසීලය අනපේක්ෂිත විදියට පරාජය වුනේ මේ මරකානා ක්‍රීඩාංගනයේදී. ඒ නිසා අවසාන තරඟයට බ්‍රසීලය ආවොත් ඒ අවාසනාවන්ත සලකුනු සහිත මේ මරකානා භූමිය යළිත් බ්‍රසීලයට අවාසිදායක වේ දැයි බ්‍රසීලය බියකින් පසු වුනා. නමුත් ඊට කලිං බ්‍රසීලය මෑත ඉතිහාසයේ හොදි නැතිවෙනම කෑම ජර්මනියෙන් කෑවා. මේ ගැන ටුවිටර් හරහා අදහස් දක්වන ජර්මනියට ලැදි පාපන්දු රසිකයන් කියලා තිබුනේ නාසින් විසින් බ්‍රසීලයට හැඳිගෑවිලා යන්නම දුන්නා කියලා.

මරකානා පිට්ටනිය දකුණු අමරිකාවේ මෙන්ම ලෝකයේම තිබෙන විශාලතම පාපන්දු ක්‍රීඩාංගන වලින් එකක්. මරකානා පිටිය බ්‍රසීලයේ ජාතික සලකුණක් විදියටත් භාවිත  කරනවා. එය විවිධ උත්සවසංගිත සංදර්ශනදේව මෙහෙයන් ක්‍රීඩා උළෙලවල් වල අවසාන සහ මුල් උත්සව පවත්වන්න යොදාගන්නවා. මේ ක්‍රීඩාංගනයේ දැනට නම් ධාරිතාවය 80,000ක වගේ අගයක් ගන්නවා.

මේ තියෙන්නෙ මරකානා වල මේ වාරයේදී තිබුන තරඟ විස්තර. මේ අනුව පෙනී යනවා අවසාන තරඟයට තේරිල ඉන්න ජර්මනිය සහ ආජන්ටිනාව යන රටවල්‍ දෙකම මීට කලින් මරකානා වල මේ ලග දවස්වලම සෙල්ලම් කරලා සාර්ථක ජයග්‍රහන අත්කරගෙන තිබෙනවා කියලා. ක්‍රිකට් වල වාගේ පිටිය තනතීරුව ආදිය පාපන්දු වලට බලපෑමක් නැහැ. නමුත් ක්‍රීඩාංගනය පිහිටලා තිබෙන මුහුදු මට්ටමේ උස පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යම් බලපෑමක් තිබෙනවා කියලා වාර්ථා වෙනවා.

පාපන්දු සහ දේශපාලනය.

පාපන්දු මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා. ටුවිටර් වගේ සමාජ ජාල හරහා නරඹන්නන් හැෂ් ටැග් හරහා තමුන්ගේ අදහස් එකතු කරලා හුවමාරු කරගන්නවා. ඒ අතර ජනප්‍රිය තරුද වෙනවා. බ්‍රසීලය ජර්මනිය හමුවේ පරාජය වුනු කුජීත විදිය දැකපු සුපිරි බ්‍රසිල් ක්‍රීඩක රොනල්ඩෝ ටුයිටර් එක හරහා කියලා තිබුනා ක්‍රීඩකයින් ස්ථානගත කිරීමේ ලොකු වැරදි තිබුනා කියලා මැච් එකේදි. බ්‍රසීලයේ පුහුනුකරුත් තමුන්ගේ වරද පිළිඅරගෙන තිබුනා.
මේ දිනවල ඝාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්කාරී වාතාවරණයක් තිබෙනවා. විශාල පුළුල් තිරයක එළිමහනේ පාපන්දු තරඟ නරඹමින් හිටපු පලස්තීන ජාතිකයින් කිහිප දෙනෙක් අවාසනාවන්ත ිවිදියට ඊශ්‍රායල් ‍රොකට් ප්‍රහාර වලට ලක්වෙලා මියගිහින් තිබුනා.
බ්‍රසීලය කියන්නෙ පාපන්දු වලට බොහොම ජනප්‍රිය රටක්. ඒ නිසා බ්‍රසීලයේ පරාජය බ්‍රසීල ජනතාවන්ට දැඩි සිත් වේදනා ගෙනාපු දෙයක් වෙන්නට ඇති.

ජර්මනිය.


ජර්මනිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරම්භක සාමාජිකයෙක්. මුල්ම අන්තර්ජාතික පාපන්දු තරඟය පැවත්වි තිබෙන්නෙත් ජර්මනිය සහ ස්විස් අතර. ඒ තර‍ඟෙනුත් ජර්මනිය ජයග්‍රහනය කරලා තිබෙනවා. මුල්1900 ගනන් වල මුල් කාලයේදී ජර්මනියෙ පාපන්දු ජනප්‍රිය තත්වෙට ආවත් පසුකාලිනව යුදෙව්වන්ට කල කෙනෙහිලිකම් ආදියත් නාසිවාදයත් නිසා 1930-1945 අතර කාලයේදී ජර්මන් පාපන්දු ගොඩක් පහලට වැටුනා. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ බටහිර සහ නැගෙනහිර ජර්මනිය ලෙස ජර්මනිය දෙකඩ වුනායින් පස්සෙ පාපන්දු කන්ඩායමත් ටීම් දෙකක් වුනා. 1990 දි ආයෙත් නැගෙනහිර බටහිර එකතුවෙලා ජර්මන් ටිම් එකක් විදියට හැදුනා.
අන්තර්ජාතික පාපන්දු ශූරතා අවසාන තරඟ දිහා බලනකොට අවසාන ටිම් හතරට ජර්මනිය ආපු නැති අවුරුදු තියෙන්නෙ බොහාම අඩු ගානක්. 1954,1974,1990 යන වර්ශවලදී ශූරතාවය දිනාගන්න ජර්මනිය සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 1966,1982,1986,2002 යන වර්ශවලදි අනුශූරතාවය දිනාගෙන තියෙන්නෙත් ජර්මනිය. 1970 දි සහ අදට වඩාත් ආසන්නයේ පැවති ලෝක කුසළාන තරඟාවලි දෙක වන 2006 සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙදි  ජර්මනිය තුන් වෙනි තැන රැකගන්න සමත් වෙලා තිබෙනවා.
ක්ලෝස 2006දී සහ 2014දී
පසුගිය බ්‍රසීල තරඟයේදී මිරස්ලොව් ක්ලෝස කියන ජර්මන් ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලියකදි ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව වාර්ථා කලා.ක්ලෝස තමයි ජර්මනිය වෙනුවෙන් වැඩිම ගෝල සංඛයාවක් අරගෙන තිබෙන ක්‍රීඩකයා..ක්ලෝසගේ මව පෝලන්තය නියෝජනය කරපු හෑන්ඩ්බෝල් ක්‍රීඩිකාවක් ජෝසෆ් ක්ලෝස නම් වූ පියා පෝලන්තයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වුනාලු 1970 ගනන් වල. ඇත්තටම මේ පවුල ජර්මනියට ඇවිත් තියෙන්නෙ 1978 දි මාසෙලෝ ඉපදිලා අවුරුදු අටකට පස්සෙ. මිරස්ලෝව් ක්ලෝසයි තාත්තයි ජර්මනියට එනකොට ජර්මන් වචන දෙකයිලු දැනගෙන උන්නෙ. තාමත් ක්ලෝස  පවුලෙ අය කතාකරන්නෙ පෝලන්ත බසින්ලු..
ආජන්ටිනාවට වඩා ලෝක කුසලාන තරඟයේ දිනුම ලැබෙන්න හැකියාව තියෙන්නෙ ජර්මනියට කියලා තමයි මම හිතන්නෙ. ජර්මනිය වඩාත් වේගවත්ව දක්ෂ ලෙස මේ තරඟාවලිය පුරාම සෙල්ලම් කලා. මගේ විශ්වාසය ජර්මනිය 2-0 වගේ අගයකින් තරඟය ජයග්‍රහනය කරාවි...
අද සටහන - අමිල චතුරංග 

Saturday, July 5, 2014

අප්සට් ජොකියෝද ලන්දේසිකාරයෝද... | Netherlands VS Costa Rica




අප්සට් ජොකියාගේ සිහින ගමනේ අවසානය අදද...
එහෙම නැත්තං ගියපාර ලෝක කුසලාන අනුශූර,
මේ පාර ටූනමන්ට් එකේ වැඩිම ගෝල් ගහපු ටීම් එකේ අවසානේද...
තව පැය කීපයකින් පස්සේ,
මේ දෙකෙන් සිද්ධ වෙන්නේ කෝකද කියලා,
හරියටම ඇස් දෙකෙන්ම දැක බලාගන්න පුළුවනි...

පහුගිය පාර ලෝක ශූර ස්පාඤ්ඤේට ගෝල 5ක්,
ඕස්ට්‍රේලියාවට ගෝල් 3ක්,
චිලී රටට ගෝල් 2ක්,
මෙක්සිකෝවට ගෝල් 2ක් විදියට,
ලොකුම ගෝල් මල්ල අතිං අරගෙනයි,
නෙදර්ලන්තේ අද තරඟෙට එන්නේ...
ඒ වගේම ගියපාර අනුශූරයෝ වීම වගේම,
FIFA ලෝක කුසලාන කීපයකම අවසාන 4 දෙනාට,
මීට පෙර ඇවිත් තියෙන නිසාම,
නෙදර්ලන්තේට මේ වගේ තරඟ මහ ලොකු නැහැ...
ඒ වගේම අද වෙනකොට,
වැඩිම ෆෝම් එකකින් ඉන්න ටීම් එකත් නෙදර්ලන්තෙයි...

අප්සට් ජොකියා කොහොමද අද තරඟෙට එන්නේ...
හැමෝම බලාපොරොත්තු උනේ,
පළවෙනි වටේදී උරුගුවේවලින්, ඉතාලියෙන් සහ, එංගලන්තෙන්,
බඩ පිරෙන්න කාලා මෙයාලා ගෙදර යයි කියලා..
හැබැයි උරුගුවේට ගෝල් 3ක්,
ඉතාලියට ගෝල් 1ක්,
එංගලන්තේ මැච් එකේ ගෝල් නැතුව,
පලවෙනි වටේ ගෲප් එකේ පළවෙනි වෙලා,
දෙවෙනි වටේදී ග්‍රීසිය පරාද කළේ පුදුම හිතෙන විදියට...
66වෙනි මිනිත්තුවේ ඉඳං 10 දෙනෙක්ගෙන් සෙල්ලම් කරලා,
පළවෙනි විනාඩි 90 බේරගෙන,
අතිරේක මිනිත්තු 30ත් 1-1 විදියට ගොඩ දාගෙන,
පැනල්ටි ශූට් එකේදී තරඟේ ජයග්‍රාහීව ඉවර කළා...
මේ හැම තරඟයක්ම,
පොතේ හැටියට කොස්ටරිකාව පරදින්නයි තිබ්බේ...
නමුත් කොස්ටරීකානුවන් පොත අලුතෙන් ලිව්වා...
හැම තරඟයක්ම ඔවුන් ජයග්‍රහණය කළා...
ෆුට්බෝල් ඉතිහාසය අලුතෙන් ලිව්ව ඔවුන්,
පළවෙනි වතාවට ක්වාටර්ෆයිනල් තරඟේකට ආවා...

අද තරඟේදීත්,
හැමෝම බලාපොරොත්තුවෙන්නේ,
කොස්ටරීකානුවන් අභිබවා ලන්දේසි ජයග්‍රහණය...
හැමෝම හිතන විදියට ලන්දේසීන් ජය ගනීවිද?
අප්සට් ජොකියෝ අද දවසේදීත්,
ඔවුන් මෙච්චර දවසක් කරපු පුරුදු විදියට,
පොතේ තියෙන හැටියට නාට්ටිය ඉවර වෙන්න දෙන්නේ නැතුව,
තමන්ට ඕනේ විදියට නාට්ටිය අවසාන කරයිද...

පෞද්ගලිකව මගේ මනාපේ කොස්ටරීකානු ජයග්‍රහණයකට...
ඔවුන් දින්නොත් දිනන්නේ 1-0 ලෙස...
එහෙම නැති උනොත් පැනල්ටි රවුමේදී තමයි...
නමුත් පොතේ හැටියට එහෙම වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි...

තරඟේ අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට පටං ගන්නවා...
අපි බලමු...
රිසල්ට් එකත් එක්ක හෙට උදේ සෙට් වෙමු...

Friday, July 4, 2014

ප්‍රංශය vs ජර්මනිය


පිංතූරය මෙතැනින්

2014 පාපන්දු ලෝක කුසලානයට තරඟ වදින අවසන් රටවල් අට තමයි ප්‍රංශය, ජර්මනිය, බ්‍රසීලය, කොලොම්බියාව, ආර්ජන්ටිනාව, බෙල්ජියම, නෙදර්ලන්තය සහ කොස්ටරිකාව...

අද සහ හෙට පැවැත්වෙන තරඟ වලින් අවසන් පුර්ව වටයට යන එහෙම නැතිනම් ලෝක කුසලානයට ලඟාවෙන අවසන් කණ්ඩායම් හතර තීරණය වෙනවා...යූරෝපීය කලාපයේ පාපන්දු සතුරෝ විදියට සැලකෙන ප්‍රංශයත්, ජර්මනියත් අතර තරඟයෙන් තමයි අර්ධ අවසන් පුර්ව වටය අද පටන් ගන්නේ...

ජර්මනිය

ජර්මනිය මේ පිට පිටම නව වෙනි වතාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයකට ක්‍රිඩා කරන්නේ... මේ තරඟාවලියේ ඔවුන් මෙතෙක් ක්‍රීඩා කලේ මේ විදියට

ජර්මනිය 4-0 පෘතුගාලය
ජර්මනිය 2-2 ඝානාව
ජර්මනිය 1- 0 USA
ජර්මනිය 2-1 ඇල්ජීරියාව

පළවෙනි තරඟයේදිම රොනාල්ඩෝගේ ඇට්ටි දෙකම හැලෙන්න දුන්නත් එතනින් පස්සේ ජර්මනිය ඒ තරඟයේ තරම් හොඳට ක්‍රීඩා කලේ නෑ... ඇල්ජීරියාව එක්ක තිබුන අවසන් තරඟයෙත් පළවෙනි මිනිත්තු 90වේදී ගෝල ලබාගන්න ඔවුන්ට හැකිවුනේ නෑ... ලොකු බලාපොරොත්තු තියාගෙන ඉඳපු ඔසිල්, මාරියෝ ගොට්සේ වගේ ක්‍රීඩකයෝ මෙතෙක් කැපී පෙනෙන දක්ශතාවක් නොදැක්වීමත් ජර්මානු ක්‍රිඩාලෝලීන්ට ඇති අවුලක්... මේ සේරම බර කරට අරගෙන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රහාරකයා තෝමස් මුලර් මෙවරත් ප්‍රහාරය දියත් කරාවි...

ප්‍රංශය

ප්‍රංශය 3-0 හොන්ඩුරස්
ප්‍රංශය 5-2 ස්විට්සර්ලන්ඩ්
ප්‍රංශය 0-0 ඉක්වදෝරය
ප්‍රංශය 2-0 නයිජීරියාව

අද තරගයේ අන්ඩර්ඩෝග් කණ්ඩායම විදියට සැලකෙන්නේ ප්‍රංශය... ඊට අමතරව තමන්ගේ පළමු නොකවුට් තරඟයෙදි කට්ටක් කාලා හරි නයිජීරියාව 2-0 විදියට පරාජය කරපු ඔවුන් ජර්මනියට වඩා හොඳ මානසික තත්වයකින් අද තරඟ වදිනවා ඇති...

ජර්මනියට තමන්ගේ සුපිරි ක්‍රිඩක මාරියෝ ගෝමස් අහිමිවීම වගේ, ප්‍රංශයට මේ තරගාවලිය වුන ලොකුම පාඩුව බේයන් මියුනික් කණ්ඩායමේ ක්‍රීඩක ෆ්‍රෑන්ක් රිබරි තරඟාවලිය පටන් ගන්නත් කලින්ම ආබාධයට ලක්වීම... පාපන්දු ක්‍රීඩා ලෝලින්ට මෙවර ලෝක කුසලානයෙදී බලන්න බැරිවුනෙ රිබරිගේත් මාරියෝ ගෝමස්ගේත් දක්ශකම් විතරක් නෙමෙයි... මම පුද්ගලිකව ආසා ක්‍රීඩකයන්ගෙන් වේල්සයේ ගැරත් බේල්, ස්විඩනයේ ස්ලාටන් ඉබ්‍රහම්වික්, පෝලන්තයේ ලෙවන්ඩොව්ස්කි, තුර්කියේ තුරාන්, ඔස්ට්‍රියාවේ අලබා වගේ සුපිරි ක්‍රිඩකයෝත් මෙවර ක්‍රිඩා කරන්නේ නෑ... :(

අද තරඟයේත් ප්‍රංශයේ ගැලවුම්කාරයා විදියට බලාපොරොත්තු තබාගෙන ඉන්න ක්‍රීඩකයා රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ කරීම් බෙන්සිමා...  මේ ලෝක කුසලානයේ ඔහු  ක්‍රීඩා කල තරඟ හතරෙදී ගෝල තුනක් ලබාගෙන තියෙනවා...

ක්‍රීඩා පිටිය ඇතුලෙත්, එයින් එලියෙත් හොඳ යාලු මිත්‍රකමක් නැති මේ කණ්ඩායම් දෙක සටන් වදින අද තරඟය හොඳ උණුසුම් තරඟයක් වේවි...මේ තරඟය තීන්දු වුන සැනින් හැමෝටම මතක් වුනේ 1982 ලෝක කුසලාන අවසන් පුර්ව තරඟයෙන් පස්සේ බේරගන්න තියෙන පරණ ගනුදෙනුවක්... ඒ ගනුදෙනුව ගැන බලන්න මේ වීඩියොවෙන්



අනාවැකිය : ප්‍රංශය 1-2 ජර්මනිය

අද පැවැත්වෙන අනෙක් තරඟය බ්‍රසීලය සහ කොලොම්බියාව අතර තරඟයට පෙර සටහනකුත් බොහෝදුරට ඔබට මෙම අඩවියෙන් කියවන්න ලැබේවි...

Wednesday, July 2, 2014

ඇමරිකාව VS බෙල්ජියම - පසු සටහන | The Review



කරට කර තරඟ වැදුන,
ඉතාමත්ම උණුසුම් මිනිත්තු 120කට පසුව,
2014 ලෝක කුසලාන සිහිනයට තිත තබා,
ආපසු ගම්බිම් බලා පිටත්ව යන්නට,
ඇමරිකාවට ඊයේ සිදු වුනා...
ඒකට හේතුව රතු යක්කු - Red Devils - කියලා හැඳින්වෙන,
බෙල්ජියමෙන් ලැබුන 2-1 පරාජයයි...

ඇමරිකාවේ ගෝලි ටිම් හොවාර්ඩ්,
අතෙන්, කකුලෙ, උරහිසෙන්, ඔළුවෙන්, දණහිසෙන්,
වැළමිටෙන්, පියාඹමින්, බඩගාමින්, පෙරළෙමින්, පනිමින්,
කොටිංම කියනවානං පිස්සු හැදෙන දක්ෂතාවයක් පෙන්නුම් කරමින්,
පළවෙනි මීත්තු 90ම තමන්ගේ ගෝල් එක සහ කණ්ඩායම බේරගත්තත්,
93වෙනි විනාඩියේදි කෙවින් ඩි බෘයින්ගේ,
ගෝල් එක නවත්තගන්න තරම් දක්ෂ උනේ නැහැ...
එතන ඉඳං ඉස්සරහට ආව බෙල්ජියන් කණ්ඩායම,
ආයෙත් වතාවක් 105වෙනි මිනිත්තුවේදී තවත් ගෝල් එකක් ගහන්නේ,
ඇමරිකාවේ සීමාවෙන් තරඟේ තව ඈතට ගෙනියමින්...
දෙවෙනි ගෝල් එකේ හිමිකාරයා වෙන්නේ ලුකාකු...

තරඟේ ඉවර වෙන්න මිනිත්තු 15ක් ඉතුරු වෙලා තියෙද්දි,
ගෝල් 2-0ක් වගේ ලොකු පරතරේකින් පිටිපස්සෙන් හිටිය ඇමරිකාව,
107වෙනි මිනිත්තුවේදී අයෙත් තරඟෙට අවතීර්ණ වෙන්නේ,
තමන්ගේ 3වෙනි තරඟේ සෙල්ලම් කරන,
වයස 19ක පොඩි කොල්ලෙක් වෙච්ච ජූලියන් ග්‍රීන්ගේ,
පළවෙනි ජාත්‍යන්තර ගෝල් එක හේතුවෙනුයි...
අතිරේක කාලය ඉවර වෙන්න මිනිත්තු 13ක් වෙද්දි,
තරඟේ ලකුණු සටහන කියවුනේ 2-1ක් විදියටයි...

තරඟේ අන්තිම විනාඩි 8දී විතර,
බෙල්ජියම් දැළ ගවට ඇමරිකාව කීප පාරක්ම ආවත්,
ඒ එකපාරක්වත් බෝලේ ගෝල් එකක් කරගන්න බැරිඋනේ,
තවත් යුරෝපියන් ෆුට්බෝල් ටීම් එකක්,
ක්වාටර් ෆයිනල් යන විදියට ටූනමන්ට් එක සැලසුම් කරන්න,
දෙවියන් වහන්සේට් උවමනා වෙච හින්දා වෙන්න ඇති...
නැත්තං ඒ තිබ්බ අවස්තාවලට ගෝල් එකක් ගහගන්න බැරිවෙන්නෑ...
විශේෂයෙන් අන්තිම මොහොතේ ලැබිච්ච් ෆ්‍රී කික් එක...

මේ මැච් එකේ සම්පූර්ණ විනාඩි 120 සෙල්ලම් කරපු එක,
විනාඩි 2කට කොටකරලා හදලා තියෙන,
හයිලයිට්ස් වීඩියෝ එකක් තියෙනවා...
මේකෙං ගිහිං ඒකත් බලන්න පුළුවනි...

සමස්ත තරඟයේදීම ඇමරිකාවේ ගෝලි,
ටිම් හොවාර්ඩ් ගෝල් 16ක් නැවැත්තුවා...
ඒක වර්ල්ඩ් කප් ඉතිහාසයේ මැච් එකකදී,
ගෝලි කෙනෙක් දක්පවු දක්ෂතාවලින්,
ඉහළින්ම තියෙන දක්ෂතාවයක්...
ඒ දක්ෂතාවය නිසා හොවාර්ඩ් තරඟයේ වීරයා උනා...
නමුත් ඇමරිකාව ක්වාටර් ෆයිනල් යන්න තරම්,
ඔහුගේ දක්ෂතාවයන් ප්‍රමානවත් උනේ නැහැ...


තරඟේ සටහන් වෙච්ච ගොල් 3ම වැදුනේ,
නියමිත මිනිත්තු 90න් පස්සේ එන,
අතිරේක මිනිත්තු 30 කාලයේදී වීම විශේෂ සිද්ධියක්...
Round of Sixteen තරඟ 8න් 5ක්ම,
අතිරේක කාලය දක්වා ඇදීයාමෙන් පැහැදිලි වෙන්නේ,
මේ තරඟාවලියේ මේ වටයේ තිබ්බ උණුසුමයි...
කිසිම කණ්ඩායමකට පහසු ජයක් ලබාගන්න,
ඉඩක් හසරක් තිබුණේ නැහැ...
නම් දරාපු කණ්ඩායම් එක්ක තරඟ කරපු,
වැඩිය ප්‍රසිද්ධ නැති කණ්ඩායම් උනත්,
ඉතා උග්‍ර ක්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කරමින්,
තරඟේ සහ තරඟාවලියේ උණුසුම වැඩිකරමින්,
දිගින් දිගටම තරඟ වැදීම නියම සිදුවීමක්...
ඒක මාරයි...

2014 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ,
Round of Sixteen එහෙම නැත්තං 16 දෙනාගේ වටේ,
තරඟ 8ම දැං අවසානයි...
මේ වෙන කොට අර්ධ අවසන් පූර්ව,
එහෙම නැත්තං ක්වාටර් ෆයිනල් යන,
රටවල් 8 තේරිලා තියෙන්නේ...
ඒකේදී ඊයේ තරඟවලින් ජයගත්ත,
ආර්ජන්ටිනාව සහ බෙල්ජියම,
ලබන සෙනසුරාදා තරඟ වදිනවා,
සෙමි ෆයිනල් යන ටීම් එක තෝරගන්න...
ඒක තවත් පට්ටම සිරා ෆුට් බෝල් මැච් එකක් වේවි...
ඒ මැච් එක එක්ක ආයෙත් සෙට් වෙමු... :-)

Tuesday, July 1, 2014

ආර්ජන්ටිනාව vs ස්විස්ටර්ලන්තය | Argentina vs Switzerland


Argentina vs Switzerland World Cup 2014 Wallpaper Wallpaper
පිංතුරය මෙතනින්

දාසය දෙනාගේ වටේ හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්න තරඟයක් තව පැය කිහිපයකින් වල ආරම්බ වෙනවා... තරඟය පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය අතර...

අර්ධ අවසන් පූර්ව වටයට තේරුණා වුනත් තරඟාවලිය පුරාවට ස්විස්ටර්ලන්තය මෙතෙක් දක්වපු දස්කම් ඒකාකාරිව තිබුණේ නෑ...  ඉක්වදෝරය සමඟ පළවෙනි තරඟය 2-1 ලෙස ජයගත්තත්,  ප්‍රංශය සමඟ 2-5 ක් ලෙස අමිහිරි පරාජයක් ලැබුවා... ඉන් පස්සේ හොන්ඩුරස් සමඟ අවසන් තරඟය ආයෙත් 3-0 විදියට විශිෂ්ඨ ලෙස ජයගත්තා...මේ  තරගයෙදී හැට්‍රික් එකක් දාපු ස්විස් ක්‍රීඩක Xherdan Shaqiri ගැන මෙවරත්  ක්‍රිඩා ලෝලින් ලොකු බලාපොරොත්තු තියාගෙන ඇති... මම පුද්ගලිකව දකින්නේ ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගැන බොහෝදෙනෙක්ට ඇත්තේ අධි තක්සේරුවක් කියන එකයි... හරියට ඇටෑක් කරන කණ්ඩායමකට ඔවුන්ට මුහුණ දෙන්න ඇහි නොහැකියාව ප්‍රංශ තරඟයෙදි අපි හොඳින් දැක්කා... ආර්ජන්ටිනාවේ ඩි මරියා වගේ ක්‍රීඩකයෝ මේ වගේ කණ්ඩායම් අහුවෙනකල් බලාගෙන ඉන්නේ බැස්ටිය දෙන්න... අද තරඟය බලන්න වටින තරඟ වලින් එකක් වෙන්නේ මේ හින්දයි..

බ්‍රසීලය ඇරුනම වර්ල්ඩ් කප් බර දැනටමත් උස්සාගෙන මේ තරඟාවලියේ ක්‍රිඩා කරන අනිත් රට ආර්ජන්ටිනාව... ජනප්‍රිය පාපන්දු තරු ගොන්නක් හිටියත් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ලෝකේ හොඳම පාපන්දු ක්‍රීඩකයා විදියට වැඩි දෙනෙක් සලකන ලයනල් මෙසී මේ තරඟයත් දිනවාවි කියලා... දැනට ක්‍රීඩා කල තරඟ තුනම දිනලා තිබුණා වුනත් ආර්ජන්ටිනාවේ තාමත් බල්ටි වලට වඩා විසිල් තමයි පෙනුනේ... මේ තරඟයට එද්දී ඔවුන්ට ඇති ලොකුම පිඩනය වෙනවා ඇත්තේ කලින් තරගය 3-2ක් විදියට දින්නත් නයිජීරියාවට ගෝල දෙකක් ලබාගන්න  හැකියාවක් ලබුණ එක... කොච්චර ඇටෑකින් ලයින් අප් එකක් තිබ්බත් තමන්ගේ ඩිෆෙන්ස් එක දුර්වලයි කියලා ඔවුන් දැන් දන්නවා... ස්විස්ටර්ලන්තේට මොකක් හරි පරණ කරුමෙකට අද දිනාගන්න ලැබුනොත් ඒ අනිවාර්යෙන්ම මේ දුර්වලතාවය ප්‍රයෝජනයට අරගෙන තමයි... 

අපි තරඟය බලලම කතා කරමු... මෙසී ට තමන්ව විවේචනය කරන පුට්බෝල් ඔස්තාද්ලාගේ කට වහන්න අදවත් පුළුවන් වෙයිද අපි බලමු... 

මේ තරඟයේ මගේ අනාවැකිය 3-1 විදියට ආර්ජන්ටිනා ජයක්... 

01. බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States

 
 
පළවෙනි වටේදි තමන් සහභාගී වෙච්ච,
තරඟ 3ම ජයගෙන දෙවෙනි වටේට ආවත්,
බෙල්ජියම කියන්නේ තාම වර්ල්ඩ් කප් එකේදි,
කාගෙවත් වැඩි අවධානයකට ලක්වෙච්ච ටීම් එකක් නෙමෙයි...
නමුත් අද තරඟෙන් පස්සේ ඒ තත්ත්වේ,
බොහෝවිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා...

මේ තරඟාවලිය පුරාම බෙල්ජියම,
දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුවේ නැහැ...
ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආරක්ෂක හැකියාව ඉහළින් තිබුනා...
ඒකට හොඳම උදාහරණේ වෙන්නේ,
පළවෙනි වටේදී ඔවුන්ට විරුද්ධව සලකුණු උනේ,
එක ගෝල් එකක් විතරයි...
ඒ ගෝල් එක ගැහුවෙත් ඇල්ජීරියාවට ලැබුණ දඬුවම් පහරකින්...
ඒ අතින් ගත්තම බෙල්ජියම ඇමරිකාවට වඩා ඉහළින් ඉන්නවා...

ඇමරිකාවේ පැත්තෙන් ගත්තත් එහෙම්මම තමයි...
ඔවුන්ගේත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව සාපේක්ෂව ගොඩක් අඩුයි...
පළවෙනි වටයේ තරඟ 3ටම ඇමරිකාව විසින්,
ගෝල් ගහන්න ට්‍රයි කරලා තියෙන්නේ 72පාරක් විතරයි...
ඒකෙන් 4 පාරක් ඔවුන් සාර්තක උනා...
නමුත් අමතක නොකළ යුතුදේ තමයි,
ඇමරිකාව තරඟ වැදුනේ ජර්මනිය, පෘතුගාලේ සහ ඝානාව වගේ,
ප්‍රභල රටවල් එක්ක කියන කාරණේ...
බෙල්ජියම තරඟ කරපු ඇල්ජීරියාව, රුසියාව සහ ද.කොරියාව,
රටවල් 3ම ඇමරිකාවේ ප්‍රතිවාදීන්ට වඩා සාපේක්ෂව දුර්වල රටවල්...

මේ කොහොම වෙතත් අද දවසේ,
ඇමරිකාවේ වර්ල්ඩ්කප් අනාගතය රැඳිලා තියෙන්නේ,
ඔවුන් ආක්‍රමණශීලී තරඟ රටාවකින් සෙල්ලම් කිරීමෙන් විතරයි...
තමන්ට ඒ හැකියාව තියෙන බව ඇමරිකාව,
තමන්ගේ පළවෙනි වටේ තරඟ 3දී ක්‍රියාවෙන්ම පෙන්නුවා...
අදත් ඔවුන් ඒ විදියටම සෙල්ලං කරන්න පුළුවං වෙයිද...

මට හිතෙන්නේ,
අද ඇමරිකාව ජයග්‍රහණය කරනවා...
ගෝල් 1-0 වගේ රිසල්ට් එකක් එයි...
බොහෝවිට අතිරේක මිනිත්තු 30 තුළදී,
තරඟේ ඉරණම තීරණය වෙන්න ඉඩ තියෙයි...
පෙනල්ටි ශූට් එකකට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
එහෙම උනත්, ඇමරිකාව 4-3ක් විදියට දිනනවා...

මේ හැම දේම වෙන්න තියෙන්නේ තව පැය කීපයයි...
අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට,
මේ තරඟේ පටං ගන්නවා...
හෙට උදේට රිසල්ට් එක එක්ක සෙට් වෙමු... :-)

ජර්මනිය VS ඇල්ජීරියාව - පසු සටහන | Review


කව්රුත් බලාපොරොත්තු වෙච්ච විදියටම,
ජර්මනිය තරඟාවලියේ තවත් ඉඳිරියට ගියත්,
හිතපු තරම් ලේසියෙන් ඒ ගමන යන්න,
සටන්කාමී ඇල්ජීරියානුවන් ඉඩ දුන්නේ නැහැ...

තරඟේ 17වෙනි විනාඩියේදී ඇල්ජීරියානුවන්,
ජර්මනි ගෝල් එක ආක්‍රමණය කළත්,
ඕෆ්සයිඩ් නිසා ඒ අවස්තාව ඔවුන්ට මගහැරී ගියා...
තරඟේ පළවෙනි විනාඩි 45 සම්පූර්ණයෙන්ම පාලනය කළේ,
ඇල්ජීරියානුවන් කියලා කිව්වොත් වැරදි නැහැ...
ඒ තරමටම තර්ජනාත්මකව ඔවුන්,
ප්‍රබල ජර්මනියට අභියෝග කළා...

නමුත් තරඟේ දෙවන භාගයේදී,
ජර්මනිය නැවතත් තරඟයට අවතීර්ණ උනා...
පළවෙනි කොටසේදී ඔවුන් සිදුකළ වැරදි බොහොමයක්,
දෙවෙනි කොටසට එද්දි හදාගෙන තිබ්බ ආකාරයක් තමයි පෙන්නුම් කළේ...
ජර්මනිය ආක්‍රමණශීලී රටාවකට ක්‍රීඩා කළත්,
ජර්මනියේ හිඩැස් අතරින් රිංගා යන්න ඇල්ජීරියාවට හැකියාව ලැබුනා...
මේ තරඟේ ඒක පාර්ෂවීය තරඟයක් වෙයි කියලා,
හැමෝම මුලින් කල්පනා කළත්,
ඇල්ජීරියාවේ ක්‍රීඩා විලාශය නිසාම,
තරඟය දෙපිලටම විවෘත උනා...

තරඟයේ සමස්ත ක්‍රීඩා කාලය වෙන,
මිනිත්තු 90වම ගෝල් නැතුව අවසාන කරගන්නට,
ඇල්ජීරියානුවන්ට හැකියාව ලැබුණා...
ඒක ඇල්ජීරියාව පැත්තෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්...
නමුත් අතිරේක මිනිත්තු 30 පටං ගත්ත ගමංම,
තෝමස් මුලර් සහ ඇන්ඩෘ ෂෲල් සුසංයෝගයෙන්,
ජර්මනිය ගෝල් රැස් කරන්න පටං ගත්තා...
ඇල්ජීරියානුවන් අන්ද මන්ද කරමින්,
ඇඟට පිටිපස්සෙන් ගහපු ඒ ගෝල් එක,
තරඟේ ඉරණම තීරණය කරයි කියලයි බොහෝ දෙනෙක් හිතුවේ...
නමුත් ආයෙත් තරඟේ 120වෙනි විනාඩියේදී,
ඔසිල් ජර්මනියේ දෙවෙනි ගෝල් එකත් ගහලා,
ක්වාටර් ෆයිනල් සීට් එක ජර්මනියේ බුක්තියට සවිකර ගත්තා...
නමුත් සටන්කාමී ඇල්ජීරියාවත් හිස් අතින් ගෙදර යන්න,
බලාපොරොත්තු වෙච්ච වගක් පෙන්නුවේ නැහැ...
ඔවුන් 120 වෙනි විනාඩියේදී ජර්මානු ගෝලය ආක්‍රමණය කළේ,
අතිරේක කාලය අවසන් වෙද්දී 2-1 විදියට ගෝල සටහන අවසන් කරමින්...
අවසානයේ සටන්කාමී ඇල්ජීරියාව පරදා,
ප්‍රභල ජර්මනිය ජයග්‍රහණය කෙරුවා...

අනිත් තරඟවලදී වගේම මේ තරඟේදීත්,
කණ්ඩායම් දෙකේම ගෝල් කීපර්ලාගේ දක්ෂතාවයන්,
ඉතා ඉහළ මට්ටමකින් තිබෙනු දකින්නට ලැබුණා...
කණ්ඩායම් දෙකේම ගෝලිලා නවත්තපු,
නිසැක ගෝල් සංඛ්‍යාව ඉතා විශාලයි...
එයිනුත් ඇල්ජීරියාවේ ගෝලි රෙයිස්ගේ දක්ෂතාවයන්,
වඩාත් හොඳින් කැපී පෙනුනා...
ඇල්ජීරියාව තරඟේ පරාද උනත්,
තරඟේ වීරයා සම්මානේ රෙයිස්ට හිමිවුනේ,
ඔහුගේ ඒ විශේෂ දක්ෂතා නිසාම තමයි...


මේ තරඟය ජර්මනිය ජයග්‍රහණය කෙරුවත්,
ඔවුන්ගේ මැදපෙළ ආරක්ෂක දුර්වලතාවයන්,
යළිත් වතාවක් නිරාවරණය වෙච්ච ආකාරය දැකගන්න පුළුවං...
ක්වාටර් ෆයිනල් තරඟෙදි ජර්මනියේ ප්‍රතිවාදීන් වෙන ප්‍රංශේ,
මේ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න එකක් නැහැ...
ඒක ප්‍රංශේ පැත්තෙන් යහපත් දෙයක් උනත්,
වර්ල්ඩ් කප් දිනන බලාපොරොත්තුවෙන් ආව ජර්මනියට නං,
යහපත් තත්ත්වයක් නෙමේ...

කොහොම උනත්,
යුරෝපීය පාපන්දු ශූරයින් දෙගොල්ලකගේ,
සුවිශේෂී ගැටුමක් දැකබලාගන්න,
ලොව පුරා ෆුට්බෝල් ප්‍රේමීන්ට අවස්තාව ලැබිලා තියෙනවා...
ලබන ජූලි 04 සිකුරාදා,
පළවෙනි ක්වාටර් ෆයිනල් මැච් එක විදියට,
ජර්මනිය සහ ප්‍රංශය තරඟ වදිනවා...
ඒ උණුසුම් තරඟය එක්ක ආයෙත් සෙට් වෙමු... :-)

Monday, June 30, 2014

ජර්මනිය VS ඇල්ජීරියාව | Germany VS Algeria


ජර්මනිය මෙදාපාර වර්ල්ඩ් කප් දිනයි කියලා,
බොහෝ දෙනෙක් හිතපු සහ,
ඒ බව මේ වනවිට ක්‍රියාවෙනුත්,
සෑහෙන තරම් දුරට පෙන්නපු ටීම් එකක්...
70% දුරට තවත් ඒක පාර්ෂවීක තරඟයක් වේවි මේකත්...
විශේෂයෙන්ම තෝමස් මුලර් අද දවසේදීත්,
තමන්ගේ සුප්රුදු දක්ෂතා අතරට පැමිණේවි කියලයි මට හිතෙන්නේ...
ඒ වගේම වර්ල්ඩ් කප් 4කදී ගෝල් 15ක් ගහලා,
දැනට වැර්ල්ඩ් කප් ගෝල් වැඩිම ගාණක වාර්තාව,
බ්‍රසීලේ රොනාල්ඩෝ එක්ක බෙදාහදාගෙන ඉන්න මිරස්ලෝව් ක්ලෝස,
අද තරඟේ මුල ඉඳංම ක්‍රීඩා කරයි කියලත් බලපොරොත්තු වෙනවා...
පහුගිය තරඟ 3දීම ක්ලෝස පිට්ටනියට ආවේ ආදේශක ක්‍රීඩකයෙක් විදියට...
ඒ වගේම ඔහුට අද ඔහුගේ ගෝල් මල්ලට තව ගෝල් එකක්,
දාගන්නත් අවස්තාවක් ලැබේවි...

ඇල්ජීරියාවත් පළවෙනි වටේ මුහුණ දුන්න හැම තරඟේදීම,
ගෝල් එකක් හෝ ඊට වැඩිය ලබාගත්තා...
මේ තරඟේදීත් ඒ දක්ෂතාවයන් ඔවුන්ට දක්වන්න පුළුවං උනොත්,
වඩාත් උණුසුම් සහ තියුණු තරඟයක් බලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම ඝානා සහ ඇමරිකා තරඟ දෙකේදී,
ජර්මනිය පෙන්නපු මැද පෙළ ආරක්ෂක දුර්වලතාවයන්,
මේ තරඟේදී උලුප්පලා ගන්න ඇල්ජීරියාවට හැකි උනොත්,
ඔවුන්ට හොඳ තරඟයක් දෙන්න අවස්තාවක් තියෙනවා...
පළවෙනි විනාඩි 15-20 ඇතුළේ ගෝල් එකක් ගහගන්න,
ඇල්ජිරියාවට හැකි උනෝතිං,
මේ තරඟේ පට්ටම සිරා තරඟයක් බවට පත්වෙනවා...
ආයේ ඒකේ දෙකක් නැහැ...
ඒ වගේම ඇල්ජීරියාවට තවදුරටත් ඉස්සරහට යන්න,
තියෙන එකම බලාපොරොත්තුවත් ඒකම තමයි....

මට හිතෙන්නේ,
මේ තරඟය ජර්මනිය ජයග්‍රහණය කරනවා...
ඒක ගෝල් 2-1 වගේ ජයග්‍රහණයක් වෙයි...
සමහරවිට ජර්මනිය ගෝල් 3ක් විතර ගහන්නත් පුළුවනි...

මේ හැමදේම අනුමානයන් සහ උපකල්පන පමණයි...
අර රෑ 1.30 ඉඳලා මේ දේවල් වෙනවද කියලා දැකබලාගන්න පුළුවනි...
තරඟේ රිසල්ට් එක එක්ක හෙට උදේ සෙට් වෙමු... :-)

Sunday, June 29, 2014

කොස්ටරීකා VS ග්‍රීසිය - පසු සටහන | Review



2014 වර්ල්ඩ්කප් එකේ අප්සට් ජොකියා,
තවත් පට්ට සිරා ජයග්‍රහණයක් එක්ක,
ඉතිහාසයේ පළවෙනි වතාවට,
ෆුට්බෝල් වර්ල්ඩ් කප් අර්ධ අවසාන පූර්ව වටේට සුදුසුකම් ලැබුවා...

52වෙනි විනාඩියේදී කොස්ටරිකාවේ බ්‍රයන් රුයිස්,
මෙලෝ රහක් නැති ගෝල් එකක් ගහලා තරඟේ වාසිය,
තමන්ගේ පැත්තට බර කර ගත්තත්,
91වෙනි විනාඩියේදී සොක්‍රටීස් ගහපු පට්ට සිරා ගෝල් එක නිසා,
විනාඩි 90ක් විතරක් සෙල්ලං කරලා,
Quarter final යන්න තිබ්බ කොස්ටරීකා බලාපොරොත්තු,
තව පැයකට පස්සට දාගන්න හේතු බූත උනා...
ඒ වගේම 66වෙනි මිනිත්තුවේදී,
කොස්ටරීකා ආරක්ෂකයෙක් වෙච්ච ඔස්කාර්,
දෙපාරක් වැරදි කරලා දඬුවම් ලැබිලා එලියට යන්න වෙච්ච නිසා,
ඉතිරු සම්පූර්ණ කාලයම කොස්ටරීකාව සෙල්ලං කළේ,
ක්‍රීඩකයින් 10 දෙනෙක් ගෙන්...
එහෙම තත්ත්වයක් තියාගෙනත්,
අවසානේදි තරඟේ ජයග්‍රහණය කළා කියන්නේ,
පට්ට  ආශ්චර්යමත් වැඩක්....

අතිරේක මිනිත්තු 30ක වෙලාවේදීත්,
දෙපැත්තම ගෝල් ගහන්න තිබ්බ ආසන්න අවස්තාවල් නූලෙං ගැස්සිලා ගියත්,
කොස්ටරීකා ගෝලි නවාස්ගේ පිස්සු හැදෙන දක්ෂතාවන් නිසාම,
පැනල්ටි ශූට් එක දක්වා තරඟේ අරගෙන යන්න කොස්ටරීකාව වාසනාවන්ත උනා...
ඒ වගේම වැඩ පෙන්නන්න ඕනෙම තැනේදී වැඩ පෙන්නලා,
තමන්ගේ ටීම් එක ජයග්‍රහණය කෙරෙව්වට උපහාරයක් විදියට,
කොස්ටරීකාවේ ගෝලි, නවාස් තරඟයේ වීරයා විදියට නම් කළා...


තරඟේ පුරාම පන්දුවේ පාලනේ වැඩිපුර තිබ්බේ ග්‍රීසිය අතේ...
ඒ වගේම බෝලේ පාස් කරද්දිත් ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ගොඩක් ඉහලින් හිටියා...
ටකල් කරපු ඒවාගෙන් දෙපැත්තම සම දක්ෂතාවලින් හිටියත්,
අනිත් සෑම අංශේකින්ම ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ඉස්සරහින් හිටියා...
නමුත් අන්තිමේ පෙනල්ටි ගහපු වෙලාවේදී,
ග්‍රීසිය පස්සට ඇදලා දාපු කොස්ටරීකාව ඉස්සරහට ඇවිත්,
තමන්ගේ ඉතිහාසේ පළවෙනි වතාවට,
වර්ල්ඩ් කප් එකක අර්ධ අවසාන පූර්ව වටේට තේරුනා...

ලබන සෙනසුරාදා,
එහෙම නැත්තං ජූලි 05 වෙනිදා,
කොස්ටරීකාව සහ නෙදර්ලන්තේ හමුවෙනවා,
අර්ධ අවසන් පූර්ව වටයේ තරඟේදි...

මෙදාපාර වර්ල්ඩ් කප් එක දිනන ලිස්ට් එකේ ඉන්න,
නෙදර්ලන්තේට අවසන් පුර්ව වටේට යන්න පුළුවං වෙයිද...
අප්සට් ජොකියාට වර්ල්ඩ් කප් එක තව දුරටත් අප්සට් කරන්න පුළුවං වෙයිද...
එහෙම නැත්තං කොස්ටරීකාව මෙච්චර දුරක් ආව ඒ සිහින ගමනේ කෙළවර මේතනද...
මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර එක්ක ලබන සෙනසුරාදාට සෙට් වෙමු... :-)