Monday, March 9, 2015

ඊයේ අපිට මොකද උනේ | Our Chances in CWC 2015



2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ අවසාන ඉවර උනේ ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයග්‍රහණයක් ලබාදෙමින්.

ගොඩක් අය කියන්නේ ඕස්ට්‍රේලියාවට අපේ ටීම් එක ගහපු ගැහිල්ල හරි හොඳයි කියලයි. ඒ වගේම ඒ පරාජය ජයග්‍රාහී පරාජයක් විදියටත් බොහෝ දෙනා අර්ථ දක්වලා තිබුණා. සංගක්කාරගේ ශතකය, ඩිල්ෂාන් එක ඕවරයකදී 4 පාරවල් 6ක් ගැසීම, චන්දිමාල්ගේ පන්දු 22 අර්ධ ශතකය වගේ දේවල් එ තරඟයේදී අපි දැක්ක හොඳ දේවල් තමයි. නමුත් ඒ මැච් එකේදි අපි හරියට සෙල්ලම් කළාද? ඇත්තටම ඒක ජයග්‍රාහී පරාජයක්ද? එහෙමත් නැතිනම් අනිවාර්යෙන්ම වෙන්න තිබ්බ පරාජයක්ද?

මීට කළිං මැච් එකේ එංගලන්තෙත් එක්ක දින්නට පස්සේ ලිව්ව සටහනේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කළා. ඒ ප්‍රශ්න ඔක්කෝම ඒ විදියටම මේ තරඟයේදීත් තිබ්බ එක තමයි අවාසනාවට කාරණාව.



මුලින්ම සළකමු පන්දු යැවීම...

එංගලන්ත තරඟයේදී අන්තිම ඕවර 10 දී ලකුණු 103ක් ලබා දුන්නා. ඊයේ තරඟයේදී අන්තිම ඕවර 10 දී ඕස්ට්‍රේලියාව ලබාගත්ත ලකුණු ගාණ 123ක්. ඒක එංගලන්තය ලබාගත්තට වඩා ලකුණු 20ක වැඩිවීමක්. අන්තිම ඕවර 15ම බැලුවොත් ඕස්ට්‍රේලියාව ලකුණු 175ක් ගැහුවා. බැටිං පවර්ප්ලේ ඕවර් 5දී ඕස්ට්‍රේලියාව ගත්ත ලකුණු ගාණ ලකුණු 54ක්. ඒ වගේම අන්තිම ඕවර 10දී ඕවරයකට ලකුණු 12.3ක වේගයක් රඳවාගන්න ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අපේ පන්දු යවනන් ඉඩ ප්‍රස්ථාව දීලා තියෙනවා.

ඊයේ අවසාන ඕවර 10යේදී අපේ පන්දු යැවීම සිදු වුනේ මේ ආකාරයටයි.
ප්‍රසන්න ඕවර් 2 (41,46)  ලකුණු 33 (RPO 16.5)
මැතිව්ස් ඕවර් 3 (42,44,50) ලකුණු 33 (RPO 11.0)
තිසර    ඕවර් 3 (43,47,49) ලකුණු 47 (RPO 15.6)
මාලිංග  ඕවර් 2 (45,48) ලකුණු 10 (RPO 5.0)

එංගලන්ත තරඟයට සාපේක්ෂව ඉතා හොඳ පන්දුයැවීමක් ලසිත් මාලිංගගෙන් දක්නට ලැබුණත්, මැතිව්ස් සහ තිසර දෙදෙනාම ආයෙත් වතාවක් දැඩි ප්‍රහාරයකට ලක්වුනා. ප්‍රසන්න තමන්ගේ ඕවර 10දී ලබා දුන් ලකුණු 77න් 33ක්ම ලබාදුන්නේ මේ අවසාන ඕවර 2දී වීමත් විශේෂත්වයක්. ඒ කියන්නේ දැන් ගැටළුව පැහැදිලියි. අන්තිම ඕවර 10යේ පන්දු යැවීම සඳහා තිසර සහ මැතිව්ස් සුදුසු නැහැ. සචිත්‍ර, ඩිල්ෂාන් දෙනම ඉද්දි දිගින් දිගටම තිසරවම බෝල් කරන්න දාන්න මැතිව්ස්ට හිතුනේ ඇයි කියන එක ගැන කිසිම අදහසක් මට නැහැ. ඒත් දැං වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඉඳිරි තරඟවලදී ඒ වෙනුවට වෙන යම් විකල්පයකට යා යුතුයි. මාලිංග මීට වඩා වැඩි ඕවර සංඛ්‍යාවක් අවසාන ඕවර 10 තුළදී යැවිය යුතුයි. ඒ වගේම ඩිල්ෂාන් සහ සචිත්‍ර දෙදෙනාව මීට වඩා භාවිතා කරන්නට තිබුණා. තමන්ට ඉන්න හොඳම පන්දු යවන්නන්ව ඉතුරු කරගෙන අනිත් අයගෙන් මැද ඕවර් 25,30 කවර් කරගන්න එක නායකයාගේ වැඩක්. කෙසේවෙතත් අවසාන ඕවර 10දී ලකුණු 100කට වඩා අපේ පන්දු යවන්නන් ලබාදෙන මේ ක්‍රියාවලිය වෙනස් විය යුතුමයි. එහෙම නැති උනොත් ඉස්සරහටත් ලකුණු 350ක් 360ක් පස්සෙන් පන්නන්න තමයි වෙන්නේ.

පන්දු රැකීමත් ඒ ආකාරමයි. ඊයේ දවසේදී අතෑරපු උඩපන්දු ගණන 4ක්. ඒ වගේම හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමත් සාපේක්ෂව මදි. ඊයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 4 සීමාව ආසන්නයේදී පන්දුව රැකීමෙන් අපිට වඩා බොහොම ඉහළින් හිටියා. මගේ පුද්ගලික විශ්වාසය, ඊයේ දවසේදී පන්දු රැකීම ඉහළ තලයක තිබ්බනං අපිට ඕස්ට්‍රේලියාව ලබාගත්ත ලකුණු ගණන 350ට අඩු කරගන්න තිබුණා. නමුත් ඒක එහෙම උනේ නැහැ. අපේ කණ්ඩායමේ පන්දු රැකීමේ මේ දුර්වලතාවය ලෝක කුසලානය පුරාම අපි දැක්ක දෙයක්. ඒක කවදා හැදෙයිද කියන්න දන්නේ නැහැ.



පන්දුවට පහරදීමත් එහෙම්මම තමයි.
හැමදාම වගේ බැට් කරන්න ආපු ගමං තිරිමාන්න දෙන කැච් එක මිස් නොකර අල්ලගන්න ඕස්ට්‍රේලියාවට පුළුවං උනා. ඊයේ මැච් එකට බැට්ස්මන්ලා 9ක් ගැහුවට ඒකෙන් සාර්ථක උනේ තුන්දෙනෙක් විතරයි. ඒ ඩිල්ෂාන්, සංගක්කාර සහ චන්දිමාල්. මේකෙන් වඩාත් වැදගත් වෙන්නේ චන්දිමාල්ගේ සාර්ථකත්වය. ඊයේ වෙනකං කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ චන්දිමාල්ට ඔය තරම් හැකියාවක් තියෙනවා කියලා වේගයෙන් ලකුණු රැස්කරන්න. නමුත් අධික පීඩනයක් යටතේ උනත් චන්දිමාල් ඉතාම දක්ෂ විදියට පහරදීලා ඉතා ඉක්මන් ලකුණු 50ක් කණ්ඩායමට ලබා දුන්නා. ඒ දායකත්වය අතිශය තීරණාත්මකයි. නමුත් සමස්ථයක් විදියට අනිත් පිතිකරුවන් හැමෝම ෆේල්. ඒ බව අපි පිළිගත යුතුයි. උඩ තුන් හතරදෙනා ගැහුවේ නැත්තං ලකුණු ගහන්න වෙන කෙනෙක් නැහැ කියන දේ ආයෙත් වතාවක් පැහැදිලි උනා. ඊයේ මැච් එකේදී චන්දිමාල් පාදයේ ආභාදයක් ඇවිත් පැවිලියන් එකට යන්නේ ලකුණු 281දී. එතකොට ඕවර් ගණන දැක්වුනේ 41.2ක් විදියට. එතන ඉඳලා ඕවර් 5ක් යද්දි ලකුණු 30ක් විතරක් එකතුවෙද්දි අපි ඕල්අවුට් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ මැද පෙළ දුර්වලයි කියන දේ දෙවෙනි වතාවටත් ඔප්පු උනා. ඒ වගේම හරි හමං බෝලිං ඇටෑක් එකක් දෙන්න පුළුවං ටීම් දෙකක්ම දැං අපිව ඕවර් 50ට කලිං ඕල්අවුට් කරන්න පුළුවං කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉස්සෙල්ලාම නවසීලන්තේ අපිව ඕවර් 47කදී ඕල්අවුට් කළා. ඊයේ ඕස්ට්‍රේලියාවත් අපිව ඕවර් 47කදී ඕල්අවුට් කළා. අඩුම ගානේ ඕවර් 50 බැට් කරගන්නවත් අපිට බෑ නේද කියන සිතුවිල්ල ස්ථිර කරන එක යහපත් දෙයක් නෙමේ. ලෝක කුසලානේ ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේ දේවල් ඉතා ඉක්මනින්ම වෙනස් කරගත යුතුයි.

අපිට තියෙන ඊළඟ මැච් එක තියෙන්නේ ස්කොට්ලන්තේ එක්ක. ඒ මැච් එක දිනාගන්න අපේ අයට හැකියාව තියෙනවා. ඒක දින්නත් අපි නතර වෙන්නේ A3 කියන ස්ලොට් එකේ. මේ යන විදියට B2 කියන ස්ලොට් එකේ ඉතුරු වෙන්නේ දකුණු අප්‍රිකාව. එතකොට අර්ධ අවසන් පූර්ව තරඟය (Quarter Final) තියෙන්නේ අපි සහ දකුණු අප්‍රිකාව අතර. ඒ මැච් එකේදීත් මේ විදියට බෝල් කළොත් ඊයේ මැක්ස්වෙල් බෝල 50කදී ලකුණු 100ක් ගැහුවා වගේ එදාට ඩිව්ලියර්ස් බෝල 80කට 180ක්වත් ගහයි. කොහොමත් දකුණු අප්‍රිකාව එක්ක මැච් එකේදී එයාලා මුලින් බැට් කළොත් ලකුණු 370ක් 380ක් විතර එළවන්න බලාපොරොත්තුවෙන් ඉන්න එක හොඳයි. මේ බෝල් කරන විදිය සහ ෆීල්ඩ් කරන විදිය දැක්කම ඊට වඩා යහපත් චිත්‍රයක් මවාගන්න බැහැ. ඒ වගේම බැටිනුත් මේ විදියටම තිබ්බොත් ලකුණු 330ක් විතර ගහගන්න අපේ අයටත් පුළුවං වේවි. ලකුණු 40කින් විතර මැච් එක පැරදුනාම ඊට පහුවෙනිදට ක්‍රිකට් විචාරක බුවාලා හැමෝම වගේ ඒකත් "ජයග්‍රාහී පරාජයක්" විදියට අර්ථ දක්වාවි. පත්තරවලත් එහෙම්මම තියේවි. ලෝක කුසලානේ වෙන ටීම් එකක් ද්නාගන්නවා අපිට කට ඇරගෙන බලගන්න නං හැකියාව තියේවි.

අපි සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් පූර්ව තරඟය තියෙන්න නියමිත වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගනයේදීමයි. ඒ කියන්නේ ඊයේ දවසේ මැච් එක තිබ්බ පිට්ටනියේමයි. ලෝක කුසලාන ඉතිහාසය ගත්තෝතින් දකුණු අප්‍රිකාව කියන්නේ ඉතාම අවාසනාවන්ත රටක්. හැම ලෝක කුසලානෙකටම කළිං රෑන්ක් 01 ඉන්න කණ්ඩායම තමයි දකුණු අප්‍රිකාව. ඒ වගේම පළවෙනි රවුමත් හොඳින්ම ඉවර කරන කණ්ඩායමක් තමයි ඔවුන්. හැබැයි ඔවුන්ගේ වාසනාව හැමදාම ක්වාටර් ෆ්යිඅල්, සෙමි ෆයිනල් එද්දි ඉවර වෙනවා. බොහොම අවාසනාවන්ත විදියට ෆයිනල් පෙනි පෙනී ඔවුන් තරඟාවලියෙන් ඉවතට විසිවෙච්ච අවස්ථා ගණන එකක් දෙකක් නෙමේ. අනිත් අතිං අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තම ෆයිනල් එන්න තියෙන වාසනා ශක්තිය නං අති විශාලයි. 2003 ඉඳංම ලෝකේ හැම කලාපෙකම තිබ්බ ලෝක කුසලානවලදී අන්තිම කණ්ඩායම් 4ට එන්න අපිට පුළුවං උනා. වාසනාව කියන සාධකේ අතිං අපි දකුණු අප්‍රිකාවට වඩා ඉඳිරියෙන් ඉන්නවා. හැබැයි මෙදාපාරත් ඒ වාසනාව අපිට තියෙයිද?

මේ ගැටළු ඔක්කෝටම උත්තර දැක බලාගන්න පුළුවනි ලබන මාර්තු 18 වෙනිදට. ඒ වෙද්දි දැං මේ තියෙන දුර්වලතාවයන් හදාගෙන වඩාත් ශක්තිමත්ව ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායමට ශක්තිය, ධෛර්යය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහේ ඉඳං ක්‍රීඩාලෝලීන් විදියට අපිට කරන්න පුළුවං එකම දේ ඒක විතරයි!!!

1 comment:

  1. ලංසගෙන් කුඩු පැකට් ටිකක් ඉල්ලගෙන, අනිත් ටීම් වල එවුන්ගේ බෑග් වලට දාලා ඉන්ටපොල් එකට කම්ප්ලේන් කරමු.

    ReplyDelete