Showing posts with label පසු සටහන. Show all posts
Showing posts with label පසු සටහන. Show all posts

Monday, June 18, 2018

Germany VS Mexico | Review



2018 FIFA World Cup එකේ තමන් ගැන රටේ ලෝකේ මිනිස්සු අහස උසට ගොඩ ගහපු බලාපොරොත්තු පොළවටම සමතලා කරලා දාන්න ජර්මනි කණ්ඩායමට ගතවුනේ මිනිත්තු 90ක් විතරයි. ඊයේ තරඟයේ ප්‍රතිඵලේ මෙච්චරයි. මෙක්සිකෝව 1 - ජර්මනිය 0.

තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දක්ෂම තැන මොකක්ද, ඒ දක්ෂම තැනට පහර පිට පහර එල්ල කරලා දැඩි පීඩනයක් දුන්නම සමස්ථ පද්ධතියම පල්ලම් බහින්නේ කොහොමද කියන එක ඊයේ මෙක්සිකානුවන් මුළු ලෝඔකෙටම පෙන්නා දුන්නා. ටෝනි කෲස්ව, හමෙල්ස්ව, මුලර්ව මෙක්සිකානුවන් හිර කරද්දි ඔවුන්ගේ පීඩනය කඩාගෙන යන්න සැළසුමක් ජර්මානුවන් සතුව තිබුණේ නැහැ කියන එකයි තරඟය පුරාවටම අපි දැක්කේ. තරඟයේදී බහුතර කාලයක් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දැරුවේ ජර්මනිය වුනත්, ජර්මානුවන්ට ඔවුන්ගේ පුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න මෙක්සිකානුවන් ඉඩ දුන්නේම නැති තරම්. ඒ වගේම සාමාන්‍ය ජර්මානු කණ්ඩායමකින් දකින සංවිධානාත්මක ක්‍රීඩා රටාව ඊයේ දවසේදී අපි දැක්කේ නැහැ. පාස් එකක් හරි විදියට සම්පූර්ණ කරගන්න නොහැකි වුන අවස්ථාවන්, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගන්න නොහැකි වුන අවස්ථාවන්, තමන්ගේ අතේ තියෙන පන්දුව ප්‍රතිවාදීන්ට ඩැහැගන්න ඉඩ දීපු අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඊයේ තරඟය පුරාවටම අපි දැක්කා. 

අන්තිම විනාඩියේදී ලැබුණ කෝනර් කික් එක ගෝල් එකක් කරගන්න මෙක්සිකෝ ගෝල් එක ගාවට ආව ජර්මන් ගෝලි නෙයුවර්

තරඟයේ 35වෙනි මිනිත්තුවේදී හර්වින් ලොසානෝගේ හැඩකාර ගෝල් එකෙන් පස්සේ තමන්ට තරඟයේ හිමිවුන වාසිය කිසිම වෙලාවකදි ආයෙත් ජර්මනියට ලබා නොදෙන්න මෙක්සිකානුවන් කටයුතු කෙරුවා. මෙක්සිකෝ ජයග්‍රහණයේ මූලිකම සාධකය තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගැනීම කියන එකයි අපේ අදහස. ජර්මානුවන් අතේ තිබ්බ පන්දුව 38වතාවකදී ඩැහැගන්න මෙක්සිකානුවන් සමත්වෙද්දි ජර්මනියට ඒ දක්ෂතාවය දක්වන්න හැකි වුනේ 31 වතාවක් විතරයි. 

ජර්මනියේ ගෝල් බලාපොරොත්තු කුඩු කරපු ඔචෝවා
ඒ වගේම මෙක්සිකානු ජයග්‍රහණයේ අනිත් ප්‍රධානම සාධකය තමයි ඔවුන්ගේ ගෝලි ජෙරනිමෝ ඔචෝවා. කොයි තරම් දක්ෂ විදියට මෙක්සිකානු මැදපෙළ සහ ආරක්ෂකයින් ක්‍රීඩා කෙරුවත් ඔචෝවා නොහිටින්න මෙක්සිකෝ ජයග්‍රහණයක් නැහැ කියන එක නම් විශ්වාසයි. නිසැක ජර්මානු ගෝල් 3ක් ඊයේ ගෝල් බවට පත් නොවුනේ ඔචෝවා හින්දමයි. ඒ නිසා ඊයේ තරඟයේ වීරයාට හිමි සම්මානය ඔචෝවාටත් හිමියි කියන එක තමයි අපේ අදහස. 


දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ තමන්ට තියෙන ඉඳිරි තරඟ දෙකේදි ඊයේ පෙන්වාපු දුර්වලතාවයන් මගහරවාගෙන ක්‍රීඩා කරන්න ජර්මනියට සිදුවෙනවා. Rounf of 16 වටයට යාම සඳහා ඔවුන්ට ඒ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඊයේ ලබාගත්ත ජයග්‍රහණයත් සමඟ මෙක්සිකෝවට තවත් එක් තරඟයක් පමණක් ජයගෙන අනිත් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තත් Round of 16 වටයට යාමට ප්‍රමාණවත් කියන එකයි අපේ අදහස. නමුත් අද වෙනකම් තිබුණ තරඟකාරීත්වය එක්ක බලද්දි මේ කිසිම තරඟයක් කිසිම කණ්ඩායමකට පහසු නැති බව නම් පැහැදිලියි.

ඊයේ තරඟයේ ප්‍රතිඵලේත් එක්ක උඩු යටිකුරු උන Gruop F එකේ ඉරණම කොයි පැත්තට කැරකෙයිද. ඉඳිරි තරඟත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි හොයාගමු.

Saturday, June 16, 2018

Portugal VS Spain "අපි දැකපු හැටි" | The Review

Russia 2018 - අපි දැකපු විදිය

2018 FIFA World Cup එක පටන් ගත්තට පස්සේ තිබ්බ පළවෙනි "ලොකු" මැච් එක මේ වෙනකම් තිබ්බ හොඳම තරඟය බවට පත්කරන්න පෘතුගීසි සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. තරඟය පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් ආසන්න වශයෙන් විනාඩි 15කට සැරයක් දෙපැත්තෙන් එක පැත්තක් ගෝල් ගහපු මේ තරඟය මේ වෙනකම් තිබුණ තරඟය වලින් ක්‍රියාශීලීම තරඟය විදියටත් හඳුන්වන්න පුළුවනි. ඒ වගේම මේ වෙනතුරු පැවතුන තරඟ වලින් එක් තරඟයක් තුළදී වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා උනේත් මේ තරඟයේදීමයි. තරඟය තුළදී දෙපැත්තම රැස්කරගත්ත ගෝල් සංඛ්‍යාව 6ක්. ඒ වගේම සියළු විචාරක අනාවැකි බොරු කරමින් තරඟය අවසන් උනේ පෘතුගාලය සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් සමව ලබාගෙන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.


පෘතුගාලය පැත්තෙන් ගත්තොතින් මේ තරඟය තනිකරම පෘතුගීසි නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවතුන තරඟයක් විදියට හඳුන්වන්න පුළුවනි. පෘතුගීසි ගෝල් 3ම රොනාල්ඩෝගේ නම ඉඳිරියෙන් ලියවුනත් කණ්ඩායමේ අනිත් සාමාජිකයනුත් ඒ වෙනුවෙන් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්නා කියන එකයි අපේ අදහස. තරඟයේ 4වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ උපක්‍රමශීලීත්වයට පැරදුන ස්පාඤ්ඤ කණ්ඩායමේ නාචෝ නිසා පෙනල්ටියක් හරහා බොහොම පහසුවෙන් පළවෙනි ගෝලය ලබාගන්න රොනාල්ඩෝට හැකියාව ලැබුණා. 44වෙනි මිනිත්තුවේදී ස්පාඤ්ඤ ගෝලි ඩේවිඩ් ඩෙ ගේයා අතින් සිදුවුන අදහාගන්න බැරි අත්වැරැද්ද නිසා පෘතුගීසි ගෝල් ගණන 02ක් බවට පත්වුනත් තරඟය නරඹපු ෆුට්බෝල්වලට ආදරේ කරන හැම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වුනේ 88වෙනි මිනිත්තුවේදී ෆ්‍රී කික් එකකින් රොනාල්ඩෝ ලබාගත්ත ගෝල් එක. Spain defence wall එකට උඩින් ගිහින් ගෝල් එකේ දකුණු පැත්තේ කෙළවරින් හරියටම ගෝල් එක ඇතුළටම යන විදියට ගහපු ඒ ගෝල් එක මේ ලෝක කුසලානේ දැනට වාර්තා උන ගෝල්වලින් ලස්සනම ගෝල් එක කියලා අවිවාදයෙන් කියන්න පුළුවනි. කොටින්ම ස්පාඤ්ඤ ගෝලිට ඒ වෙලාවේදී කරන්න පුළුවන් උන එකම දේ කට ඇරගෙන ෆුට්බෝලේ ගෝල් එක ඇතුළට යන විදිය බලාගෙන ඉන්න එක විතරයි. ඒ ගෝල් එකත් එක්කම ස්පාඤ්ඤ අතේ තිබුණ ජයග්‍රහණය උදුරගෙන තරඟය සමව අවසන් කරගන්න රොනාල්ඩෝ ප්‍රධාන පෘතුගීසිකාරයන්ට හැකියාව ලැබුණා. තරඟයේදී පෙන්නුම් කරපු සුවිශිෂ්ඨ දක්ෂතාවයන් වෙනුවෙන්ම තරඟයේ වීරයා විදියට නම් කළේත් රොනාල්ඩෝවයි. 


ස්පාඤ්ඤ කණ්ඩායම පැත්තෙන් ගත්තම තරඟයේ වාසිය තමන්ගෙන් ගිලිහෙන හැම වෙලාවකදීම ආයෙත් ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයට ගේන්න ඩියාගෝ කොස්තා කටයුතු කළා. තරඟයේ 24වෙනි මිනිත්තුවේදී පෘතුගීසි ආරක්ෂකයන් හතර පස්දෙනෙක් තමන්ව වටකරගෙන ඉද්දි කොස්තා ලබාගත්ත ගෝල් එක ඊයේ තරඟයේදී ස්පාඤ්ඤ කණ්ඩායම ලබාගත්ත ගෝල්වලින් සුපිරි ගෝල් එකක් විදියට හඳුන්වන්න පුළුවනි. ඒ වගේම ආයෙත් පෘතුගාලය තරඟයේ ඉඳිරියෙන් සිටිද්දි 55වෙනි මිනිත්තුවේදී කොස්තා ලබාගත්ත ගෝලයත් එක්ක තරඟය සමකරගන්න ස්පාඤ්ඤයට අවස්ථාව උදා වෙනවා. හරියටම ඊට මිනිත්තු 3කට පස්සේ නාචෝ ගේ කකුලෙන් ඉගිල්ලුන ෆුට්බෝලේ පෘතුගීසි ගෝල්කණුව ඇතුළට කඩාවදින්නේ තරඟ ජයග්‍රහණය ගැන පෘතුගීසි බලාපොරොත්තු කඩකරමින්. නාචෝ ගේ ඒ ගෝල් එකත් බොහොම හැඩකාර ගෝල් එකක් කියන එක තමයි අපේ අදහස. එතන ඉඳලා මිනිත්තු 30ක කාලයක් ජයග්‍රහණය අතේ තියාගෙන ස්පාඤ්ඤ කණ්ඩායම ක්‍රීඩා කෙරුවත්, 88වෙනි මිනිත්තුවේදී රොනාල්ඩෝගේ ෆ්‍රී කික් එකෙන් ඉගිලුන ෆුට්බෝලේ ගෝල් එකක් විදියට සටහන් වෙද්දි තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම සහ තරඟයේ වැඩි ගෞරවය පෘතුගාලයට හිමිවීමත් සිදුවුනා.
 

අවසාන ප්‍රතිඵලය ජය පරාජයෙන් තොර වුනාට තරඟයේ වැඩි පාලනයක් තිබුණේ ස්පාඤ්ඤ කණ්ඩායම අතේයි. පාපන්දුව තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීම, නිවැරදි විදියට පාපන්දුව හුවමාරු කරගැනීම වගේ දේවල්වලදි ස්පාඤ්ඤ කණ්ඩායම පෘතුගාලයට වඩා ගව් ගණනාවක් ඉඳිරියෙන් ඉන්න විදිය පැහැදිලිව දැකගන්න පුළුවන් වුනා. තාක්ෂණික වශයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම මේ දක්වන දක්ෂතාවය සහ ජවය ඉඳිරියේ පැවැත්වෙන ඉරාන් සහ මොරොක්කෝ තරඟ දෙකේදී ඔවුන්ට ජයග්‍රහණ ලබා දෙන්න තරම් ප්‍රමාණවත් වේවි කියන එකයි අපේ අදහස. ඒ වගේම පෘතුගාල කණ්ඩායමත් පාපන්දුව හුවමාරු කරගැනීමේදී තමන් දක්වපු දුර්වලතාවයන් මඟහැර ගැනීම ලෝක කුසලානයේ ඉඳිරි තරඟ සඳහා ඉතා හොඳ ආයෝජනයක් බව ස්ථීරයි.

හැකියාවෙන්, ජවයෙන්, ක්‍රියාශීලීත්වයෙන් සහ ගෝල්වලින් පිරුණ මිනිත්තු 90ක ෆුට්බෝල් තරඟයක් අපි දැකපු විදිය ගැන තමයි මේ ඉඳිරිපත් කෙරුවේ. 2018 FIFA World Cup එකේ ඉඳිරි තරඟත් මේ ආකාරයේම උණුසුම් තරඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ තරඟවල Preview සහ Review ඔස්සේ යළිත් හමුවෙමු.

Monday, July 14, 2014

ජර්මනිය VS ආජන්ටිනාව | Germany VS Argentina | Final



වර්ල්ඩ් කප් එක දැං ඉවරයි...
ශූරයෝ, අනු ශූරයෝ කව්ද කියලා හැමෝම දන්නවා...
කොහොම උනත් පට්ට සිරා විනාඩි 120ක ෆුට්බෝල් තරඟෙකින් පස්සේ,
ජර්මනිය 4වෙනිවතාවටත් ලෝක ශූරයෝ බවට ඊයේ අභිශේක ලැබුවා...
ජර්මනිය සහ ආජන්ටිනා කණ්ඩායම් දෙකම,
එකම තරඟේකින්වත් පරදින්නේ නැතුව අවසාන තරඟෙට ආවත්,
දෙගොල්ලොම දැනගෙන හිටියා ඊයේ තරඟයෙන් කව්රු හෝ පරදින බව...
ඒ පරදින කණ්ඩායම තමන්ගේ කණ්ඩායම නොවෙන්නයි,
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ එකම අරමුණ වෙලා තිබ්බේ...
මිනිත්තු 90ක් යනකංම එකම ගෝල් එකක්වත්,
කණ්ඩායම් දෙකටම ගහගන්න බැරි උනේත් මේ නිසාමයි...

ජර්මනි සහ ආජන්ටිනා ක්‍රීඩකයෝ හැමෝම,
විරුද්ධවාදීන්ගේ ගෝල් එක කීප සැරයක්ම ආක්‍රමණය කෙරුවත්,
ඒ කිසිම වතාවකදී සාර්ථක වෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැහැ...
විශේෂයෙන්ම ෆස්ට් හාෆ් එකේදී ආජන්ටිනාවට ලැබුණ අවස්තාව ඒකෙන් විශේෂයි...
ජර්මනියේ කෲස් වැරදි පාස් එකකින් බෝලේ ආජන්ටිනාවේ ගොන්සාලෝ හිගුවේන්ට දුන්නේ,
මේං මචං බෝලේ ගිහිං ගෝල් එකක් ගහගනිං කියන්නා වගේ...
නමුත් ඒක ගෝල් එකක් කරගන්න ආජන්ටිනාවට පුළුවං උනේ නැහැ...
ඒ වගේම ඊට විනාඩි කීපයකට පස්සේ ජර්මනි ගෝල් එක සාර්ථකව ආක්‍රමණය කරන්න,
හිගුවේන්ට පුළුවං උනත් ඕෆ සයිඩ් නීතිය යටතේ ඒ ගෝල් එක නිශ්ප්‍රභා කෙරුනා...
හැමෝගෙම වීරයා වෙච්ච මෙසීටත් අවස්තා කීපයක් ලැබුනා ගෝල් එකක් ගහන්න...
සෙකන්ඩ් හාෆ් එක පටං ගත්ත ගමංම වගේ මෙසීගේ වම් කකුලෙන් පාර කාපු බෝලේ ගෝල් එක ඇතුළට නොගියේ ඇයි කියලා මෙසී තාමත් හිතනවා ඇති...
ෆුට්බෝල් ඔස්තාර්ලාගේ අදහසට අනුව බාසිලෝනා ක්ලබ් එකේ මැච් එකකදී ඔය වගේ අවස්තා 10ක් ආවොත් ඒකෙන් 9ක්ම මෙසී නවත්තන්නේ ගෝල් එක ඇතුළට බෝලේ දාලයි...
ඒ වගේම තරඟේ පෙනල්ටි රවුම දක්වා ඇදගෙන යන්න ලැබුන අන්තිම අවස්තාවේ,
ඒ කියන්නේ තරඟයේ 122වෙනි මිනිත්තුවේදී,
මෙසී ගැහුව ෆ්‍රී කික් එක ගෝල් එකට අඩි 10ක් විතර උඩිං පියාඹලා ගියේ,
2014 වර්ල්ඩ් කප් චැම්පියන් හීනේ ආජන්ටිනාවේ සීමාවෙන් ඈතට ගෙනියමින්...
ඊයේ දවසේ ආජන්ටිනාවේ වාසනා චක්කරේ කැරකුනේ ඔන්න ඔය විදියට...

අනිත් පැත්තෙං ජර්මනියට උනත් එච්චරම තමයි...
අවස්තා කීපයකදීම ආජන්ටිනා ගෝල් එකට ඔන්න මෙන්න බෝලේ ගෙනිච්චත්,
ගෝල් එකක් කරගන්න අවස්තාවක් ලැබුනේම නැහැ ඔවුන්ටත්...
කෝනර් කික් කීපයක්ම තමන්ගේ ඔලුවේ වද්දගන්න ජර්මනිය ක්‍රීඩකයන්ට පුළුවං උනත්,
ඒ ඔලුවෙන් ගහපු බෝලේ ගිහිං නතර උනේ ගෝලිගේ අතේ, ගෝල් කණුවේ හරි, ගෝල් එකක් නොවෙන වෙන ඕනෑම තැනක...

කොහොම වෙතත් ජර්මනියේ වයස්ගතම ක්‍රීඩකයා වෙච්ච මිරස්ලෝව් ක්ලෝස,
88වෙනි මිනිත්තුවේදී වර්ල්ඩ් කප් එකට ආයුබෝවන් කියලා පිට්ටනියෙන් එළියට යන්නේ,
තරඟයේ ඉරනම වෙනස් කරන මාරියෝ ගොට්සේව පිට්ටනීයට කැඳවමින්...
ඒ ඇවිත් මිනිත්තු 25කට පස්සේ, එහෙමත් නැත්තං තරඟයේ 113වෙනි මිනිත්තුවෙදී,
මාරියෝ ගොට්සේ තමන්ට ඇන්ඩ්‍රෙ ෂෲරිල් එව්ව බෝලේ පපුවෙන් නවත්තලා වම් කකුලෙන් ගැහුවේ, අවුරුදු 22ක් වෙච්ච තමංගේ ජීවිතේ මෙච්චර කාලයක් ගහපු ගෝල්වලිං වටිනාම ගෝල් එකයි...
අතිරේක කාලයේදි ගැහැව්ව ඒ ගෝල්ඩන් ගෝල් එකෙන් තරඟේ ඉරණම තීන්දු වෙන්නේ,
අවුරුදු 24ක ජර්මනි ෆුට්බෝල් වර්ල්ඩ් කප් චැම්පියන් නියඟේ හමාර කරමින්...


2002 ඉඳං ජර්මනිය හැම වර්ල්ඩ් කප් එකකදීම ෆයිනල් හෝ සෙමි ෆයිනල් ආවත්,
ඒ කිසිම වතාවකදී චැම්පියන් වෙන්න ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ...
නමුත් තමන්ට හුරු නැති දකුණු ඇමරිකා කලාපයේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්,
කවදාවත් දකුණු ඇමරිකා කලාපේදී යුරෝපියන් ටීම් එකක් නොදින්න වර්ල්ඩ් කප් එක දිනමින්,
ජර්මනිය මෙදාපාර පෙන්නුවේ ලේසි පාසු දක්ෂතාවයක් නං නෙමේ...

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට දෙන ගෝල්ඩන් බෝල් සම්මානේ ආජන්ටිනාවේ ලයනල් මෙසී දිනාගත්තත්,
දියාගෝ මැරඩෝනා වගේ දෙවියෙක් වෙන්න ඒ සම්මානේ මදි කියලා මෙසී දන්නවා...
ඒ සඳහා ආජන්ටිනා ජනතාවට ෆුට්බෝල් ලෝක කුසලානයක් ලබා දෙන්න,
තමන්ගේ ජීවිත කාලය තුළදී ලයනල් මෙසීට හැකිවේවා කියලයි මම ප්‍රාර්තනා කරන්නේ...
මොකද මෙසී සුපිරි තරුවක් වගේම අති දක්ෂයෙක් නිසා...
ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමයි...


2010 වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක් ගහලා ඇඩිඩාස් රත්තරං සපත්තුව ගෙනිච්ච,
තෝමස් මුලර්ට මෙදාපාර ගෙදර ගෙනියන්න ඊට වඩා ලොකු තෑග්ගක් තියෙනවා...
රත්තරං සපත්තුව නැති උනත් මුලර් රිදී සපත්තුව අරගෙන යන්නේ,
මෙදා වර්ල්ඩ් කප් එකේ දෙවෙනියට වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා විදියට...
ඒ වගේම දෙවෙනියට දක්ෂතම ක්‍රීඩකයට දෙන රිදී බෝලේත් හිමිවෙන්නේ මුලර්ටමයි...

දවස් 32ක් තිස්සේ බ්‍රසීලේ නගර 12ක තිබ්බ,
ලෝක කුසලාන තරඟාවලිය 64වෙනි තරඟෙන් අවසාන උනා...
තරඟාවලියේ අවසාන ප්‍රතිඵලේ ඉඳිරි අවුරුදු 4 සඳහා,
ලෝක ශූරයන් විදියට ජර්මනිය අභිශේක ලැබීම...
ඒ තරඟ 64ම නැතත් අහුවෙච්ච අහුවෙච්ච විදියට ගෙනාව,
වර්ල්ඩ් කප් ෆුට්බෝල් විචාර සීරීස් එක මේ විදියට අදින් අවසාන වෙනවා...

කියෝපු හැමෝටම ජයවේවා!!!

Wednesday, July 2, 2014

ඇමරිකාව VS බෙල්ජියම - පසු සටහන | The Review



කරට කර තරඟ වැදුන,
ඉතාමත්ම උණුසුම් මිනිත්තු 120කට පසුව,
2014 ලෝක කුසලාන සිහිනයට තිත තබා,
ආපසු ගම්බිම් බලා පිටත්ව යන්නට,
ඇමරිකාවට ඊයේ සිදු වුනා...
ඒකට හේතුව රතු යක්කු - Red Devils - කියලා හැඳින්වෙන,
බෙල්ජියමෙන් ලැබුන 2-1 පරාජයයි...

ඇමරිකාවේ ගෝලි ටිම් හොවාර්ඩ්,
අතෙන්, කකුලෙ, උරහිසෙන්, ඔළුවෙන්, දණහිසෙන්,
වැළමිටෙන්, පියාඹමින්, බඩගාමින්, පෙරළෙමින්, පනිමින්,
කොටිංම කියනවානං පිස්සු හැදෙන දක්ෂතාවයක් පෙන්නුම් කරමින්,
පළවෙනි මීත්තු 90ම තමන්ගේ ගෝල් එක සහ කණ්ඩායම බේරගත්තත්,
93වෙනි විනාඩියේදි කෙවින් ඩි බෘයින්ගේ,
ගෝල් එක නවත්තගන්න තරම් දක්ෂ උනේ නැහැ...
එතන ඉඳං ඉස්සරහට ආව බෙල්ජියන් කණ්ඩායම,
ආයෙත් වතාවක් 105වෙනි මිනිත්තුවේදී තවත් ගෝල් එකක් ගහන්නේ,
ඇමරිකාවේ සීමාවෙන් තරඟේ තව ඈතට ගෙනියමින්...
දෙවෙනි ගෝල් එකේ හිමිකාරයා වෙන්නේ ලුකාකු...

තරඟේ ඉවර වෙන්න මිනිත්තු 15ක් ඉතුරු වෙලා තියෙද්දි,
ගෝල් 2-0ක් වගේ ලොකු පරතරේකින් පිටිපස්සෙන් හිටිය ඇමරිකාව,
107වෙනි මිනිත්තුවේදී අයෙත් තරඟෙට අවතීර්ණ වෙන්නේ,
තමන්ගේ 3වෙනි තරඟේ සෙල්ලම් කරන,
වයස 19ක පොඩි කොල්ලෙක් වෙච්ච ජූලියන් ග්‍රීන්ගේ,
පළවෙනි ජාත්‍යන්තර ගෝල් එක හේතුවෙනුයි...
අතිරේක කාලය ඉවර වෙන්න මිනිත්තු 13ක් වෙද්දි,
තරඟේ ලකුණු සටහන කියවුනේ 2-1ක් විදියටයි...

තරඟේ අන්තිම විනාඩි 8දී විතර,
බෙල්ජියම් දැළ ගවට ඇමරිකාව කීප පාරක්ම ආවත්,
ඒ එකපාරක්වත් බෝලේ ගෝල් එකක් කරගන්න බැරිඋනේ,
තවත් යුරෝපියන් ෆුට්බෝල් ටීම් එකක්,
ක්වාටර් ෆයිනල් යන විදියට ටූනමන්ට් එක සැලසුම් කරන්න,
දෙවියන් වහන්සේට් උවමනා වෙච හින්දා වෙන්න ඇති...
නැත්තං ඒ තිබ්බ අවස්තාවලට ගෝල් එකක් ගහගන්න බැරිවෙන්නෑ...
විශේෂයෙන් අන්තිම මොහොතේ ලැබිච්ච් ෆ්‍රී කික් එක...

මේ මැච් එකේ සම්පූර්ණ විනාඩි 120 සෙල්ලම් කරපු එක,
විනාඩි 2කට කොටකරලා හදලා තියෙන,
හයිලයිට්ස් වීඩියෝ එකක් තියෙනවා...
මේකෙං ගිහිං ඒකත් බලන්න පුළුවනි...

සමස්ත තරඟයේදීම ඇමරිකාවේ ගෝලි,
ටිම් හොවාර්ඩ් ගෝල් 16ක් නැවැත්තුවා...
ඒක වර්ල්ඩ් කප් ඉතිහාසයේ මැච් එකකදී,
ගෝලි කෙනෙක් දක්පවු දක්ෂතාවලින්,
ඉහළින්ම තියෙන දක්ෂතාවයක්...
ඒ දක්ෂතාවය නිසා හොවාර්ඩ් තරඟයේ වීරයා උනා...
නමුත් ඇමරිකාව ක්වාටර් ෆයිනල් යන්න තරම්,
ඔහුගේ දක්ෂතාවයන් ප්‍රමානවත් උනේ නැහැ...


තරඟේ සටහන් වෙච්ච ගොල් 3ම වැදුනේ,
නියමිත මිනිත්තු 90න් පස්සේ එන,
අතිරේක මිනිත්තු 30 කාලයේදී වීම විශේෂ සිද්ධියක්...
Round of Sixteen තරඟ 8න් 5ක්ම,
අතිරේක කාලය දක්වා ඇදීයාමෙන් පැහැදිලි වෙන්නේ,
මේ තරඟාවලියේ මේ වටයේ තිබ්බ උණුසුමයි...
කිසිම කණ්ඩායමකට පහසු ජයක් ලබාගන්න,
ඉඩක් හසරක් තිබුණේ නැහැ...
නම් දරාපු කණ්ඩායම් එක්ක තරඟ කරපු,
වැඩිය ප්‍රසිද්ධ නැති කණ්ඩායම් උනත්,
ඉතා උග්‍ර ක්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කරමින්,
තරඟේ සහ තරඟාවලියේ උණුසුම වැඩිකරමින්,
දිගින් දිගටම තරඟ වැදීම නියම සිදුවීමක්...
ඒක මාරයි...

2014 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ,
Round of Sixteen එහෙම නැත්තං 16 දෙනාගේ වටේ,
තරඟ 8ම දැං අවසානයි...
මේ වෙන කොට අර්ධ අවසන් පූර්ව,
එහෙම නැත්තං ක්වාටර් ෆයිනල් යන,
රටවල් 8 තේරිලා තියෙන්නේ...
ඒකේදී ඊයේ තරඟවලින් ජයගත්ත,
ආර්ජන්ටිනාව සහ බෙල්ජියම,
ලබන සෙනසුරාදා තරඟ වදිනවා,
සෙමි ෆයිනල් යන ටීම් එක තෝරගන්න...
ඒක තවත් පට්ටම සිරා ෆුට් බෝල් මැච් එකක් වේවි...
ඒ මැච් එක එක්ක ආයෙත් සෙට් වෙමු... :-)

Tuesday, July 1, 2014

ජර්මනිය VS ඇල්ජීරියාව - පසු සටහන | Review


කව්රුත් බලාපොරොත්තු වෙච්ච විදියටම,
ජර්මනිය තරඟාවලියේ තවත් ඉඳිරියට ගියත්,
හිතපු තරම් ලේසියෙන් ඒ ගමන යන්න,
සටන්කාමී ඇල්ජීරියානුවන් ඉඩ දුන්නේ නැහැ...

තරඟේ 17වෙනි විනාඩියේදී ඇල්ජීරියානුවන්,
ජර්මනි ගෝල් එක ආක්‍රමණය කළත්,
ඕෆ්සයිඩ් නිසා ඒ අවස්තාව ඔවුන්ට මගහැරී ගියා...
තරඟේ පළවෙනි විනාඩි 45 සම්පූර්ණයෙන්ම පාලනය කළේ,
ඇල්ජීරියානුවන් කියලා කිව්වොත් වැරදි නැහැ...
ඒ තරමටම තර්ජනාත්මකව ඔවුන්,
ප්‍රබල ජර්මනියට අභියෝග කළා...

නමුත් තරඟේ දෙවන භාගයේදී,
ජර්මනිය නැවතත් තරඟයට අවතීර්ණ උනා...
පළවෙනි කොටසේදී ඔවුන් සිදුකළ වැරදි බොහොමයක්,
දෙවෙනි කොටසට එද්දි හදාගෙන තිබ්බ ආකාරයක් තමයි පෙන්නුම් කළේ...
ජර්මනිය ආක්‍රමණශීලී රටාවකට ක්‍රීඩා කළත්,
ජර්මනියේ හිඩැස් අතරින් රිංගා යන්න ඇල්ජීරියාවට හැකියාව ලැබුනා...
මේ තරඟේ ඒක පාර්ෂවීය තරඟයක් වෙයි කියලා,
හැමෝම මුලින් කල්පනා කළත්,
ඇල්ජීරියාවේ ක්‍රීඩා විලාශය නිසාම,
තරඟය දෙපිලටම විවෘත උනා...

තරඟයේ සමස්ත ක්‍රීඩා කාලය වෙන,
මිනිත්තු 90වම ගෝල් නැතුව අවසාන කරගන්නට,
ඇල්ජීරියානුවන්ට හැකියාව ලැබුණා...
ඒක ඇල්ජීරියාව පැත්තෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්...
නමුත් අතිරේක මිනිත්තු 30 පටං ගත්ත ගමංම,
තෝමස් මුලර් සහ ඇන්ඩෘ ෂෲල් සුසංයෝගයෙන්,
ජර්මනිය ගෝල් රැස් කරන්න පටං ගත්තා...
ඇල්ජීරියානුවන් අන්ද මන්ද කරමින්,
ඇඟට පිටිපස්සෙන් ගහපු ඒ ගෝල් එක,
තරඟේ ඉරණම තීරණය කරයි කියලයි බොහෝ දෙනෙක් හිතුවේ...
නමුත් ආයෙත් තරඟේ 120වෙනි විනාඩියේදී,
ඔසිල් ජර්මනියේ දෙවෙනි ගෝල් එකත් ගහලා,
ක්වාටර් ෆයිනල් සීට් එක ජර්මනියේ බුක්තියට සවිකර ගත්තා...
නමුත් සටන්කාමී ඇල්ජීරියාවත් හිස් අතින් ගෙදර යන්න,
බලාපොරොත්තු වෙච්ච වගක් පෙන්නුවේ නැහැ...
ඔවුන් 120 වෙනි විනාඩියේදී ජර්මානු ගෝලය ආක්‍රමණය කළේ,
අතිරේක කාලය අවසන් වෙද්දී 2-1 විදියට ගෝල සටහන අවසන් කරමින්...
අවසානයේ සටන්කාමී ඇල්ජීරියාව පරදා,
ප්‍රභල ජර්මනිය ජයග්‍රහණය කෙරුවා...

අනිත් තරඟවලදී වගේම මේ තරඟේදීත්,
කණ්ඩායම් දෙකේම ගෝල් කීපර්ලාගේ දක්ෂතාවයන්,
ඉතා ඉහළ මට්ටමකින් තිබෙනු දකින්නට ලැබුණා...
කණ්ඩායම් දෙකේම ගෝලිලා නවත්තපු,
නිසැක ගෝල් සංඛ්‍යාව ඉතා විශාලයි...
එයිනුත් ඇල්ජීරියාවේ ගෝලි රෙයිස්ගේ දක්ෂතාවයන්,
වඩාත් හොඳින් කැපී පෙනුනා...
ඇල්ජීරියාව තරඟේ පරාද උනත්,
තරඟේ වීරයා සම්මානේ රෙයිස්ට හිමිවුනේ,
ඔහුගේ ඒ විශේෂ දක්ෂතා නිසාම තමයි...


මේ තරඟය ජර්මනිය ජයග්‍රහණය කෙරුවත්,
ඔවුන්ගේ මැදපෙළ ආරක්ෂක දුර්වලතාවයන්,
යළිත් වතාවක් නිරාවරණය වෙච්ච ආකාරය දැකගන්න පුළුවං...
ක්වාටර් ෆයිනල් තරඟෙදි ජර්මනියේ ප්‍රතිවාදීන් වෙන ප්‍රංශේ,
මේ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න එකක් නැහැ...
ඒක ප්‍රංශේ පැත්තෙන් යහපත් දෙයක් උනත්,
වර්ල්ඩ් කප් දිනන බලාපොරොත්තුවෙන් ආව ජර්මනියට නං,
යහපත් තත්ත්වයක් නෙමේ...

කොහොම උනත්,
යුරෝපීය පාපන්දු ශූරයින් දෙගොල්ලකගේ,
සුවිශේෂී ගැටුමක් දැකබලාගන්න,
ලොව පුරා ෆුට්බෝල් ප්‍රේමීන්ට අවස්තාව ලැබිලා තියෙනවා...
ලබන ජූලි 04 සිකුරාදා,
පළවෙනි ක්වාටර් ෆයිනල් මැච් එක විදියට,
ජර්මනිය සහ ප්‍රංශය තරඟ වදිනවා...
ඒ උණුසුම් තරඟය එක්ක ආයෙත් සෙට් වෙමු... :-)

Sunday, June 29, 2014

කොස්ටරීකා VS ග්‍රීසිය - පසු සටහන | Review



2014 වර්ල්ඩ්කප් එකේ අප්සට් ජොකියා,
තවත් පට්ට සිරා ජයග්‍රහණයක් එක්ක,
ඉතිහාසයේ පළවෙනි වතාවට,
ෆුට්බෝල් වර්ල්ඩ් කප් අර්ධ අවසාන පූර්ව වටේට සුදුසුකම් ලැබුවා...

52වෙනි විනාඩියේදී කොස්ටරිකාවේ බ්‍රයන් රුයිස්,
මෙලෝ රහක් නැති ගෝල් එකක් ගහලා තරඟේ වාසිය,
තමන්ගේ පැත්තට බර කර ගත්තත්,
91වෙනි විනාඩියේදී සොක්‍රටීස් ගහපු පට්ට සිරා ගෝල් එක නිසා,
විනාඩි 90ක් විතරක් සෙල්ලං කරලා,
Quarter final යන්න තිබ්බ කොස්ටරීකා බලාපොරොත්තු,
තව පැයකට පස්සට දාගන්න හේතු බූත උනා...
ඒ වගේම 66වෙනි මිනිත්තුවේදී,
කොස්ටරීකා ආරක්ෂකයෙක් වෙච්ච ඔස්කාර්,
දෙපාරක් වැරදි කරලා දඬුවම් ලැබිලා එලියට යන්න වෙච්ච නිසා,
ඉතිරු සම්පූර්ණ කාලයම කොස්ටරීකාව සෙල්ලං කළේ,
ක්‍රීඩකයින් 10 දෙනෙක් ගෙන්...
එහෙම තත්ත්වයක් තියාගෙනත්,
අවසානේදි තරඟේ ජයග්‍රහණය කළා කියන්නේ,
පට්ට  ආශ්චර්යමත් වැඩක්....

අතිරේක මිනිත්තු 30ක වෙලාවේදීත්,
දෙපැත්තම ගෝල් ගහන්න තිබ්බ ආසන්න අවස්තාවල් නූලෙං ගැස්සිලා ගියත්,
කොස්ටරීකා ගෝලි නවාස්ගේ පිස්සු හැදෙන දක්ෂතාවන් නිසාම,
පැනල්ටි ශූට් එක දක්වා තරඟේ අරගෙන යන්න කොස්ටරීකාව වාසනාවන්ත උනා...
ඒ වගේම වැඩ පෙන්නන්න ඕනෙම තැනේදී වැඩ පෙන්නලා,
තමන්ගේ ටීම් එක ජයග්‍රහණය කෙරෙව්වට උපහාරයක් විදියට,
කොස්ටරීකාවේ ගෝලි, නවාස් තරඟයේ වීරයා විදියට නම් කළා...


තරඟේ පුරාම පන්දුවේ පාලනේ වැඩිපුර තිබ්බේ ග්‍රීසිය අතේ...
ඒ වගේම බෝලේ පාස් කරද්දිත් ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ගොඩක් ඉහලින් හිටියා...
ටකල් කරපු ඒවාගෙන් දෙපැත්තම සම දක්ෂතාවලින් හිටියත්,
අනිත් සෑම අංශේකින්ම ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ඉස්සරහින් හිටියා...
නමුත් අන්තිමේ පෙනල්ටි ගහපු වෙලාවේදී,
ග්‍රීසිය පස්සට ඇදලා දාපු කොස්ටරීකාව ඉස්සරහට ඇවිත්,
තමන්ගේ ඉතිහාසේ පළවෙනි වතාවට,
වර්ල්ඩ් කප් එකක අර්ධ අවසාන පූර්ව වටේට තේරුනා...

ලබන සෙනසුරාදා,
එහෙම නැත්තං ජූලි 05 වෙනිදා,
කොස්ටරීකාව සහ නෙදර්ලන්තේ හමුවෙනවා,
අර්ධ අවසන් පූර්ව වටයේ තරඟේදි...

මෙදාපාර වර්ල්ඩ් කප් එක දිනන ලිස්ට් එකේ ඉන්න,
නෙදර්ලන්තේට අවසන් පුර්ව වටේට යන්න පුළුවං වෙයිද...
අප්සට් ජොකියාට වර්ල්ඩ් කප් එක තව දුරටත් අප්සට් කරන්න පුළුවං වෙයිද...
එහෙම නැත්තං කොස්ටරීකාව මෙච්චර දුරක් ආව ඒ සිහින ගමනේ කෙළවර මේතනද...
මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර එක්ක ලබන සෙනසුරාදාට සෙට් වෙමු... :-)