Showing posts with label FIFA 2018. Show all posts
Showing posts with label FIFA 2018. Show all posts

Monday, June 18, 2018

Germany VS Mexico | Review



2018 FIFA World Cup එකේ තමන් ගැන රටේ ලෝකේ මිනිස්සු අහස උසට ගොඩ ගහපු බලාපොරොත්තු පොළවටම සමතලා කරලා දාන්න ජර්මනි කණ්ඩායමට ගතවුනේ මිනිත්තු 90ක් විතරයි. ඊයේ තරඟයේ ප්‍රතිඵලේ මෙච්චරයි. මෙක්සිකෝව 1 - ජර්මනිය 0.

තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දක්ෂම තැන මොකක්ද, ඒ දක්ෂම තැනට පහර පිට පහර එල්ල කරලා දැඩි පීඩනයක් දුන්නම සමස්ථ පද්ධතියම පල්ලම් බහින්නේ කොහොමද කියන එක ඊයේ මෙක්සිකානුවන් මුළු ලෝඔකෙටම පෙන්නා දුන්නා. ටෝනි කෲස්ව, හමෙල්ස්ව, මුලර්ව මෙක්සිකානුවන් හිර කරද්දි ඔවුන්ගේ පීඩනය කඩාගෙන යන්න සැළසුමක් ජර්මානුවන් සතුව තිබුණේ නැහැ කියන එකයි තරඟය පුරාවටම අපි දැක්කේ. තරඟයේදී බහුතර කාලයක් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දැරුවේ ජර්මනිය වුනත්, ජර්මානුවන්ට ඔවුන්ගේ පුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න මෙක්සිකානුවන් ඉඩ දුන්නේම නැති තරම්. ඒ වගේම සාමාන්‍ය ජර්මානු කණ්ඩායමකින් දකින සංවිධානාත්මක ක්‍රීඩා රටාව ඊයේ දවසේදී අපි දැක්කේ නැහැ. පාස් එකක් හරි විදියට සම්පූර්ණ කරගන්න නොහැකි වුන අවස්ථාවන්, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගන්න නොහැකි වුන අවස්ථාවන්, තමන්ගේ අතේ තියෙන පන්දුව ප්‍රතිවාදීන්ට ඩැහැගන්න ඉඩ දීපු අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඊයේ තරඟය පුරාවටම අපි දැක්කා. 

අන්තිම විනාඩියේදී ලැබුණ කෝනර් කික් එක ගෝල් එකක් කරගන්න මෙක්සිකෝ ගෝල් එක ගාවට ආව ජර්මන් ගෝලි නෙයුවර්

තරඟයේ 35වෙනි මිනිත්තුවේදී හර්වින් ලොසානෝගේ හැඩකාර ගෝල් එකෙන් පස්සේ තමන්ට තරඟයේ හිමිවුන වාසිය කිසිම වෙලාවකදි ආයෙත් ජර්මනියට ලබා නොදෙන්න මෙක්සිකානුවන් කටයුතු කෙරුවා. මෙක්සිකෝ ජයග්‍රහණයේ මූලිකම සාධකය තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගැනීම කියන එකයි අපේ අදහස. ජර්මානුවන් අතේ තිබ්බ පන්දුව 38වතාවකදී ඩැහැගන්න මෙක්සිකානුවන් සමත්වෙද්දි ජර්මනියට ඒ දක්ෂතාවය දක්වන්න හැකි වුනේ 31 වතාවක් විතරයි. 

ජර්මනියේ ගෝල් බලාපොරොත්තු කුඩු කරපු ඔචෝවා
ඒ වගේම මෙක්සිකානු ජයග්‍රහණයේ අනිත් ප්‍රධානම සාධකය තමයි ඔවුන්ගේ ගෝලි ජෙරනිමෝ ඔචෝවා. කොයි තරම් දක්ෂ විදියට මෙක්සිකානු මැදපෙළ සහ ආරක්ෂකයින් ක්‍රීඩා කෙරුවත් ඔචෝවා නොහිටින්න මෙක්සිකෝ ජයග්‍රහණයක් නැහැ කියන එක නම් විශ්වාසයි. නිසැක ජර්මානු ගෝල් 3ක් ඊයේ ගෝල් බවට පත් නොවුනේ ඔචෝවා හින්දමයි. ඒ නිසා ඊයේ තරඟයේ වීරයාට හිමි සම්මානය ඔචෝවාටත් හිමියි කියන එක තමයි අපේ අදහස. 


දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ තමන්ට තියෙන ඉඳිරි තරඟ දෙකේදි ඊයේ පෙන්වාපු දුර්වලතාවයන් මගහරවාගෙන ක්‍රීඩා කරන්න ජර්මනියට සිදුවෙනවා. Rounf of 16 වටයට යාම සඳහා ඔවුන්ට ඒ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඊයේ ලබාගත්ත ජයග්‍රහණයත් සමඟ මෙක්සිකෝවට තවත් එක් තරඟයක් පමණක් ජයගෙන අනිත් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තත් Round of 16 වටයට යාමට ප්‍රමාණවත් කියන එකයි අපේ අදහස. නමුත් අද වෙනකම් තිබුණ තරඟකාරීත්වය එක්ක බලද්දි මේ කිසිම තරඟයක් කිසිම කණ්ඩායමකට පහසු නැති බව නම් පැහැදිලියි.

ඊයේ තරඟයේ ප්‍රතිඵලේත් එක්ක උඩු යටිකුරු උන Gruop F එකේ ඉරණම කොයි පැත්තට කැරකෙයිද. ඉඳිරි තරඟත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි හොයාගමු.

Sunday, June 17, 2018

Germany VS Mexico | Preview

Russia 2018 - අපි දකින විදිය


2014 FIFA World Cup Championsලා වෙච්ච ජර්මනි කණ්ඩායම අද 2018 FIFA World Cup එකේදි තමන්ගේ පළවෙනි තරඟෙට මුහුණ දෙනවා මෙක්සිකෝව සමඟ. මෙදාපාර ලෝක කුසලානය දිනාවි කියලා බොහෝ දෙනා විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉඳිරියෙන්ම ඉන්නේ ජර්මනිය. වසර 2000න් පස්සේ පැවැත්වුන හැම FIFA World Cup එකකදීම අවසාන පූර්ව තරඟය හෝ අවසාන මහා තරඟය දක්වා පැමිණෙන්න ජර්මනියට හැකි වුනා. ඒ අර්ථයෙන් ගත්තම තමන්ගේ දක්ෂතාවයන් කාලයත් සමඟම ස්ථාවර තියාගන්න සහ වර්ධනය කරගන්න ජර්මනියට හැකියාව ලැබුණා. ඒ වගේම තවමත් ලෝකේ අංක එකේ පාපන්දු කණ්ඩායම ජරමනිය යි.

ජර්මනි කණ්ඩායම ගත්තම, 2014 ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩාකරපු ක්‍රීඩකයන් කීපදෙනෙක්ම මෙවරත් ජර්මානු ජර්සියෙන් සැරසිලා පිටියට බහින්න සූදානමින් ඉන්නේ. තමන් සහභාගී වෙච්ච ලෝක කුසලාන තරඟ 13කදී ගෝල් 10ක් ලබාගත්ත, 2010 FIFA World Cup එකේදි Golden Boot සම්මානයත්, 2014 FIFA World Cup එකේදි Silver Boot එකත් දිනාගත්ත තෝමස් මුලර්, මැද පෙළ ක්‍රීඩා කරන ටෝනි කෲස්, හමල්ස් වගේම ජර්මානු ගෝලි නෙයුවර්ව නවත්වන්න මෙක්සිකානුවන්ට හැකිවේවිද.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 15වෙනි ස්ථානයේ ඉන්න මෙක්සිකෝ කණ්ඩායමත් සාපේක්ෂව හොඳ දක්ෂතා දක්වන කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුළුවනි. නමුත් මේ දක්වා කිසිම FIFA World Cup එකකදී ඔවුන්ට Round of 16 වටයෙන් ඉඳිරියට යන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් තමන්ට මුණගැහෙන ඕනෙම තත්ත්වයක ප්‍රතිවාදියෙක්ව පරාජය කරන්න තරම් ජවයක් තියෙන කණ්ඩායමක් තමයි මෙක්සිකෝව. ඉඳිරි පෙළ ක්‍රීඩක ලොසානෝ, මැද පෙළ ආරක්ෂක හෙක්ටර් මොරේනෝ, සේවියර් හර්නෑන්ඩස් වගේ ක්‍රීඩකයන් ජර්මනියට පහසු තරඟයක් ලබා නොදෙනු ඇති කියන එක තමයි අපේ අදහස.

හරි, මූලික විස්තරවලින් පස්සේ හැමදාම වගේ අපේ අනාවැකි සඳහන් කරන වෙලාවයි දැන්.
මේ තරඟය නිසැක වශයෙන්ම ජර්මනියේ තරඟයක් බවයි අපේ අදහස. බොහෝ විට ගෝල් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් රැස් කරන්නත් ඉඩ තියෙනවා. බොහෝ විට 2-0 වගේ ප්‍රතිඵලයක් සම්පූර්ණ කාලය අවසානයේදී සටහන් වේවි.

තව ඉතාම සුළු මොහොතකින් තරඟය ආරම්භවීමට නියමිතයි. ඉතාම උණුසුම් තරඟයක් දැකබලාගන්න අපිට අවස්ථාව ලැබෙනවා කියන එක නම් ඉර හඳ වගේ ස්ථීරයි.

Friday, June 15, 2018

Portugal VS Spain | Preview

Russia 2018 - අපි දකින විදිය

 


Portugal VS Spain | Preview

2018 FIFA World Cup එකේ පළවෙනි "ලොකු" මැච් එක පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර අද අපේ රටේ වෙලාවෙන් රෑ 11.30ට ආරම්භ වෙනවා. ෆුට්බෝල් ලෝකේ දැවැන්තයෝ දෙන්නෙක් අතර සිදුවෙන මේ සටන බලන්න ආස හිතෙන උණුසුම් තරඟයක් වේවි කියන එක තමයි අපේ අදහස.

FIFA ලෝක කුසලානයට පමණක් දෙවෙනි වෙන UEFA European Championship එකේ වර්ථමාන ශූරයෝ තමයි පෘතුගාලය. අද වෙද්දි ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් ඉන්නේ 4වෙනි තැන. ඒ වගේම මෙවර ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉහළින්ම කියවෙන නමක් තමයි පෘතුගාලය. මේ නිසා අද තරඟය ජය අරගෙන බොහොම ශක්තිමත් විදියට තමන්ගේ ලෝක කුසලාන ගමනේ ආරම්භය ලබාගන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගීසිකාරයොන්ගේ අරමුණු කරගෙන ඇති. 2016දී යුරෝපීය කුසලාන අවසාන මහා තරඟයේ ක්‍රීඩා කරපු 11 දෙනාගෙන් 9 දෙනෙක්ම මෙවර ලෝක කුසලානය සඳහාත් නම් කර තිබීමෙන්ම පෘතුගාලයේ ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවනි. සමස්ථයක් විදියට ගත්තම 2016 යුරෝපීය කුසලානයේ ක්‍රීඩාකරපු පෘතුගීසි ක්‍රීඩකයන් 13දෙනෙක් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඉන්නවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, පෙපේ, බර්නාඩෝ සිල්වා, ජොආවෝ මූටීනියෝ වගේ ඉඳිරිපෙල සහ මැදපෙළ සුපිරි ක්‍රීඩකයෝ එක්ක රුයි ප්‍රැටීශියෝගේ සුපිරි දැල් රැකීම එකතු උනාම පෘතුගීසි කණ්ඩායම නවත්තන්න බොහොම අමාරු වේවි කියන එකයි අපේ අදහස.

අනිත් පැත්තෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10වෙනි තැන ඉන්න ස්පාඤ්ඤ කණ්ඩායමත් බොහොම ශක්තිමත් කණ්ඩායමක්. සරළවම කියනවානම්, ස්පාඤ්ඤ කණ්ඩායම මෙදාපාර රුසියාවට ගොඩ බහිද්දිම බොහෝ දෙනෙක් ඔවුන්ව නම් කරලා තිබ්බේ මෙවර FIFA ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් විදියට. ස්පාඤ්ඤ කණ්ඩායම අන්තිමට තරඟ කරපු තරඟ 20න් එකක්වත් ඔවුන් පැරදිලා නැහැ. ඒ තරඟ වලින් තරඟ 14ක් ජයගත්ත ඔවුන් අනිත් තරඟ 6 ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් FIFA ලෝක කුසලානය පටන් ගන්නේ හෙටයි කියලා ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ජූලෙන් ලෝපෙටේගුයිව ධූරයෙන් පහ කරන්නේ මෙම ලෝක කුසලානයෙන් පසු ඔහු රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය ලබාගන්නා බවට සිදුවූ නිවේදනයත් එක්ක. මේ නිසා හිස් වෙච්ච ප්‍රධාන පුහුණුකාර තනතුරට තවත් පාපන්දු ප්‍රවීණයෙක් වෙන ෆර්නෑන්ඩෝ හියේරෝ ව පත්කිරීමට ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් කටයුතු කෙරුවා. ලෝක කුසලානය කට උඩ තියාගෙන සිදුකරපු මේ ඉවත් කිරීම් සහ පත්කිරීම් කණ්ඩායමේ මානසිකත්වයට බොහොම නරක විදියට බලපාවි කියන එක තමයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඒ කොහොම වෙතත් අන්ද්‍රෙස් ඉනිඒස්ටා, සර්ජියෝ රාමෝස්, සියාගෝ කොස්තා වගේ සුපිරි ක්‍රීඩකයින් සහ දැනට ලෝකයේ හොඳම ගෝල්කීපර් විදියට පිළිගන්න ඩේවිඩ් ඩෙ ගේයා ගෙන් සමන්විත ස්පාඤ්ඤ කණ්ඩායම 2010දී තමන් අත්කරගත්ත සාර්ථකත්වය මෙවරත් අත්කර ගන්න ඉඩක් තියේවි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස.

හරි, මූලික විස්තර එතනින් ඉවරයි. දැන් අනාවැකි කියන වෙලාව.

කණ්ඩායම් දෙකම එක හා සමාන දක්ෂතාවයන්ගෙන් සහ අත්දැකීම්වලින් සමන්විත නිසා බොහොම තියුණු තරඟයක් තියේවි. 1-0 හෝ 2-1ක් විදියට පෘතුගීසි ජයග්‍රහණයකින් තරඟය අවසන් වේවි කියලා අපි විශ්වාස කරනවා.