Monday, July 22, 2024

ලොව විශිෂ්ටතම ඔලිම්පික් මීටර් 100 අවසන් තරගය



ඔලිම්පික් දැන් ළඟ ළඟම එනවා. ක්‍රීඩා ලෝකයේ මහා මෞලි මංගල්‍යයට හැම කෙනෙක්ම සූදානම් වෙනකොට අපි හිතුවා ඔලිම්පික් ඉතිහාසයේ සමහර දේවල් ඔබට සමීප කරන්න.


ඔලිම්පික් තරගාවලියේ වඩාත් අවධානය දිනාගත්ත ක්‍රීඩා ඉසව් වලින් ඉදිරියෙන්ම තියෙන එකක් තමයි පිරිමි මීටර් 100 අවසන් තරගය.


නිල වශයෙන් ලෝකයේ වේගවත්ම මිනිසා කවුද කියලා මේකෙන් තේරෙනවා. තත්ත්පර 10 කට අඩු කාලයකින් ජයග්‍රාහකයා තේරෙන මීටර් 100 අවසන් තරගය ලොව අඩුම වේලාවකින් නිමා වන ක්‍රීඩා තරග ඉසව්වක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.


මේ තරග ඉසව්වට තියෙන අවධානය නිසාම ඉතිහාසයේ විශිෂ්ටතම මීටර් 100 අවසන් තරගය ගැන කතා කරන්න හිතුණා. වැඩි ඈතක නෙමෙයි 2012 ලන්ඩන් ඔලිම්පික් එකේදි තමයි අපි මේ අවසන් ගැටුම දකින්නේ.


මේ අවසන් තරගයේ ධාවනය කරන 8 දෙනාම විශිෂ්ටයන්. මුළින්ම බලමු කවුද මේ 8 දෙනා කියලා.


මංතීරු අංක 02 - රිචර්ඩ් තොම්සන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ)


රිචඩ් තොම්සන් කියන නම මළල ක්‍රීඩා පිටියේ ගොඩ දෙනෙක්ට අහලා පුරුදු නමක් නෙමෙයි. හැබැයි ඔහු 2012 අවසන් තරගයට එනකොට ඔහුගේ නම කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ.


2008 බීජිං ඔලිම්පික් අවසන් තරගයේ රිචඩ් දෙවනි වුණේ උසේන් බෝල්ට් ට විතරයි. ඔහු ඒ වෙද්දි ඔලිම්පික් මීටර් 100 රිදී පදක්කම් ලාභියා. 


2008 බීජිං වල ජැමෙයිකා ඩෝපින් සිද්ධියෙන් පස්සේ 100×4 රන් පදක්කම් ලාභියෙක්. රිචඩ් තොම්සන් කොදෙව් ජාන වලින්ම සැකසුන තත්ත්පර 10 ට අඩුවෙන් ඇස් පියාගෙන දුවන්න පුළුවන් කෙනෙක්.


මංතීරු අංක 03 - අසාෆා පවෙල් (ජැමෙයිකාව)


නම අහලා තියෙනවා නේ? ලේසි පහසු ඩයල් එකක් නෙමෙයි. 2005 සහ 2008 තත්ත්පර 9.77 ක් සහ 9.74 ක් වාර්තා කරමින් ලෝක වාර්තාව දෙවරක් අලුත් කරපු ධාවකයෙක්.


ඔහු තත්ත්පර 9.72 ට මීටර් 100 දුවලා තියෙනවා. මේක සටහන් වෙන්නේ මීටර් 100 ධාවන ඉතිහාසයේම සිව්වෙනි හොඳම කාලය හිමි ධාවකයා විදිහට.


පවෙල් ජැමෙයිකාව වෙනුවෙන් ප්‍රධාන මළල ක්‍රීඩා තරගාවලි වලදී තමන්ගේ ක්‍රීඩා දිවියේ පදක්කම් 16 ක් දිනලා තියෙනවා. එතනින් 10 ක් ම රන් පදක්කම්.


මංතීරු අංක 04 - ටයිසන් ගේ (අමරිකාව)


තවත් ලෝක වාර්තාවේ හිමිකාරයෙක්. තත්ත්පර 9.69 ක කාලයක් වාර්තා කරමින් අදටත් අමරිකානු මීටර් 100 වාර්තාව තියෙන්නේ ඔහුගේ නම ඉදිරියෙන්.


ඒ විතරක් නෙමෙයි ටයිසන් ගේ දුවපු මේ 9.69 තමයි ඉතිහාසයේ මීටර් 100 ඉසව්වක සම දෙවන හොඳම ධාවකයා වාර්තාව. 


ඔහු 2007 මීටර් 100 සහ 200 ඉසව් දෙකේම ලෝක ශූරයා. 2009 බර්ලින් වලදී ටයිසන් ගේ දෙවනි වුණේ උසේන් බෝල්ට් ට විතරයි.


මංතීරු අංක 05 - යොහාන් බ්ලේක් (ජැමෙයිකාව)


මේ කතා කරන 2012 ඔලිම්පික් මීටර් 100 ෆයිනල් එකට එද්දී යොහාන් බ්ලේක් පිට පිටම කිහිප වතාවක් උසේන් බෝල්ට් ව පරාජය කරලා තිබුණා. මේ හින්දම බෝල්ට්ගේ කිරුළ බ්ලේක් ට යයි කියලා ගොඩක් අය හිතුවා.


උසේන් බෝල්ට් ගේ වැරදි ආරම්භය නිසා බ්ලේක් 2011 ලෝක ශූරයා වුණා. ජැමයිකන් ට්‍රයල්ස් වලදී බෝල්ට් ව පරාජය කළා. බ්ලේක් කියන්නෙත් තත්ත්පර 9.69 කට මීටර් 100 දුවපු කෙනෙක්.


අර කලින් කියපු ටයිසන් ගේ තියපු සම දෙවනි ධාවකයා වාර්තාවේ අනිත් නම තමයි යොහාන් බ්ලේක්.


මංතීරු අංක 06 - ජස්ටින් ගැට්ලින් (අමරිකාව).


ජස්ටින් ගැට්ලින් කිව්වම ඕනිම ක්‍රීඩාවට උනන්දු කෙනෙක් දන්නවා මොන වගේ ධාවකයෙක් ද කියලා. ඔහු අවුරුදු ගානක්ම උසේන් බෝල්ට් ට කරට කර සටනක් ලබා දුන්නා. එහෙම කරන එක ලේසි දෙයක් නෙමෙයි.


ගැට්ලින් කියන්නේ 2004 ඇතැන්ස් ඔලිම්පික් රන් පදක්කම් ලාභියා. ඔහු ලෝක ශූරයෙක්. ඔලිම්පික් ශූරයෙක්. අවුරුදු ගණනාවක් ම තත්ත්පර 10 ට අඩුවෙන් දුවපු කෙනෙක්.


ගැට්ලින් ක්‍රීඩාවට සමු දෙනකොට ප්‍රධාන මළල ක්‍රීඩා තරගාවලි වල රන් පදක්කම් 9 ක් එක්ක සමස්ථ පදක්කම් 20 ක් දිනලා තිබුණා. මේ කාලයේ අමරිකානු කෙටිදුර තනි අශ්වයා වුණේ ගැට්ලින්.


මංතීරු අංක 07 - උසේන් බෝල්ට් (ජැමෙයිකාව)


බෝල්ට් ගැන ආයෙම අටුවා ටීකා මොකටද? මීටර් 100 තත්ත්පර 9.58 කට දිව්වා. ලෝක වාර්තාවේ හිමිකාරයා. ඔලිම්පික් ශූරයා. ඉතිහාසයේ බිහිවුණ විශිෂ්ටතම මීටර් 100 ධාවකයා.


ඔලිම්පික් වාර්තා, ලෝක වාර්තා ඔක්කොම තිබුණේ බෝල්ට් ගේ නම ඉස්සරහ. ඔලිම්පික් රන් පදක්කම් ම 8 ක් ඔහු සමු ගන්නකොට නම ඉදිරියෙන් සටන් වුණා. 


මේ ඔක්කොමත් එක්ක උසේන් බෝල්ට් තමයි ලන්ඩන් ඔලිම්පික් මීටර් 100 ශූරයා වෙන්න ෆේවරිට් වෙලා හිටියේ. හැබැයි ඔහු 2011 ලෝක ශූරතා අවසන් තරගයේ ලබා ගත්ත වැරදි ආරම්භයේ චකිතය හැම කෙනෙක්ගෙම හිතේ කොනක තිබුණා.


මංතීරු අංක 08 - රයන් බේලි (අමරිකාව)


බේලි කියන්නේ මේ සෙට් එකත් එක්ක ගත්තම ඉතාම ලොකු චරිතයක් නෙමෙයි. හැබැයි ඔහු 2010 දී තත්ත්පර 9.88 කින් මීටර් 100 ඉසව්ව අවසන් කළා.


මේ මීටර් 100 අවසන් තරගයේ අමරිකානුවන් 3 ක් සහ ජැමෙයිකානුවන් 3 ක් දිව්වා. මේ කාලයේ කෙටිදුර ධාවනයේ ආධිපත්‍යය මේ රටවල් දෙකට ගිහින් තියෙන හැටිත් මේ ලයිනප් එක දැක්කම පේනවා.


මංතීරු අංක 09 - චුරන්ඩි මාටිනා (නෙදර්ලන්තය)


මළල ක්‍රීඩාව ගැන කතා කරද්දී අඩුවෙන් කතාවෙන ගෝල්ඩන් එරා එකේ දුවපු අවාසනාවන්තම ධාවකයා තමයි චුරන්ඩි මාටිනා. ඔහු නෙදර්ලන්තය නියෝජනය කරමින් සෑම අවස්ථාවකදීම ප්‍රභල තරු වලට හොඳ අභියෝගයක් දුන්නා.


ඔහු මුලින්ම ධාවනය කළේ ඕලන්ද අධිරාජ්‍ය වෙනුවෙන්. ඊට පස්සේ නෙදර්ලන්තයට. ඔහු හැමදාම ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් වලට ආසන්න වෙලා ආයෙම හැරිලා ගියා.


හැබැයි මේ කතා කරන කාලෙදි චුරන්ඩි මාටිනා යුරෝපීය මීටර් 100 ශූරයා වෙලා හිටියා. ඔහු දෙපාරක්ම ඒ ශූරතාවය දිනා ගත්තා.


අවසන් තරගය...


මේ විශිෂ්ට අවසන් තරගයේ ආරම්භක සංඥාව ලබාදෙන්න ඔන්න මෙන්න තියෙද්දි (තත්ත්පර 2-3 කට කලින්. ක්‍රීඩකයෝ ලෑස්ති වෙලා) පිටිපස්සේ හිටපු ප්‍රේක්ෂකයෙක් ප්ලාස්ටික් බෝතලයක් ට්‍රැක් එකට විසි කරනවා.


වාසනාවකට වගේ මේ බෝතලය වැටෙන්නේ ධාවකයන්ට පිටුපසින්. මේ වෙලාව අතිශය නිශ්ශබ්ධ වේලාවක්. බෝල්ට් සහ බ්ලේක් කියන්නෙ තමන්ට එහෙම ශබ්දයක් ඇසුණේ නෑ කියලා.


"එක පාරට මට ශබ්දයක් ඇසුණා. ඒකෙන් මම පොඩ්ඩක් තිගැස්සුනා." තරගයෙන් පස්සේ ජස්ටින් ගැට්ලින් එහෙම කියලා තිබුණා. 


කොහොම වුණත් මේ බෝතල් ප්‍රහාරය ධාවනයට බාධාවක් වුණේ නෑ. ප්‍රහාරයත් එක්කම ආරම්භක සංඥාව නිකුත් වුණා. 


නැවත වතාවක් ජයග්‍රහණය උසේන් බෝල්ට් සතු වෙද්දී රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙලින් යොහාන් බ්ලේක් සහ ජස්ටින් ගැට්ලින් අතරේ බෙදී ගියා.


අවසන් තරග ප්‍රතිඵලය 


1. උසේන් බෝල්ට් (ජැමෙයිකාව) - තත්ත්පර 9.63 (නව ඔලිම්පික් වාර්තාවක්)


2. යොහාන් බ්ලේක් (ජැමෙයිකාව) - තත්ත්පර 9.75


3. ජස්ටින් ගැට්ලින් (අමරිකාව) - තත්ත්පර 9.79


4. රයන් බේලි (අමරිකාව) - තත්ත්පර 9.88


5. චුරන්ඩි මාටිනා (නෙදර්ලන්තය) - තත්ත්පර 9.94


6. රිචඩ් තොම්සන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ) - තත්ත්පර 9.98


7. අසාෆා පවෙල් (ජැමෙයිකාව) - තත්ත්පර 11.99


- ටයිසන් ගේ (අමරිකාව) - තත්ත්පර 9.80


තරගය අතරතුරදී ආබාධයකට ලක් වීම නිසා අසාෆා පවෙල් ට බලාපොරොත්තු වුණ ධාවනය පෙන්වන්න බැරි වුණා. 


ඒ වගේම තත්ත්පර 9.80 ක කාලයක් පෙන්නපු ටයිසන් ගේ 2013 දී තහනම් උත්තේජක චෝදනාවකට වැරදිකරු වෙනවා. ඒ හින්දා ඔහුගේ ධාවනය මේ ඉසව්වෙන් ඉවත් කළා.


2012 ලන්ඩන් ධාවනය කොයි තරම් විශිෂ්ට ද කියනවා නම් 2021 ටෝකියෝ ඔලිම්පික් ශූරයා වුණ මාර්සෙල් ජාකොබ්ස් ඒ වේගයෙන්ම 2012 අවසන් තරගය දිව්වා නම් ඔහුට යන්න වෙන්නේ කිසිම පදක්කමක් නැතුව හිස් අතින්.


අදටත් පෙනෙන්න තියෙන ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම මීටර් 100 අවසන් තරගය නම් 2012 ලන්ඩන් තරගයම තමයි!

No comments:

Post a Comment