Monday, June 18, 2018

Germany VS Mexico | Review



2018 FIFA World Cup එකේ තමන් ගැන රටේ ලෝකේ මිනිස්සු අහස උසට ගොඩ ගහපු බලාපොරොත්තු පොළවටම සමතලා කරලා දාන්න ජර්මනි කණ්ඩායමට ගතවුනේ මිනිත්තු 90ක් විතරයි. ඊයේ තරඟයේ ප්‍රතිඵලේ මෙච්චරයි. මෙක්සිකෝව 1 - ජර්මනිය 0.

තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දක්ෂම තැන මොකක්ද, ඒ දක්ෂම තැනට පහර පිට පහර එල්ල කරලා දැඩි පීඩනයක් දුන්නම සමස්ථ පද්ධතියම පල්ලම් බහින්නේ කොහොමද කියන එක ඊයේ මෙක්සිකානුවන් මුළු ලෝඔකෙටම පෙන්නා දුන්නා. ටෝනි කෲස්ව, හමෙල්ස්ව, මුලර්ව මෙක්සිකානුවන් හිර කරද්දි ඔවුන්ගේ පීඩනය කඩාගෙන යන්න සැළසුමක් ජර්මානුවන් සතුව තිබුණේ නැහැ කියන එකයි තරඟය පුරාවටම අපි දැක්කේ. තරඟයේදී බහුතර කාලයක් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දැරුවේ ජර්මනිය වුනත්, ජර්මානුවන්ට ඔවුන්ගේ පුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න මෙක්සිකානුවන් ඉඩ දුන්නේම නැති තරම්. ඒ වගේම සාමාන්‍ය ජර්මානු කණ්ඩායමකින් දකින සංවිධානාත්මක ක්‍රීඩා රටාව ඊයේ දවසේදී අපි දැක්කේ නැහැ. පාස් එකක් හරි විදියට සම්පූර්ණ කරගන්න නොහැකි වුන අවස්ථාවන්, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගන්න නොහැකි වුන අවස්ථාවන්, තමන්ගේ අතේ තියෙන පන්දුව ප්‍රතිවාදීන්ට ඩැහැගන්න ඉඩ දීපු අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඊයේ තරඟය පුරාවටම අපි දැක්කා. 

අන්තිම විනාඩියේදී ලැබුණ කෝනර් කික් එක ගෝල් එකක් කරගන්න මෙක්සිකෝ ගෝල් එක ගාවට ආව ජර්මන් ගෝලි නෙයුවර්

තරඟයේ 35වෙනි මිනිත්තුවේදී හර්වින් ලොසානෝගේ හැඩකාර ගෝල් එකෙන් පස්සේ තමන්ට තරඟයේ හිමිවුන වාසිය කිසිම වෙලාවකදි ආයෙත් ජර්මනියට ලබා නොදෙන්න මෙක්සිකානුවන් කටයුතු කෙරුවා. මෙක්සිකෝ ජයග්‍රහණයේ මූලිකම සාධකය තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගැනීම කියන එකයි අපේ අදහස. ජර්මානුවන් අතේ තිබ්බ පන්දුව 38වතාවකදී ඩැහැගන්න මෙක්සිකානුවන් සමත්වෙද්දි ජර්මනියට ඒ දක්ෂතාවය දක්වන්න හැකි වුනේ 31 වතාවක් විතරයි. 

ජර්මනියේ ගෝල් බලාපොරොත්තු කුඩු කරපු ඔචෝවා
ඒ වගේම මෙක්සිකානු ජයග්‍රහණයේ අනිත් ප්‍රධානම සාධකය තමයි ඔවුන්ගේ ගෝලි ජෙරනිමෝ ඔචෝවා. කොයි තරම් දක්ෂ විදියට මෙක්සිකානු මැදපෙළ සහ ආරක්ෂකයින් ක්‍රීඩා කෙරුවත් ඔචෝවා නොහිටින්න මෙක්සිකෝ ජයග්‍රහණයක් නැහැ කියන එක නම් විශ්වාසයි. නිසැක ජර්මානු ගෝල් 3ක් ඊයේ ගෝල් බවට පත් නොවුනේ ඔචෝවා හින්දමයි. ඒ නිසා ඊයේ තරඟයේ වීරයාට හිමි සම්මානය ඔචෝවාටත් හිමියි කියන එක තමයි අපේ අදහස. 


දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ තමන්ට තියෙන ඉඳිරි තරඟ දෙකේදි ඊයේ පෙන්වාපු දුර්වලතාවයන් මගහරවාගෙන ක්‍රීඩා කරන්න ජර්මනියට සිදුවෙනවා. Rounf of 16 වටයට යාම සඳහා ඔවුන්ට ඒ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඊයේ ලබාගත්ත ජයග්‍රහණයත් සමඟ මෙක්සිකෝවට තවත් එක් තරඟයක් පමණක් ජයගෙන අනිත් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තත් Round of 16 වටයට යාමට ප්‍රමාණවත් කියන එකයි අපේ අදහස. නමුත් අද වෙනකම් තිබුණ තරඟකාරීත්වය එක්ක බලද්දි මේ කිසිම තරඟයක් කිසිම කණ්ඩායමකට පහසු නැති බව නම් පැහැදිලියි.

ඊයේ තරඟයේ ප්‍රතිඵලේත් එක්ක උඩු යටිකුරු උන Gruop F එකේ ඉරණම කොයි පැත්තට කැරකෙයිද. ඉඳිරි තරඟත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි හොයාගමු.

No comments:

Post a Comment