Monday, June 18, 2018

Germany VS Mexico | Review



2018 FIFA World Cup එකේ තමන් ගැන රටේ ලෝකේ මිනිස්සු අහස උසට ගොඩ ගහපු බලාපොරොත්තු පොළවටම සමතලා කරලා දාන්න ජර්මනි කණ්ඩායමට ගතවුනේ මිනිත්තු 90ක් විතරයි. ඊයේ තරඟයේ ප්‍රතිඵලේ මෙච්චරයි. මෙක්සිකෝව 1 - ජර්මනිය 0.

තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දක්ෂම තැන මොකක්ද, ඒ දක්ෂම තැනට පහර පිට පහර එල්ල කරලා දැඩි පීඩනයක් දුන්නම සමස්ථ පද්ධතියම පල්ලම් බහින්නේ කොහොමද කියන එක ඊයේ මෙක්සිකානුවන් මුළු ලෝඔකෙටම පෙන්නා දුන්නා. ටෝනි කෲස්ව, හමෙල්ස්ව, මුලර්ව මෙක්සිකානුවන් හිර කරද්දි ඔවුන්ගේ පීඩනය කඩාගෙන යන්න සැළසුමක් ජර්මානුවන් සතුව තිබුණේ නැහැ කියන එකයි තරඟය පුරාවටම අපි දැක්කේ. තරඟයේදී බහුතර කාලයක් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දැරුවේ ජර්මනිය වුනත්, ජර්මානුවන්ට ඔවුන්ගේ පුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න මෙක්සිකානුවන් ඉඩ දුන්නේම නැති තරම්. ඒ වගේම සාමාන්‍ය ජර්මානු කණ්ඩායමකින් දකින සංවිධානාත්මක ක්‍රීඩා රටාව ඊයේ දවසේදී අපි දැක්කේ නැහැ. පාස් එකක් හරි විදියට සම්පූර්ණ කරගන්න නොහැකි වුන අවස්ථාවන්, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගන්න නොහැකි වුන අවස්ථාවන්, තමන්ගේ අතේ තියෙන පන්දුව ප්‍රතිවාදීන්ට ඩැහැගන්න ඉඩ දීපු අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඊයේ තරඟය පුරාවටම අපි දැක්කා. 

අන්තිම විනාඩියේදී ලැබුණ කෝනර් කික් එක ගෝල් එකක් කරගන්න මෙක්සිකෝ ගෝල් එක ගාවට ආව ජර්මන් ගෝලි නෙයුවර්

තරඟයේ 35වෙනි මිනිත්තුවේදී හර්වින් ලොසානෝගේ හැඩකාර ගෝල් එකෙන් පස්සේ තමන්ට තරඟයේ හිමිවුන වාසිය කිසිම වෙලාවකදි ආයෙත් ජර්මනියට ලබා නොදෙන්න මෙක්සිකානුවන් කටයුතු කෙරුවා. මෙක්සිකෝ ජයග්‍රහණයේ මූලිකම සාධකය තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගැනීම කියන එකයි අපේ අදහස. ජර්මානුවන් අතේ තිබ්බ පන්දුව 38වතාවකදී ඩැහැගන්න මෙක්සිකානුවන් සමත්වෙද්දි ජර්මනියට ඒ දක්ෂතාවය දක්වන්න හැකි වුනේ 31 වතාවක් විතරයි. 

ජර්මනියේ ගෝල් බලාපොරොත්තු කුඩු කරපු ඔචෝවා
ඒ වගේම මෙක්සිකානු ජයග්‍රහණයේ අනිත් ප්‍රධානම සාධකය තමයි ඔවුන්ගේ ගෝලි ජෙරනිමෝ ඔචෝවා. කොයි තරම් දක්ෂ විදියට මෙක්සිකානු මැදපෙළ සහ ආරක්ෂකයින් ක්‍රීඩා කෙරුවත් ඔචෝවා නොහිටින්න මෙක්සිකෝ ජයග්‍රහණයක් නැහැ කියන එක නම් විශ්වාසයි. නිසැක ජර්මානු ගෝල් 3ක් ඊයේ ගෝල් බවට පත් නොවුනේ ඔචෝවා හින්දමයි. ඒ නිසා ඊයේ තරඟයේ වීරයාට හිමි සම්මානය ඔචෝවාටත් හිමියි කියන එක තමයි අපේ අදහස. 


දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ තමන්ට තියෙන ඉඳිරි තරඟ දෙකේදි ඊයේ පෙන්වාපු දුර්වලතාවයන් මගහරවාගෙන ක්‍රීඩා කරන්න ජර්මනියට සිදුවෙනවා. Rounf of 16 වටයට යාම සඳහා ඔවුන්ට ඒ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඊයේ ලබාගත්ත ජයග්‍රහණයත් සමඟ මෙක්සිකෝවට තවත් එක් තරඟයක් පමණක් ජයගෙන අනිත් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තත් Round of 16 වටයට යාමට ප්‍රමාණවත් කියන එකයි අපේ අදහස. නමුත් අද වෙනකම් තිබුණ තරඟකාරීත්වය එක්ක බලද්දි මේ කිසිම තරඟයක් කිසිම කණ්ඩායමකට පහසු නැති බව නම් පැහැදිලියි.

ඊයේ තරඟයේ ප්‍රතිඵලේත් එක්ක උඩු යටිකුරු උන Gruop F එකේ ඉරණම කොයි පැත්තට කැරකෙයිද. ඉඳිරි තරඟත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි හොයාගමු.

Sunday, June 17, 2018

Germany VS Mexico | Preview

Russia 2018 - අපි දකින විදිය


2014 FIFA World Cup Championsලා වෙච්ච ජර්මනි කණ්ඩායම අද 2018 FIFA World Cup එකේදි තමන්ගේ පළවෙනි තරඟෙට මුහුණ දෙනවා මෙක්සිකෝව සමඟ. මෙදාපාර ලෝක කුසලානය දිනාවි කියලා බොහෝ දෙනා විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉඳිරියෙන්ම ඉන්නේ ජර්මනිය. වසර 2000න් පස්සේ පැවැත්වුන හැම FIFA World Cup එකකදීම අවසාන පූර්ව තරඟය හෝ අවසාන මහා තරඟය දක්වා පැමිණෙන්න ජර්මනියට හැකි වුනා. ඒ අර්ථයෙන් ගත්තම තමන්ගේ දක්ෂතාවයන් කාලයත් සමඟම ස්ථාවර තියාගන්න සහ වර්ධනය කරගන්න ජර්මනියට හැකියාව ලැබුණා. ඒ වගේම තවමත් ලෝකේ අංක එකේ පාපන්දු කණ්ඩායම ජරමනිය යි.

ජර්මනි කණ්ඩායම ගත්තම, 2014 ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩාකරපු ක්‍රීඩකයන් කීපදෙනෙක්ම මෙවරත් ජර්මානු ජර්සියෙන් සැරසිලා පිටියට බහින්න සූදානමින් ඉන්නේ. තමන් සහභාගී වෙච්ච ලෝක කුසලාන තරඟ 13කදී ගෝල් 10ක් ලබාගත්ත, 2010 FIFA World Cup එකේදි Golden Boot සම්මානයත්, 2014 FIFA World Cup එකේදි Silver Boot එකත් දිනාගත්ත තෝමස් මුලර්, මැද පෙළ ක්‍රීඩා කරන ටෝනි කෲස්, හමල්ස් වගේම ජර්මානු ගෝලි නෙයුවර්ව නවත්වන්න මෙක්සිකානුවන්ට හැකිවේවිද.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 15වෙනි ස්ථානයේ ඉන්න මෙක්සිකෝ කණ්ඩායමත් සාපේක්ෂව හොඳ දක්ෂතා දක්වන කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුළුවනි. නමුත් මේ දක්වා කිසිම FIFA World Cup එකකදී ඔවුන්ට Round of 16 වටයෙන් ඉඳිරියට යන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් තමන්ට මුණගැහෙන ඕනෙම තත්ත්වයක ප්‍රතිවාදියෙක්ව පරාජය කරන්න තරම් ජවයක් තියෙන කණ්ඩායමක් තමයි මෙක්සිකෝව. ඉඳිරි පෙළ ක්‍රීඩක ලොසානෝ, මැද පෙළ ආරක්ෂක හෙක්ටර් මොරේනෝ, සේවියර් හර්නෑන්ඩස් වගේ ක්‍රීඩකයන් ජර්මනියට පහසු තරඟයක් ලබා නොදෙනු ඇති කියන එක තමයි අපේ අදහස.

හරි, මූලික විස්තරවලින් පස්සේ හැමදාම වගේ අපේ අනාවැකි සඳහන් කරන වෙලාවයි දැන්.
මේ තරඟය නිසැක වශයෙන්ම ජර්මනියේ තරඟයක් බවයි අපේ අදහස. බොහෝ විට ගෝල් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් රැස් කරන්නත් ඉඩ තියෙනවා. බොහෝ විට 2-0 වගේ ප්‍රතිඵලයක් සම්පූර්ණ කාලය අවසානයේදී සටහන් වේවි.

තව ඉතාම සුළු මොහොතකින් තරඟය ආරම්භවීමට නියමිතයි. ඉතාම උණුසුම් තරඟයක් දැකබලාගන්න අපිට අවස්ථාව ලැබෙනවා කියන එක නම් ඉර හඳ වගේ ස්ථීරයි.

Costa Rica VS Serbia | Preview

Russia 2018 - අපි දකින විදිය


බ්‍රසීලයේ පැවැත්වුන 2014 FIFA World Cup එකේදි තරඟාවලිය උඩු යටිකුරු කරපු කණ්ඩායම තමයි කොස්ටරීකා කණ්ඩායම. 2014දී ඔවුන්ගේ ඉරණම විදියට මුළු ලෝකයාම බලාපොරොත්තුවෙන්  හිටියේ පළවෙනි වටයේදීම තරඟාවලියෙන් ඉවතට විසිවෙලා ගෙවල් බලා යාවි කියලා වුනත්, ලෝකයේ නම් දරාපු කණ්ඩායම් තුන හතරකට කළින්ම ගෙදර යන්න සළස්වමින් කොස්ටරීකාව අර්ධ අවසාන පූර්ව වටය දක්වා දුර ගමනක් පැමිණියා. එතෙක් මෙතෙක් තුළ කොස්ටරීකාව FIFA World Cup එකකදී දක්වපු ඉහළම දක්ෂතාවය තමයි 2014 බ්‍රසීලේදී ඔවුන් ඒ පෙන්නුම් කෙරුවේ.

එදායින් අවුරුදු 4කට පස්සේ අදත් ඔවුන් සර්බියාවට එරෙහිව පළවෙනි තරඟය ක්‍රීඩා කරමින් 2018 FIFA World Cup එකේ තමන්ගේ ගමන ආරම්භ කරනවා. මෙදාපාර බ්‍රසීලය, ස්විට්සර්ලන්තය සහ සර්බියාව තමයි මූලික වටයේදී කොස්ටරීකාවේ ප්‍රතිවාදීන් වෙන්නේ. අද වෙද්දි කොස්ටරීකාව ලෝක ශ්‍රේණිගතකිරීම්වලදී 23වන තැන පසුවෙනවා.

අද තරඟය ගැන කතා කෙරුවොතින්, කොස්ටරිකානු කණ්ඩායමේ ගෝලි විදියට ක්‍රීඩා කරන කෙයිලර් නවාස් ගේ කරපිට විශාල වගකීමක් තියෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. 2014 වසරේදීත් කොස්ටරීකාව ලබාගත්ත සුවිශේෂී සාර්ථකත්වයේ ප්‍රධානම පුරුකක් තමයි නවාස්ගේ සුවිශිෂ්ඨ ගෝල් රැකීම. බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේදී හොඳම ගෝල් කීපර්ට ලැබෙන සම්මානය සඳහාත් නවාස්ගේ නම යෝජනා වුනේ මේ දක්ෂතාවය නිසාමයි. ඒ කොහොම වෙතත් කොස්ටරීකාවේ පහුගිය අවසාන තරඟ කීපයේ දක්ෂතාවයන් නම් ඒ තරම් සුබදායී නැහැ. ඔවුන් අවසාන වශයෙන් ක්‍රීඩා කරපු තරඟ 5න් 3ක්ම පරාජයට පත්වීම ඔවුන්ගේ පැත්තෙන් තිබෙන ප්‍රධාන දුර්වලතාවයක්. 

කොස්ටරීකා ගෝලි නවාස් - 2014 FIFA World Cup එකේදි

සර්බියානු කණ්ඩායම ගැන කතාකෙරුවොතින්, 2010 වසරෙන් පසුව ඔවුන් පළවෙනි වතාවට තමයි FIFA World Cup තරඟාවලියකට සහභාගීවන්නේ. ඒ වගේම අවසානයේ පැවතුන තරඟ කීපයක්ම ජයග්‍රහණයකින් අවසන් කරන්නත් ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වගේම  23 හැවිරිදි සර්බියානු ඉඳිරිපෙළ ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් මිට්‍රොවික් සර්බියාව ක්‍රීඩාකරපු අවසාන තරඟයේදී ගෝල් ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වීමත් සර්බියාවේ ප්‍රභල ක්‍රීඩකයන් කීපදෙනෙක්ම මේ වෙද්දි ඉහළම ක්‍රීඩා රටාවක් පෙන්නුම්කරමින් සිටිමත් ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සුබදායී දෙයක් විදියට පෙන්වා දෙන්න පුළුවනි. විශේෂයෙන්ම මෙවර තරඟාවලිය රුසියාවේ පැවැත්වීම නිසාම තමන්ට හිතකර කාළගුණික තත්ත්වයන් යටතේ තරඟ කිරීමට ලැබීමත් සර්බියානුවන්ට තිබෙන අමතර වාසියක්.

හරි, දැන් තියෙන්නේ තරඟයේ ප්‍රතිඵලේ ගැන අපි දකින විදිය කියන එක.
අද තරඟය සර්බියානු ජයග්‍රහණයකින් කෙළවර වේවි කියන එකයි අපේ අදහස. බොහෝ විට 1-0 විදියට තරඟය අවසාන වේවි. ඒ වගේම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙන්නත් විශාල ඉඩක් තියෙනවා.

අපි ආයෙත් කොස්ටරීකාව දෙසට හැරෙමු. ඔවුන් අදත් මුහුණ දී සිටින්නේ 2014 තරඟාවලිය ආරම්භයේදී මුහුණපා සිටි තත්ත්වයටම කියලයි අපේ නම් අදහස. තමන්ගේ කාණ්ඩයේ සිටින බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය කියන කණ්ඩායම් දෙක අතර තරඟ වලින් ඔවුන් ජය ලබාගැනීමේ සම්භාවිතාවය ඉතාම අඩු බව ඕනෑම කෙනෙක් පිළිගන්න කරුණක්. ඒ වගේම තමන්ට හිතකර සහ හුරුපුරුදු තත්ත්ව යටතේ සහ මේ වෙද්දි ඉතාම හොඳ පන්නරයකින් ක්‍රීඩා කරන සර්බියාවත් අද දවසේදී කොස්ටරිකාව අභිභවා යනු ඇතැයි කියලයි බොහෝ පාපන්දු විචාරකයන්ගේ අදහස. මේ නිසා ලෝකයේ බොහෝ පාපන්දු විචාරකයන්ට අනුව කොස්ටරිකාවේ ඉරණම මෙවරත් ලියවිලා තියෙන්නේ පළවෙනි වටයෙන්ම ගෙදර යන්න.

කොස්ටරිකාව ආයෙමත් තමන්ගේ ඉරණම තමන්ම ලියාගනීවිද? අපේ රටේ වෙලාවෙන් හරියටම හවස 5.30ට ඇරඹෙන තරඟයෙන් අපිට ඒ බව සජීවීව බලාගන්නට පුළුවනි.

Saturday, June 16, 2018

Portugal VS Spain "අපි දැකපු හැටි" | The Review

Russia 2018 - අපි දැකපු විදිය

2018 FIFA World Cup එක පටන් ගත්තට පස්සේ තිබ්බ පළවෙනි "ලොකු" මැච් එක මේ වෙනකම් තිබ්බ හොඳම තරඟය බවට පත්කරන්න පෘතුගීසි සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. තරඟය පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් ආසන්න වශයෙන් විනාඩි 15කට සැරයක් දෙපැත්තෙන් එක පැත්තක් ගෝල් ගහපු මේ තරඟය මේ වෙනකම් තිබුණ තරඟය වලින් ක්‍රියාශීලීම තරඟය විදියටත් හඳුන්වන්න පුළුවනි. ඒ වගේම මේ වෙනතුරු පැවතුන තරඟ වලින් එක් තරඟයක් තුළදී වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා උනේත් මේ තරඟයේදීමයි. තරඟය තුළදී දෙපැත්තම රැස්කරගත්ත ගෝල් සංඛ්‍යාව 6ක්. ඒ වගේම සියළු විචාරක අනාවැකි බොරු කරමින් තරඟය අවසන් උනේ පෘතුගාලය සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් සමව ලබාගෙන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.


පෘතුගාලය පැත්තෙන් ගත්තොතින් මේ තරඟය තනිකරම පෘතුගීසි නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවතුන තරඟයක් විදියට හඳුන්වන්න පුළුවනි. පෘතුගීසි ගෝල් 3ම රොනාල්ඩෝගේ නම ඉඳිරියෙන් ලියවුනත් කණ්ඩායමේ අනිත් සාමාජිකයනුත් ඒ වෙනුවෙන් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්නා කියන එකයි අපේ අදහස. තරඟයේ 4වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ උපක්‍රමශීලීත්වයට පැරදුන ස්පාඤ්ඤ කණ්ඩායමේ නාචෝ නිසා පෙනල්ටියක් හරහා බොහොම පහසුවෙන් පළවෙනි ගෝලය ලබාගන්න රොනාල්ඩෝට හැකියාව ලැබුණා. 44වෙනි මිනිත්තුවේදී ස්පාඤ්ඤ ගෝලි ඩේවිඩ් ඩෙ ගේයා අතින් සිදුවුන අදහාගන්න බැරි අත්වැරැද්ද නිසා පෘතුගීසි ගෝල් ගණන 02ක් බවට පත්වුනත් තරඟය නරඹපු ෆුට්බෝල්වලට ආදරේ කරන හැම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වුනේ 88වෙනි මිනිත්තුවේදී ෆ්‍රී කික් එකකින් රොනාල්ඩෝ ලබාගත්ත ගෝල් එක. Spain defence wall එකට උඩින් ගිහින් ගෝල් එකේ දකුණු පැත්තේ කෙළවරින් හරියටම ගෝල් එක ඇතුළටම යන විදියට ගහපු ඒ ගෝල් එක මේ ලෝක කුසලානේ දැනට වාර්තා උන ගෝල්වලින් ලස්සනම ගෝල් එක කියලා අවිවාදයෙන් කියන්න පුළුවනි. කොටින්ම ස්පාඤ්ඤ ගෝලිට ඒ වෙලාවේදී කරන්න පුළුවන් උන එකම දේ කට ඇරගෙන ෆුට්බෝලේ ගෝල් එක ඇතුළට යන විදිය බලාගෙන ඉන්න එක විතරයි. ඒ ගෝල් එකත් එක්කම ස්පාඤ්ඤ අතේ තිබුණ ජයග්‍රහණය උදුරගෙන තරඟය සමව අවසන් කරගන්න රොනාල්ඩෝ ප්‍රධාන පෘතුගීසිකාරයන්ට හැකියාව ලැබුණා. තරඟයේදී පෙන්නුම් කරපු සුවිශිෂ්ඨ දක්ෂතාවයන් වෙනුවෙන්ම තරඟයේ වීරයා විදියට නම් කළේත් රොනාල්ඩෝවයි. 


ස්පාඤ්ඤ කණ්ඩායම පැත්තෙන් ගත්තම තරඟයේ වාසිය තමන්ගෙන් ගිලිහෙන හැම වෙලාවකදීම ආයෙත් ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයට ගේන්න ඩියාගෝ කොස්තා කටයුතු කළා. තරඟයේ 24වෙනි මිනිත්තුවේදී පෘතුගීසි ආරක්ෂකයන් හතර පස්දෙනෙක් තමන්ව වටකරගෙන ඉද්දි කොස්තා ලබාගත්ත ගෝල් එක ඊයේ තරඟයේදී ස්පාඤ්ඤ කණ්ඩායම ලබාගත්ත ගෝල්වලින් සුපිරි ගෝල් එකක් විදියට හඳුන්වන්න පුළුවනි. ඒ වගේම ආයෙත් පෘතුගාලය තරඟයේ ඉඳිරියෙන් සිටිද්දි 55වෙනි මිනිත්තුවේදී කොස්තා ලබාගත්ත ගෝලයත් එක්ක තරඟය සමකරගන්න ස්පාඤ්ඤයට අවස්ථාව උදා වෙනවා. හරියටම ඊට මිනිත්තු 3කට පස්සේ නාචෝ ගේ කකුලෙන් ඉගිල්ලුන ෆුට්බෝලේ පෘතුගීසි ගෝල්කණුව ඇතුළට කඩාවදින්නේ තරඟ ජයග්‍රහණය ගැන පෘතුගීසි බලාපොරොත්තු කඩකරමින්. නාචෝ ගේ ඒ ගෝල් එකත් බොහොම හැඩකාර ගෝල් එකක් කියන එක තමයි අපේ අදහස. එතන ඉඳලා මිනිත්තු 30ක කාලයක් ජයග්‍රහණය අතේ තියාගෙන ස්පාඤ්ඤ කණ්ඩායම ක්‍රීඩා කෙරුවත්, 88වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ ෆ්‍රී කික් එකෙන් ඉගිලුන ෆුට්බෝලේ ගෝල් එකක් විදියට සටහන් වෙද්දි තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම සහ තරඟයේ වැඩි ගෞරවය පෘතුගාලයට හිමිවීමත් සිදුවුනා.
 

අවසාන ප්‍රතිඵලය ජය පරාජයෙන් තොර වුනාට තරඟයේ වැඩි පාලනයක් තිබුණේ ස්පාඤ්ඤ කණ්ඩායම අතේයි. පාපන්දුව තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීම, නිවැරදි විදියට පාපන්දුව හුවමාරු කරගැනීම වගේ දේවල්වලදි ස්පාඤ්ඤ කණ්ඩායම පෘතුගාලයට වඩා ගව් ගණනාවක් ඉඳිරියෙන් ඉන්න විදිය පැහැදිලිව දැකගන්න පුළුවන් වුනා. තාක්ෂණික වශයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම මේ දක්වන දක්ෂතාවය සහ ජවය ඉඳිරියේ පැවැත්වෙන ඉරාන් සහ මොරොක්කෝ තරඟ දෙකේදී ඔවුන්ට ජයග්‍රහණ ලබා දෙන්න තරම් ප්‍රමාණවත් වේවි කියන එකයි අපේ අදහස. ඒ වගේම පෘතුගාල කණ්ඩායමත් පාපන්දුව හුවමාරු කරගැනීමේදී තමන් දක්වපු දුර්වලතාවයන් මඟහැර ගැනීම ලෝක කුසලානයේ ඉඳිරි තරඟ සඳහා ඉතා හොඳ ආයෝජනයක් බව ස්ථීරයි.

හැකියාවෙන්, ජවයෙන්, ක්‍රියාශීලීත්වයෙන් සහ ගෝල්වලින් පිරුණ මිනිත්තු 90ක ෆුට්බෝල් තරඟයක් අපි දැකපු විදිය ගැන තමයි මේ ඉඳිරිපත් කෙරුවේ. 2018 FIFA World Cup එකේ ඉඳිරි තරඟත් මේ ආකාරයේම උණුසුම් තරඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ තරඟවල Preview සහ Review ඔස්සේ යළිත් හමුවෙමු.

Friday, June 15, 2018

Portugal VS Spain | Preview

Russia 2018 - අපි දකින විදිය

 


Portugal VS Spain | Preview

2018 FIFA World Cup එකේ පළවෙනි "ලොකු" මැච් එක පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර අද අපේ රටේ වෙලාවෙන් රෑ 11.30ට ආරම්භ වෙනවා. ෆුට්බෝල් ලෝකේ දැවැන්තයෝ දෙන්නෙක් අතර සිදුවෙන මේ සටන බලන්න ආස හිතෙන උණුසුම් තරඟයක් වේවි කියන එක තමයි අපේ අදහස.

FIFA ලෝක කුසලානයට පමණක් දෙවෙනි වෙන UEFA European Championship එකේ වර්ථමාන ශූරයෝ තමයි පෘතුගාලය. අද වෙද්දි ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් ඉන්නේ 4වෙනි තැන. ඒ වගේම මෙවර ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉහළින්ම කියවෙන නමක් තමයි පෘතුගාලය. මේ නිසා අද තරඟය ජය අරගෙන බොහොම ශක්තිමත් විදියට තමන්ගේ ලෝක කුසලාන ගමනේ ආරම්භය ලබාගන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගීසිකාරයොන්ගේ අරමුණු කරගෙන ඇති. 2016දී යුරෝපීය කුසලාන අවසාන මහා තරඟයේ ක්‍රීඩා කරපු 11 දෙනාගෙන් 9 දෙනෙක්ම මෙවර ලෝක කුසලානය සඳහාත් නම් කර තිබීමෙන්ම පෘතුගාලයේ ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. සමස්ථයක් විදියට ගත්තම 2016 යුරෝපීය කුසලානයේ ක්‍රීඩාකරපු පෘතුගීසි ක්‍රීඩකයන් 13දෙනෙක් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඉන්නවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, පෙපේ, බර්නාඩෝ සිල්වා, ජොආවෝ මූටීනියෝ වගේ ඉඳිරිපෙල සහ මැදපෙළ සුපිරි ක්‍රීඩකයෝ එක්ක රුයි ප්‍රැටීශියෝගේ සුපිරි දැල් රැකීම එකතු උනාම පෘතුගීසි කණ්ඩායම නවත්තන්න බොහොම අමාරු වේවි කියන එකයි අපේ අදහස.

අනිත් පැත්තෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10වෙනි තැන ඉන්න ස්පාඤ්ඤ කණ්ඩායමත් බොහොම ශක්තිමත් කණ්ඩායමක්. සරළවම කියනවානම්, ස්පාඤ්ඤ කණ්ඩායම මෙදාපාර රුසියාවට ගොඩ බහිද්දිම බොහෝ දෙනෙක් ඔවුන්ව නම් කරලා තිබ්බේ මෙවර FIFA ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් විදියට. ස්පාඤ්ඤ කණ්ඩායම අන්තිමට තරඟ කරපු තරඟ 20න් එකක්වත් ඔවුන් පැරදිලා නැහැ. ඒ තරඟ වලින් තරඟ 14ක් ජයගත්ත ඔවුන් අනිත් තරඟ 6 ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් FIFA ලෝක කුසලානය පටන් ගන්නේ හෙටයි කියලා ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ජූලෙන් ලෝපෙටේගුයිව ධූරයෙන් පහ කරන්නේ මෙම ලෝක කුසලානයෙන් පසු ඔහු රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය ලබාගන්නා බවට සිදුවූ නිවේදනයත් එක්ක. මේ නිසා හිස් වෙච්ච ප්‍රධාන පුහුණුකාර තනතුරට තවත් පාපන්දු ප්‍රවීණයෙක් වෙන ෆර්නෑන්ඩෝ හියේරෝ ව පත්කිරීමට ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් කටයුතු කෙරුවා. ලෝක කුසලානය කට උඩ තියාගෙන සිදුකරපු මේ ඉවත් කිරීම් සහ පත්කිරීම් කණ්ඩායමේ මානසිකත්වයට බොහොම නරක විදියට බලපාවි කියන එක තමයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඒ කොහොම වෙතත් අන්ද්‍රෙස් ඉනිඒස්ටා, සර්ජියෝ රාමෝස්, සියාගෝ කොස්තා වගේ සුපිරි ක්‍රීඩකයින් සහ දැනට ලෝකයේ හොඳම ගෝල්කීපර් විදියට පිළිගන්න ඩේවිඩ් ඩෙ ගේයා ගෙන් සමන්විත ස්පාඤ්ඤ කණ්ඩායම 2010දී තමන් අත්කරගත්ත සාර්ථකත්වය මෙවරත් අත්කර ගන්න ඉඩක් තියේවි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස.

හරි, මූලික විස්තර එතනින් ඉවරයි. දැන් අනාවැකි කියන වෙලාව.

කණ්ඩායම් දෙකම එක හා සමාන දක්ෂතාවයන්ගෙන් සහ අත්දැකීම්වලින් සමන්විත නිසා බොහොම තියුණු තරඟයක් තියේවි. 1-0 හෝ 2-1ක් විදියට පෘතුගීසි ජයග්‍රහණයකින් තරඟය අවසන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

Sunday, March 6, 2016

නායකයො තුනයි හෙට වාසනාවන්තයා?

අපි පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පමණක් උඩින් හිටපු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කන්ඩායමකක් විදියට දැඩි පසුබෑමක් තිබුනා.. පුද්ගලික මට්ටමින් යම් යම් අය සාර්ථක වුනත් සමස්ත කන්ඩායම ගත්තාම ආසියානු කුසලානයට පවා අභියෝගකල හැකි මට්ටමක ලංකා කන්ඩායම ඉන්නවාය කියල පෙනුනෙ නෑ. 

කන්ඩායමක් විදියට බංගලාදේශ ටීම් එක අපිට වඩා බොහොම ඉදිරියෙන් සිටියා.. ඔවුන් සතුව ටී ටුවෙන්ටි මැච් වලට අවශ්‍ය  රිද්මය පිතිකරුවන් තුල තිබුනා..ඕවර 15ට ලකුනු 140ක ඉලක්කයක් ඉන්දියාවට දෙන්න හැකිවෙන්නෙ ආන්න ඒ නිසා.. ඒ වගේම කන්ඩායමක් විදියට ඔවුන් ලග ඉන්දියාව එරෙහි විශේෂ සැලසුම් ආදිය තිබුනා.. ක්‍රීඩකයින් පන්දුවට පහර දෙනවිට වගේම බෝල දානකොටත් ඒ සැලසුම් ආදිය මනාව විදහා දැක්වුනා.. 

අපි ටීවි එකෙන් මැච් එක බලනකොට අපිට පේන්නෙ එක්කෙනෙක් ඇවිත් බෝලෙ දානවා ඉන්පස්සෙ ගහනවා ගහන එකට ලකුනු වැටෙනවා ආදී භෞතික දේවල්ටිකක් විතරයි.. ඒත් ක්‍රිකට් අද දියුනු වෙලා තියෙන තත්වෙ එක්ක දක්ෂ ක්‍රීඩකයින් 11ක් එකතුවෙලා මැච් එකකට බැහැලා මැච් එක ගොඩදාන්න අමාරුයි.. ප්‍රතිවාදින් අද්‍යයනය කිරීම සහ ප්‍රතිවාදීන්ට සැලසුම් සහගත විදියට ඇටෑක් කිරීම වැදගත්. 

ලංකාවෙ මාලිංග මැතිව්ස් සහ  චන්දිමාල් කියනතුන්දෙනා අතර නායකත්වය ගැන අර්බුධයක් තියෙනවා.. ඇතුලෙන් වගේම පිටිනුත් පේන්නම තියෙන විදියට ඒක ඒතරං හොද දෙයක් නෙමෙයි.. දක්ෂතා තියෙන කන්ඩායමක් අපිට සිටියත් අනික් ටීම් එකට සාර්ථක අභියෝගයක් වෙන්නනම් කන්ඩායම එකතු වෙලා සැලසුම ්සහගත ගමනක් යන්නට ඕනි.. අවසානෙ අපි පාකිස්ථානයට පරදින අවස්ථාවේදි  පන්දු යවන්නන් 7ක් විතර පාවිච්චි කලා.. ඒ අවස්ථාවෙදි ලංකා නායකයා සතුව තමුන්ගේ පංදු යැවීමේ ඇණියේ හැකියාවන් ගැන ලොකු දැක්මක් තිබුන බවක් පෙනුනෙ නෑ.. 

බංගලි ටීම් එක ලංකාවෙ හතුරුසිංහ කල්පගේ ල ලොකු තැනකට ගෙඩදාල තියෙන වගක් පේනවා..අපිටත් ඒ වගේ දිග දැක්මක් සහිත ලොකු හස්තයක අවශ්‍යතාවයක් තියෙනවා.. ඒ වගේම ක්‍රීඩකයින් විදියට කොච්චර වටිනවා වුනත් ඇතැම් හිතුවක්කාර මතධාරින්ගේ හිතුවක්කාර මත වලින් ක්‍රීඩා කන්ඩායම ආරක්ෂා කරගන්න එකත් අපේ පරිපාලකයින්ගේ වගකීමක් වෙනවා.. 

ක්‍රිකට් කන්ඩායමක ජයග්‍රහනයක් කියන්නෙ අපිට පේන දේවල් ටිකම විතරක් නෙමෙයි.. ඒකට ක්‍රිකට් පරිපාලකයින් සහ තේරිම් කමිටු පුහුනු කරුවන් භෞත චිකිත්සකයින් ආදී බොහෝ කන්ඩායම් එකට එකතු වන්නට ඕනි.. එතකොට තමයි අපි හෙවත් ප්‍රේක්ෂකයින්ට පේන්න කන්ඩායම් වලට කුසලාන උස්සනවා අපිට බලාගන්න හැකියාවක් ලැබෙන්නෙ. 

මම දකින විදියට අපිට මේ පාර ටුවෙන්ටි ලෝක කුසලානය බොහෝම ඈතයි... ඔස්ට්‍රේලියාව නවසීලන්තය දකුනු අප්‍රිකාව ඉන්දියාව බංගලිදේශය පවා කන්ඩායම් විදියට මෑත කාලයේ අපිට වඩා ස්ථාවර අඩියක් දෙකක් ඉස්සරහින් ඉන්නවාය කියලා පේනවා.. 

ඉදලා හිටලා මැච් එකක් දෙකක් දින්නට අපිට හැමදාම සැලසුම් නැතුව දුවන්න අමාරුයි.. කන්ඩායම නව රාමුවකට ගන්න කස්ටිය මැදිහත් වුනේ නැතිවුනොත් හැමෝටම ඒකෙ වේදනාව විදගන්න අවස්ථාවක් ලැබේවි.. ලංකාව විදියට අපි ලෝකෙ බොහෝ දෙනා අදුනන්නෙ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ක්‍රීඩාවක් හිමි පුංචි සුන්දර රටක් විදියට.. ඒ නම දිගටම අරං යන්න ක්‍රීඩකයින් පාලකයින් තමුන්ගේ මත පෝඩ්ඩක් පැත්තක දාල කන්ඩායමක් වෙනුවෙන් එකතුවෙනෝ නම් හොදයිකියලා මට හිතෙනවා.. 

Monday, February 29, 2016

ආසියාවෙන් ඈතට විසිවෙන ලංකා ක්‍රිකට්

දකුණු ආසියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්..ලෝක ජනගහනයෙන් සියයට විසිපහක්ම ඒ කීවෙ හතරෙන් එකක්ම ඉන්නෙ දකුණු ආසියාවෙ. 

1947ට කලිං ආසියානු කුසලානය කියලා එකක් තිබුනා නම් ඒකෙදි සෙල්ලං කරන්න වෙන්නෙ බොහෝවිට ලංකාවටයි ඉන්දියාවටයි විතරයි.. 1947දි පාකිස්ථානය සහ ඉන්දියාව කියල රටවල් දෙකකට මහා හින්දුස්ථානය බෙදිලා යනවා ඒකෙනුත් නැගෙනහිර පාකිස්ථානය කියලා හදුන්වාගත්ත බංගලි පලාත 1970 දශකයේදී පාකිස්ථානයෙන් බෙදිලා බංගලිදේශය කියලා වෙන් වෙනවා.. 

මේ විදියට දකුනු ආසියාවේ රටවල් අතර තියෙන ජනප්‍රියම කුසලානයක් තමයි ආසියානු කුසලානය කියන්නෙ. 

මේ පාර මේ කුසලානය පැවැත්වෙන්නෙ බංගලිදේශයේ.. බංගලිදේශයේ එකම එක ක්‍රීඩාංගනයක තමයි බොහෝමයක් තරග පැවැත්වෙන්නෙ. මීලගට තියෙන ක්‍රිකට් ලෝකයේ විශාලතම අවස්ථාව තමයි ලෝක කුසලානය.. 20-20 තරග රටාවේ ලෝක කුසලානය තව ටික කාලෙකින් ඉන්දියාවෙදි පටන් ගන්නවා.. 

ලංකා ටීම් එක ඉන්දියාව එක්ක තිබුන තරග තුනෙන් 1වෙනි තරගය නොසිතූ විරු අන්දමින් ලංකාව දිනනවා.. ඉන්දියානු කන්ඩායමේ අවතක්සේරු කිරීම සහ අලුත්ම පිරිසක් තරග බිමට ආවම ඉන්දියාවට තියෙන අපහසුවත් එක්ක ක්‍රීඩාංගනයේ තත්වයත් එම දැවැන්ත ඉන්දීය පරාජයට හේතු වාසනා වෙන්නට ඇත. ඉන් අනතුරු පැවති තරග 4ම ලංකාව ඇඹරුනා.. කොටින්ම ඩුබායි රට එක්ක තිබුන තරගෙදිත් ලංකාව ලේසියෙන් ගැහුව බවක් පෙනුනෙ නෑ.. 

බංගලිදේශ කන්ඩායම ඊයේ හැන්දෑවෙ ලංකාවෙ සිංහයෝ විනාස කලා.. බෙංගාලි කොටි තමයි බංගලි දේශයේ ලකුණ. කොටි ටික සිංහයන්ට නෙලුව නෙලිල්ලක් එපා වෙන්නම.. 

ලංකාවට තියෙන ආදරේ පැත්තකින් තියලා බැලුවම අපේ ටීම් එක ලොකු තැනක ඉන්නාවය කියල කියන්න අමාරුයි..මාලිංග රංගන හේරත්.. වගේ අවසාන කාලේ ඉන්න බෝලර් ලා දෙන්නෙකුයි ඩිල්ශාන් මැතිව්ස් වගේ දැවැන්ත පිතිකරුවන් තුන්දෙනකුයි විතරයි ලංකා කන්ඩායමෙන් පෙන්නුම් කරන්නෙ. ඊට අමතරව ලොකු බලයක් තියෙන වගක් නම් පේන්න නෑ.. 

මම හිතන්නෙ ඊලග තරග දෙකම පැරදිලා අපි හිස් අතින් ගෙදර ඒවි.. මීට කලකට පෙර ඉදන් ආසියානු කුසලානයට ලෝක කුසලානයට ලැස්ති වෙන්න අපිට කාලය තිබුනා.. නමුත් ඒකට කන්ඩායමක් විසේශයෙන් පුරුදු පුහුනු කලාද කියලා ගැටලුවක් තියෙනවා.. 

චන්දික හතුරුසිහ යටතේ බංගලි ටිම් එක ගොඩක් දුර ඇවිත්.. බංගලි කන්ඩායම වෙනස් කරන්න හතුරුසිිංහට හැකිවෙන්නට ඇති. ලාංකිකයින් වශයෙන් ආඩම්බරයි.. ඊඨ අමතරව ගතතොත් හතුරුසිංහ පුහුනු කරුවෙක් විතරයි.. එයැයි ඇවිත් සෙල්ලම් කරන්නෙ නෑනෙ.. බංගලි දේශ රටේ ක්‍රීඩකයින් සතුව තියෙන ක්‍රීඩා ජවය විශිෂ්ඨයි.. ඔවුන් නායකයා එක් කෙනෙක් කරගෙන අනික් අය බලාගෙන හිටියෙ නෑ.. හැමෝම එකතුවෙලා සෙල්ලම් කල විදියක් තමයි  පෙනුනෙ.. 

ලංකාව දිනන වෙලාවට හොද කියන්න පුලුවනි.. ඒ වගේම පරදිනකොට වැරදි කියන්න ත් පුලුවනි..හැමදේකටම ක්‍රිකට් පාලක මණ්ඩලයට වග කියන්න අමාරුයි.. නමුත් ඇහැට පේන්න තියෙන සමහරක් වැරදි අපේ කන්ඩායම අතින් නැවත නැවත කිසිම කැතක් නැතුව සිද්ද වෙනවා.. ඒ ටික හරි නිවැරදි කරගන්න හැකියාවක් අපේ කන්ඩායමට ලැබේවා කියල අපි පාර්ථනා කරමු..