Friday, June 15, 2018

Portugal VS Spain | Preview

Russia 2018 - අපි දකින විදිය

 


Portugal VS Spain | Preview

2018 FIFA World Cup එකේ පළවෙනි "ලොකු" මැච් එක පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර අද අපේ රටේ වෙලාවෙන් රෑ 11.30ට ආරම්භ වෙනවා. ෆුට්බෝල් ලෝකේ දැවැන්තයෝ දෙන්නෙක් අතර සිදුවෙන මේ සටන බලන්න ආස හිතෙන උණුසුම් තරඟයක් වේවි කියන එක තමයි අපේ අදහස.

FIFA ලෝක කුසලානයට පමණක් දෙවෙනි වෙන UEFA European Championship එකේ වර්ථමාන ශූරයෝ තමයි පෘතුගාලය. අද වෙද්දි ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් ඉන්නේ 4වෙනි තැන. ඒ වගේම මෙවර ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉහළින්ම කියවෙන නමක් තමයි පෘතුගාලය. මේ නිසා අද තරඟය ජය අරගෙන බොහොම ශක්තිමත් විදියට තමන්ගේ ලෝක කුසලාන ගමනේ ආරම්භය ලබාගන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගීසිකාරයොන්ගේ අරමුණු කරගෙන ඇති. 2016දී යුරෝපීය කුසලාන අවසාන මහා තරඟයේ ක්‍රීඩා කරපු 11 දෙනාගෙන් 9 දෙනෙක්ම මෙවර ලෝක කුසලානය සඳහාත් නම් කර තිබීමෙන්ම පෘතුගාලයේ ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. සමස්ථයක් විදියට ගත්තම 2016 යුරෝපීය කුසලානයේ ක්‍රීඩාකරපු පෘතුගීසි ක්‍රීඩකයන් 13දෙනෙක් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඉන්නවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, පෙපේ, බර්නාඩෝ සිල්වා, ජොආවෝ මූටීනියෝ වගේ ඉඳිරිපෙල සහ මැදපෙළ සුපිරි ක්‍රීඩකයෝ එක්ක රුයි ප්‍රැටීශියෝගේ සුපිරි දැල් රැකීම එකතු උනාම පෘතුගීසි කණ්ඩායම නවත්තන්න බොහොම අමාරු වේවි කියන එකයි අපේ අදහස.

අනිත් පැත්තෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10වෙනි තැන ඉන්න ස්පාඤ්ඤ කණ්ඩායමත් බොහොම ශක්තිමත් කණ්ඩායමක්. සරළවම කියනවානම්, ස්පාඤ්ඤ කණ්ඩායම මෙදාපාර රුසියාවට ගොඩ බහිද්දිම බොහෝ දෙනෙක් ඔවුන්ව නම් කරලා තිබ්බේ මෙවර FIFA ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් විදියට. ස්පාඤ්ඤ කණ්ඩායම අන්තිමට තරඟ කරපු තරඟ 20න් එකක්වත් ඔවුන් පැරදිලා නැහැ. ඒ තරඟ වලින් තරඟ 14ක් ජයගත්ත ඔවුන් අනිත් තරඟ 6 ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් FIFA ලෝක කුසලානය පටන් ගන්නේ හෙටයි කියලා ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ජූලෙන් ලෝපෙටේගුයිව ධූරයෙන් පහ කරන්නේ මෙම ලෝක කුසලානයෙන් පසු ඔහු රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය ලබාගන්නා බවට සිදුවූ නිවේදනයත් එක්ක. මේ නිසා හිස් වෙච්ච ප්‍රධාන පුහුණුකාර තනතුරට තවත් පාපන්දු ප්‍රවීණයෙක් වෙන ෆර්නෑන්ඩෝ හියේරෝ ව පත්කිරීමට ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් කටයුතු කෙරුවා. ලෝක කුසලානය කට උඩ තියාගෙන සිදුකරපු මේ ඉවත් කිරීම් සහ පත්කිරීම් කණ්ඩායමේ මානසිකත්වයට බොහොම නරක විදියට බලපාවි කියන එක තමයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඒ කොහොම වෙතත් අන්ද්‍රෙස් ඉනිඒස්ටා, සර්ජියෝ රාමෝස්, සියාගෝ කොස්තා වගේ සුපිරි ක්‍රීඩකයින් සහ දැනට ලෝකයේ හොඳම ගෝල්කීපර් විදියට පිළිගන්න ඩේවිඩ් ඩෙ ගේයා ගෙන් සමන්විත ස්පාඤ්ඤ කණ්ඩායම 2010දී තමන් අත්කරගත්ත සාර්ථකත්වය මෙවරත් අත්කර ගන්න ඉඩක් තියේවි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස.

හරි, මූලික විස්තර එතනින් ඉවරයි. දැන් අනාවැකි කියන වෙලාව.

කණ්ඩායම් දෙකම එක හා සමාන දක්ෂතාවයන්ගෙන් සහ අත්දැකීම්වලින් සමන්විත නිසා බොහොම තියුණු තරඟයක් තියේවි. 1-0 හෝ 2-1ක් විදියට පෘතුගීසි ජයග්‍රහණයකින් තරඟය අවසන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

No comments:

Post a Comment