Showing posts with label Portugal. Show all posts
Showing posts with label Portugal. Show all posts

Saturday, June 16, 2018

Portugal VS Spain "අපි දැකපු හැටි" | The Review

Russia 2018 - අපි දැකපු විදිය

2018 FIFA World Cup එක පටන් ගත්තට පස්සේ තිබ්බ පළවෙනි "ලොකු" මැච් එක මේ වෙනකම් තිබ්බ හොඳම තරඟය බවට පත්කරන්න පෘතුගීසි සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. තරඟය පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් ආසන්න වශයෙන් විනාඩි 15කට සැරයක් දෙපැත්තෙන් එක පැත්තක් ගෝල් ගහපු මේ තරඟය මේ වෙනකම් තිබුණ තරඟය වලින් ක්‍රියාශීලීම තරඟය විදියටත් හඳුන්වන්න පුළුවනි. ඒ වගේම මේ වෙනතුරු පැවතුන තරඟ වලින් එක් තරඟයක් තුළදී වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා උනේත් මේ තරඟයේදීමයි. තරඟය තුළදී දෙපැත්තම රැස්කරගත්ත ගෝල් සංඛ්‍යාව 6ක්. ඒ වගේම සියළු විචාරක අනාවැකි බොරු කරමින් තරඟය අවසන් උනේ පෘතුගාලය සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් සමව ලබාගෙන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.


පෘතුගාලය පැත්තෙන් ගත්තොතින් මේ තරඟය තනිකරම පෘතුගීසි නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවතුන තරඟයක් විදියට හඳුන්වන්න පුළුවනි. පෘතුගීසි ගෝල් 3ම රොනාල්ඩෝගේ නම ඉඳිරියෙන් ලියවුනත් කණ්ඩායමේ අනිත් සාමාජිකයනුත් ඒ වෙනුවෙන් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්නා කියන එකයි අපේ අදහස. තරඟයේ 4වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ උපක්‍රමශීලීත්වයට පැරදුන ස්පාඤ්ඤ කණ්ඩායමේ නාචෝ නිසා පෙනල්ටියක් හරහා බොහොම පහසුවෙන් පළවෙනි ගෝලය ලබාගන්න රොනාල්ඩෝට හැකියාව ලැබුණා. 44වෙනි මිනිත්තුවේදී ස්පාඤ්ඤ ගෝලි ඩේවිඩ් ඩෙ ගේයා අතින් සිදුවුන අදහාගන්න බැරි අත්වැරැද්ද නිසා පෘතුගීසි ගෝල් ගණන 02ක් බවට පත්වුනත් තරඟය නරඹපු ෆුට්බෝල්වලට ආදරේ කරන හැම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වුනේ 88වෙනි මිනිත්තුවේදී ෆ්‍රී කික් එකකින් රොනාල්ඩෝ ලබාගත්ත ගෝල් එක. Spain defence wall එකට උඩින් ගිහින් ගෝල් එකේ දකුණු පැත්තේ කෙළවරින් හරියටම ගෝල් එක ඇතුළටම යන විදියට ගහපු ඒ ගෝල් එක මේ ලෝක කුසලානේ දැනට වාර්තා උන ගෝල්වලින් ලස්සනම ගෝල් එක කියලා අවිවාදයෙන් කියන්න පුළුවනි. කොටින්ම ස්පාඤ්ඤ ගෝලිට ඒ වෙලාවේදී කරන්න පුළුවන් උන එකම දේ කට ඇරගෙන ෆුට්බෝලේ ගෝල් එක ඇතුළට යන විදිය බලාගෙන ඉන්න එක විතරයි. ඒ ගෝල් එකත් එක්කම ස්පාඤ්ඤ අතේ තිබුණ ජයග්‍රහණය උදුරගෙන තරඟය සමව අවසන් කරගන්න රොනාල්ඩෝ ප්‍රධාන පෘතුගීසිකාරයන්ට හැකියාව ලැබුණා. තරඟයේදී පෙන්නුම් කරපු සුවිශිෂ්ඨ දක්ෂතාවයන් වෙනුවෙන්ම තරඟයේ වීරයා විදියට නම් කළේත් රොනාල්ඩෝවයි. 


ස්පාඤ්ඤ කණ්ඩායම පැත්තෙන් ගත්තම තරඟයේ වාසිය තමන්ගෙන් ගිලිහෙන හැම වෙලාවකදීම ආයෙත් ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයට ගේන්න ඩියාගෝ කොස්තා කටයුතු කළා. තරඟයේ 24වෙනි මිනිත්තුවේදී පෘතුගීසි ආරක්ෂකයන් හතර පස්දෙනෙක් තමන්ව වටකරගෙන ඉද්දි කොස්තා ලබාගත්ත ගෝල් එක ඊයේ තරඟයේදී ස්පාඤ්ඤ කණ්ඩායම ලබාගත්ත ගෝල්වලින් සුපිරි ගෝල් එකක් විදියට හඳුන්වන්න පුළුවනි. ඒ වගේම ආයෙත් පෘතුගාලය තරඟයේ ඉඳිරියෙන් සිටිද්දි 55වෙනි මිනිත්තුවේදී කොස්තා ලබාගත්ත ගෝලයත් එක්ක තරඟය සමකරගන්න ස්පාඤ්ඤයට අවස්ථාව උදා වෙනවා. හරියටම ඊට මිනිත්තු 3කට පස්සේ නාචෝ ගේ කකුලෙන් ඉගිල්ලුන ෆුට්බෝලේ පෘතුගීසි ගෝල්කණුව ඇතුළට කඩාවදින්නේ තරඟ ජයග්‍රහණය ගැන පෘතුගීසි බලාපොරොත්තු කඩකරමින්. නාචෝ ගේ ඒ ගෝල් එකත් බොහොම හැඩකාර ගෝල් එකක් කියන එක තමයි අපේ අදහස. එතන ඉඳලා මිනිත්තු 30ක කාලයක් ජයග්‍රහණය අතේ තියාගෙන ස්පාඤ්ඤ කණ්ඩායම ක්‍රීඩා කෙරුවත්, 88වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ ෆ්‍රී කික් එකෙන් ඉගිලුන ෆුට්බෝලේ ගෝල් එකක් විදියට සටහන් වෙද්දි තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම සහ තරඟයේ වැඩි ගෞරවය පෘතුගාලයට හිමිවීමත් සිදුවුනා.
 

අවසාන ප්‍රතිඵලය ජය පරාජයෙන් තොර වුනාට තරඟයේ වැඩි පාලනයක් තිබුණේ ස්පාඤ්ඤ කණ්ඩායම අතේයි. පාපන්දුව තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීම, නිවැරදි විදියට පාපන්දුව හුවමාරු කරගැනීම වගේ දේවල්වලදි ස්පාඤ්ඤ කණ්ඩායම පෘතුගාලයට වඩා ගව් ගණනාවක් ඉඳිරියෙන් ඉන්න විදිය පැහැදිලිව දැකගන්න පුළුවන් වුනා. තාක්ෂණික වශයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම මේ දක්වන දක්ෂතාවය සහ ජවය ඉඳිරියේ පැවැත්වෙන ඉරාන් සහ මොරොක්කෝ තරඟ දෙකේදී ඔවුන්ට ජයග්‍රහණ ලබා දෙන්න තරම් ප්‍රමාණවත් වේවි කියන එකයි අපේ අදහස. ඒ වගේම පෘතුගාල කණ්ඩායමත් පාපන්දුව හුවමාරු කරගැනීමේදී තමන් දක්වපු දුර්වලතාවයන් මඟහැර ගැනීම ලෝක කුසලානයේ ඉඳිරි තරඟ සඳහා ඉතා හොඳ ආයෝජනයක් බව ස්ථීරයි.

හැකියාවෙන්, ජවයෙන්, ක්‍රියාශීලීත්වයෙන් සහ ගෝල්වලින් පිරුණ මිනිත්තු 90ක ෆුට්බෝල් තරඟයක් අපි දැකපු විදිය ගැන තමයි මේ ඉඳිරිපත් කෙරුවේ. 2018 FIFA World Cup එකේ ඉඳිරි තරඟත් මේ ආකාරයේම උණුසුම් තරඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ තරඟවල Preview සහ Review ඔස්සේ යළිත් හමුවෙමු.

Friday, June 15, 2018

Portugal VS Spain | Preview

Russia 2018 - අපි දකින විදිය

 


Portugal VS Spain | Preview

2018 FIFA World Cup එකේ පළවෙනි "ලොකු" මැච් එක පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර අද අපේ රටේ වෙලාවෙන් රෑ 11.30ට ආරම්භ වෙනවා. ෆුට්බෝල් ලෝකේ දැවැන්තයෝ දෙන්නෙක් අතර සිදුවෙන මේ සටන බලන්න ආස හිතෙන උණුසුම් තරඟයක් වේවි කියන එක තමයි අපේ අදහස.

FIFA ලෝක කුසලානයට පමණක් දෙවෙනි වෙන UEFA European Championship එකේ වර්ථමාන ශූරයෝ තමයි පෘතුගාලය. අද වෙද්දි ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් ඉන්නේ 4වෙනි තැන. ඒ වගේම මෙවර ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉහළින්ම කියවෙන නමක් තමයි පෘතුගාලය. මේ නිසා අද තරඟය ජය අරගෙන බොහොම ශක්තිමත් විදියට තමන්ගේ ලෝක කුසලාන ගමනේ ආරම්භය ලබාගන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගීසිකාරයොන්ගේ අරමුණු කරගෙන ඇති. 2016දී යුරෝපීය කුසලාන අවසාන මහා තරඟයේ ක්‍රීඩා කරපු 11 දෙනාගෙන් 9 දෙනෙක්ම මෙවර ලෝක කුසලානය සඳහාත් නම් කර තිබීමෙන්ම පෘතුගාලයේ ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. සමස්ථයක් විදියට ගත්තම 2016 යුරෝපීය කුසලානයේ ක්‍රීඩාකරපු පෘතුගීසි ක්‍රීඩකයන් 13දෙනෙක් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඉන්නවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, පෙපේ, බර්නාඩෝ සිල්වා, ජොආවෝ මූටීනියෝ වගේ ඉඳිරිපෙල සහ මැදපෙළ සුපිරි ක්‍රීඩකයෝ එක්ක රුයි ප්‍රැටීශියෝගේ සුපිරි දැල් රැකීම එකතු උනාම පෘතුගීසි කණ්ඩායම නවත්තන්න බොහොම අමාරු වේවි කියන එකයි අපේ අදහස.

අනිත් පැත්තෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10වෙනි තැන ඉන්න ස්පාඤ්ඤ කණ්ඩායමත් බොහොම ශක්තිමත් කණ්ඩායමක්. සරළවම කියනවානම්, ස්පාඤ්ඤ කණ්ඩායම මෙදාපාර රුසියාවට ගොඩ බහිද්දිම බොහෝ දෙනෙක් ඔවුන්ව නම් කරලා තිබ්බේ මෙවර FIFA ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් විදියට. ස්පාඤ්ඤ කණ්ඩායම අන්තිමට තරඟ කරපු තරඟ 20න් එකක්වත් ඔවුන් පැරදිලා නැහැ. ඒ තරඟ වලින් තරඟ 14ක් ජයගත්ත ඔවුන් අනිත් තරඟ 6 ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් FIFA ලෝක කුසලානය පටන් ගන්නේ හෙටයි කියලා ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ජූලෙන් ලෝපෙටේගුයිව ධූරයෙන් පහ කරන්නේ මෙම ලෝක කුසලානයෙන් පසු ඔහු රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය ලබාගන්නා බවට සිදුවූ නිවේදනයත් එක්ක. මේ නිසා හිස් වෙච්ච ප්‍රධාන පුහුණුකාර තනතුරට තවත් පාපන්දු ප්‍රවීණයෙක් වෙන ෆර්නෑන්ඩෝ හියේරෝ ව පත්කිරීමට ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් කටයුතු කෙරුවා. ලෝක කුසලානය කට උඩ තියාගෙන සිදුකරපු මේ ඉවත් කිරීම් සහ පත්කිරීම් කණ්ඩායමේ මානසිකත්වයට බොහොම නරක විදියට බලපාවි කියන එක තමයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඒ කොහොම වෙතත් අන්ද්‍රෙස් ඉනිඒස්ටා, සර්ජියෝ රාමෝස්, සියාගෝ කොස්තා වගේ සුපිරි ක්‍රීඩකයින් සහ දැනට ලෝකයේ හොඳම ගෝල්කීපර් විදියට පිළිගන්න ඩේවිඩ් ඩෙ ගේයා ගෙන් සමන්විත ස්පාඤ්ඤ කණ්ඩායම 2010දී තමන් අත්කරගත්ත සාර්ථකත්වය මෙවරත් අත්කර ගන්න ඉඩක් තියේවි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස.

හරි, මූලික විස්තර එතනින් ඉවරයි. දැන් අනාවැකි කියන වෙලාව.

කණ්ඩායම් දෙකම එක හා සමාන දක්ෂතාවයන්ගෙන් සහ අත්දැකීම්වලින් සමන්විත නිසා බොහොම තියුණු තරඟයක් තියේවි. 1-0 හෝ 2-1ක් විදියට පෘතුගීසි ජයග්‍රහණයකින් තරඟය අවසන් වේවි කියලා අපි විශ්වාස කරනවා.