Sunday, June 17, 2018

Costa Rica VS Serbia | Preview

Russia 2018 - අපි දකින විදිය


බ්‍රසීලයේ පැවැත්වුන 2014 FIFA World Cup එකේදි තරඟාවලිය උඩු යටිකුරු කරපු කණ්ඩායම තමයි කොස්ටරීකා කණ්ඩායම. 2014දී ඔවුන්ගේ ඉරණම විදියට මුළු ලෝකයාම බලාපොරොත්තුවෙන්  හිටියේ පළවෙනි වටයේදීම තරඟාවලියෙන් ඉවතට විසිවෙලා ගෙවල් බලා යාවි කියලා වුනත්, ලෝකයේ නම් දරාපු කණ්ඩායම් තුන හතරකට කළින්ම ගෙදර යන්න සළස්වමින් කොස්ටරීකාව අර්ධ අවසාන පූර්ව වටය දක්වා දුර ගමනක් පැමිණියා. එතෙක් මෙතෙක් තුළ කොස්ටරීකාව FIFA World Cup එකකදී දක්වපු ඉහළම දක්ෂතාවය තමයි 2014 බ්‍රසීලේදී ඔවුන් ඒ පෙන්නුම් කෙරුවේ.

එදායින් අවුරුදු 4කට පස්සේ අදත් ඔවුන් සර්බියාවට එරෙහිව පළවෙනි තරඟය ක්‍රීඩා කරමින් 2018 FIFA World Cup එකේ තමන්ගේ ගමන ආරම්භ කරනවා. මෙදාපාර බ්‍රසීලය, ස්විට්සර්ලන්තය සහ සර්බියාව තමයි මූලික වටයේදී කොස්ටරීකාවේ ප්‍රතිවාදීන් වෙන්නේ. අද වෙද්දි කොස්ටරීකාව ලෝක ශ්‍රේණිගතකිරීම්වලදී 23වන තැන පසුවෙනවා.

අද තරඟය ගැන කතා කෙරුවොතින්, කොස්ටරිකානු කණ්ඩායමේ ගෝලි විදියට ක්‍රීඩා කරන කෙයිලර් නවාස් ගේ කරපිට විශාල වගකීමක් තියෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. 2014 වසරේදීත් කොස්ටරීකාව ලබාගත්ත සුවිශේෂී සාර්ථකත්වයේ ප්‍රධානම පුරුකක් තමයි නවාස්ගේ සුවිශිෂ්ඨ ගෝල් රැකීම. බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේදී හොඳම ගෝල් කීපර්ට ලැබෙන සම්මානය සඳහාත් නවාස්ගේ නම යෝජනා වුනේ මේ දක්ෂතාවය නිසාමයි. ඒ කොහොම වෙතත් කොස්ටරීකාවේ පහුගිය අවසාන තරඟ කීපයේ දක්ෂතාවයන් නම් ඒ තරම් සුබදායී නැහැ. ඔවුන් අවසාන වශයෙන් ක්‍රීඩා කරපු තරඟ 5න් 3ක්ම පරාජයට පත්වීම ඔවුන්ගේ පැත්තෙන් තිබෙන ප්‍රධාන දුර්වලතාවයක්. 

කොස්ටරීකා ගෝලි නවාස් - 2014 FIFA World Cup එකේදි

සර්බියානු කණ්ඩායම ගැන කතාකෙරුවොතින්, 2010 වසරෙන් පසුව ඔවුන් පළවෙනි වතාවට තමයි FIFA World Cup තරඟාවලියකට සහභාගීවන්නේ. ඒ වගේම අවසානයේ පැවතුන තරඟ කීපයක්ම ජයග්‍රහණයකින් අවසන් කරන්නත් ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වගේම  23 හැවිරිදි සර්බියානු ඉඳිරිපෙළ ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් මිට්‍රොවික් සර්බියාව ක්‍රීඩාකරපු අවසාන තරඟයේදී ගෝල් ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වීමත් සර්බියාවේ ප්‍රභල ක්‍රීඩකයන් කීපදෙනෙක්ම මේ වෙද්දි ඉහළම ක්‍රීඩා රටාවක් පෙන්නුම්කරමින් සිටිමත් ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සුබදායී දෙයක් විදියට පෙන්වා දෙන්න පුළුවනි. විශේෂයෙන්ම මෙවර තරඟාවලිය රුසියාවේ පැවැත්වීම නිසාම තමන්ට හිතකර කාළගුණික තත්ත්වයන් යටතේ තරඟ කිරීමට ලැබීමත් සර්බියානුවන්ට තිබෙන අමතර වාසියක්.

හරි, දැන් තියෙන්නේ තරඟයේ ප්‍රතිඵලේ ගැන අපි දකින විදිය කියන එක.
අද තරඟය සර්බියානු ජයග්‍රහණයකින් කෙළවර වේවි කියන එකයි අපේ අදහස. බොහෝ විට 1-0 විදියට තරඟය අවසාන වේවි. ඒ වගේම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙන්නත් විශාල ඉඩක් තියෙනවා.

අපි ආයෙත් කොස්ටරීකාව දෙසට හැරෙමු. ඔවුන් අදත් මුහුණ දී සිටින්නේ 2014 තරඟාවලිය ආරම්භයේදී මුහුණපා සිටි තත්ත්වයටම කියලයි අපේ නම් අදහස. තමන්ගේ කාණ්ඩයේ සිටින බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය කියන කණ්ඩායම් දෙක අතර තරඟ වලින් ඔවුන් ජය ලබාගැනීමේ සම්භාවිතාවය ඉතාම අඩු බව ඕනෑම කෙනෙක් පිළිගන්න කරුණක්. ඒ වගේම තමන්ට හිතකර සහ හුරුපුරුදු තත්ත්ව යටතේ සහ මේ වෙද්දි ඉතාම හොඳ පන්නරයකින් ක්‍රීඩා කරන සර්බියාවත් අද දවසේදී කොස්ටරිකාව අභිභවා යනු ඇතැයි කියලයි බොහෝ පාපන්දු විචාරකයන්ගේ අදහස. මේ නිසා ලෝකයේ බොහෝ පාපන්දු විචාරකයන්ට අනුව කොස්ටරිකාවේ ඉරණම මෙවරත් ලියවිලා තියෙන්නේ පළවෙනි වටයෙන්ම ගෙදර යන්න.

කොස්ටරිකාව ආයෙමත් තමන්ගේ ඉරණම තමන්ම ලියාගනීවිද? අපේ රටේ වෙලාවෙන් හරියටම හවස 5.30ට ඇරඹෙන තරඟයෙන් අපිට ඒ බව සජීවීව බලාගන්නට පුළුවනි.

No comments:

Post a Comment