Showing posts with label Germany. Show all posts
Showing posts with label Germany. Show all posts

Monday, June 18, 2018

Germany VS Mexico | Review



2018 FIFA World Cup එකේ තමන් ගැන රටේ ලෝකේ මිනිස්සු අහස උසට ගොඩ ගහපු බලාපොරොත්තු පොළවටම සමතලා කරලා දාන්න ජර්මනි කණ්ඩායමට ගතවුනේ මිනිත්තු 90ක් විතරයි. ඊයේ තරඟයේ ප්‍රතිඵලේ මෙච්චරයි. මෙක්සිකෝව 1 - ජර්මනිය 0.

තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දක්ෂම තැන මොකක්ද, ඒ දක්ෂම තැනට පහර පිට පහර එල්ල කරලා දැඩි පීඩනයක් දුන්නම සමස්ථ පද්ධතියම පල්ලම් බහින්නේ කොහොමද කියන එක ඊයේ මෙක්සිකානුවන් මුළු ලෝඔකෙටම පෙන්නා දුන්නා. ටෝනි කෲස්ව, හමෙල්ස්ව, මුලර්ව මෙක්සිකානුවන් හිර කරද්දි ඔවුන්ගේ පීඩනය කඩාගෙන යන්න සැළසුමක් ජර්මානුවන් සතුව තිබුණේ නැහැ කියන එකයි තරඟය පුරාවටම අපි දැක්කේ. තරඟයේදී බහුතර කාලයක් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දැරුවේ ජර්මනිය වුනත්, ජර්මානුවන්ට ඔවුන්ගේ පුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න මෙක්සිකානුවන් ඉඩ දුන්නේම නැති තරම්. ඒ වගේම සාමාන්‍ය ජර්මානු කණ්ඩායමකින් දකින සංවිධානාත්මක ක්‍රීඩා රටාව ඊයේ දවසේදී අපි දැක්කේ නැහැ. පාස් එකක් හරි විදියට සම්පූර්ණ කරගන්න නොහැකි වුන අවස්ථාවන්, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගන්න නොහැකි වුන අවස්ථාවන්, තමන්ගේ අතේ තියෙන පන්දුව ප්‍රතිවාදීන්ට ඩැහැගන්න ඉඩ දීපු අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ඊයේ තරඟය පුරාවටම අපි දැක්කා. 

අන්තිම විනාඩියේදී ලැබුණ කෝනර් කික් එක ගෝල් එකක් කරගන්න මෙක්සිකෝ ගෝල් එක ගාවට ආව ජර්මන් ගෝලි නෙයුවර්

තරඟයේ 35වෙනි මිනිත්තුවේදී හර්වින් ලොසානෝගේ හැඩකාර ගෝල් එකෙන් පස්සේ තමන්ට තරඟයේ හිමිවුන වාසිය කිසිම වෙලාවකදි ආයෙත් ජර්මනියට ලබා නොදෙන්න මෙක්සිකානුවන් කටයුතු කෙරුවා. මෙක්සිකෝ ජයග්‍රහණයේ මූලිකම සාධකය තමන්ගේ ගෝල් එක ආරක්ෂා කරගැනීම කියන එකයි අපේ අදහස. ජර්මානුවන් අතේ තිබ්බ පන්දුව 38වතාවකදී ඩැහැගන්න මෙක්සිකානුවන් සමත්වෙද්දි ජර්මනියට ඒ දක්ෂතාවය දක්වන්න හැකි වුනේ 31 වතාවක් විතරයි. 

ජර්මනියේ ගෝල් බලාපොරොත්තු කුඩු කරපු ඔචෝවා
ඒ වගේම මෙක්සිකානු ජයග්‍රහණයේ අනිත් ප්‍රධානම සාධකය තමයි ඔවුන්ගේ ගෝලි ජෙරනිමෝ ඔචෝවා. කොයි තරම් දක්ෂ විදියට මෙක්සිකානු මැදපෙළ සහ ආරක්ෂකයින් ක්‍රීඩා කෙරුවත් ඔචෝවා නොහිටින්න මෙක්සිකෝ ජයග්‍රහණයක් නැහැ කියන එක නම් විශ්වාසයි. නිසැක ජර්මානු ගෝල් 3ක් ඊයේ ගෝල් බවට පත් නොවුනේ ඔචෝවා හින්දමයි. ඒ නිසා ඊයේ තරඟයේ වීරයාට හිමි සම්මානය ඔචෝවාටත් හිමියි කියන එක තමයි අපේ අදහස. 


දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ තමන්ට තියෙන ඉඳිරි තරඟ දෙකේදි ඊයේ පෙන්වාපු දුර්වලතාවයන් මගහරවාගෙන ක්‍රීඩා කරන්න ජර්මනියට සිදුවෙනවා. Rounf of 16 වටයට යාම සඳහා ඔවුන්ට ඒ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඊයේ ලබාගත්ත ජයග්‍රහණයත් සමඟ මෙක්සිකෝවට තවත් එක් තරඟයක් පමණක් ජයගෙන අනිත් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තත් Round of 16 වටයට යාමට ප්‍රමාණවත් කියන එකයි අපේ අදහස. නමුත් අද වෙනකම් තිබුණ තරඟකාරීත්වය එක්ක බලද්දි මේ කිසිම තරඟයක් කිසිම කණ්ඩායමකට පහසු නැති බව නම් පැහැදිලියි.

ඊයේ තරඟයේ ප්‍රතිඵලේත් එක්ක උඩු යටිකුරු උන Gruop F එකේ ඉරණම කොයි පැත්තට කැරකෙයිද. ඉඳිරි තරඟත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි හොයාගමු.

Sunday, June 17, 2018

Germany VS Mexico | Preview

Russia 2018 - අපි දකින විදිය


2014 FIFA World Cup Championsලා වෙච්ච ජර්මනි කණ්ඩායම අද 2018 FIFA World Cup එකේදි තමන්ගේ පළවෙනි තරඟෙට මුහුණ දෙනවා මෙක්සිකෝව සමඟ. මෙදාපාර ලෝක කුසලානය දිනාවි කියලා බොහෝ දෙනා විශ්වාස කරන කණ්ඩායම් අතරේ ඉඳිරියෙන්ම ඉන්නේ ජර්මනිය. වසර 2000න් පස්සේ පැවැත්වුන හැම FIFA World Cup එකකදීම අවසාන පූර්ව තරඟය හෝ අවසාන මහා තරඟය දක්වා පැමිණෙන්න ජර්මනියට හැකි වුනා. ඒ අර්ථයෙන් ගත්තම තමන්ගේ දක්ෂතාවයන් කාලයත් සමඟම ස්ථාවර තියාගන්න සහ වර්ධනය කරගන්න ජර්මනියට හැකියාව ලැබුණා. ඒ වගේම තවමත් ලෝකේ අංක එකේ පාපන්දු කණ්ඩායම ජරමනිය යි.

ජර්මනි කණ්ඩායම ගත්තම, 2014 ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩාකරපු ක්‍රීඩකයන් කීපදෙනෙක්ම මෙවරත් ජර්මානු ජර්සියෙන් සැරසිලා පිටියට බහින්න සූදානමින් ඉන්නේ. තමන් සහභාගී වෙච්ච ලෝක කුසලාන තරඟ 13කදී ගෝල් 10ක් ලබාගත්ත, 2010 FIFA World Cup එකේදි Golden Boot සම්මානයත්, 2014 FIFA World Cup එකේදි Silver Boot එකත් දිනාගත්ත තෝමස් මුලර්, මැද පෙළ ක්‍රීඩා කරන ටෝනි කෲස්, හමල්ස් වගේම ජර්මානු ගෝලි නෙයුවර්ව නවත්වන්න මෙක්සිකානුවන්ට හැකිවේවිද.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 15වෙනි ස්ථානයේ ඉන්න මෙක්සිකෝ කණ්ඩායමත් සාපේක්ෂව හොඳ දක්ෂතා දක්වන කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුළුවනි. නමුත් මේ දක්වා කිසිම FIFA World Cup එකකදී ඔවුන්ට Round of 16 වටයෙන් ඉඳිරියට යන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් තමන්ට මුණගැහෙන ඕනෙම තත්ත්වයක ප්‍රතිවාදියෙක්ව පරාජය කරන්න තරම් ජවයක් තියෙන කණ්ඩායමක් තමයි මෙක්සිකෝව. ඉඳිරි පෙළ ක්‍රීඩක ලොසානෝ, මැද පෙළ ආරක්ෂක හෙක්ටර් මොරේනෝ, සේවියර් හර්නෑන්ඩස් වගේ ක්‍රීඩකයන් ජර්මනියට පහසු තරඟයක් ලබා නොදෙනු ඇති කියන එක තමයි අපේ අදහස.

හරි, මූලික විස්තරවලින් පස්සේ හැමදාම වගේ අපේ අනාවැකි සඳහන් කරන වෙලාවයි දැන්.
මේ තරඟය නිසැක වශයෙන්ම ජර්මනියේ තරඟයක් බවයි අපේ අදහස. බොහෝ විට ගෝල් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් රැස් කරන්නත් ඉඩ තියෙනවා. බොහෝ විට 2-0 වගේ ප්‍රතිඵලයක් සම්පූර්ණ කාලය අවසානයේදී සටහන් වේවි.

තව ඉතාම සුළු මොහොතකින් තරඟය ආරම්භවීමට නියමිතයි. ඉතාම උණුසුම් තරඟයක් දැකබලාගන්න අපිට අවස්ථාව ලැබෙනවා කියන එක නම් ඉර හඳ වගේ ස්ථීරයි.

Monday, July 14, 2014

ජර්මනිය VS ආජන්ටිනාව | Germany VS Argentina | Final



වර්ල්ඩ් කප් එක දැං ඉවරයි...
ශූරයෝ, අනු ශූරයෝ කව්ද කියලා හැමෝම දන්නවා...
කොහොම උනත් පට්ට සිරා විනාඩි 120ක ෆුට්බෝල් තරඟෙකින් පස්සේ,
ජර්මනිය 4වෙනිවතාවටත් ලෝක ශූරයෝ බවට ඊයේ අභිශේක ලැබුවා...
ජර්මනිය සහ ආජන්ටිනා කණ්ඩායම් දෙකම,
එකම තරඟේකින්වත් පරදින්නේ නැතුව අවසාන තරඟෙට ආවත්,
දෙගොල්ලොම දැනගෙන හිටියා ඊයේ තරඟයෙන් කව්රු හෝ පරදින බව...
ඒ පරදින කණ්ඩායම තමන්ගේ කණ්ඩායම නොවෙන්නයි,
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ එකම අරමුණ වෙලා තිබ්බේ...
මිනිත්තු 90ක් යනකංම එකම ගෝල් එකක්වත්,
කණ්ඩායම් දෙකටම ගහගන්න බැරි උනේත් මේ නිසාමයි...

ජර්මනි සහ ආජන්ටිනා ක්‍රීඩකයෝ හැමෝම,
විරුද්ධවාදීන්ගේ ගෝල් එක කීප සැරයක්ම ආක්‍රමණය කෙරුවත්,
ඒ කිසිම වතාවකදී සාර්ථක වෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැහැ...
විශේෂයෙන්ම ෆස්ට් හාෆ් එකේදී ආජන්ටිනාවට ලැබුණ අවස්තාව ඒකෙන් විශේෂයි...
ජර්මනියේ කෲස් වැරදි පාස් එකකින් බෝලේ ආජන්ටිනාවේ ගොන්සාලෝ හිගුවේන්ට දුන්නේ,
මේං මචං බෝලේ ගිහිං ගෝල් එකක් ගහගනිං කියන්නා වගේ...
නමුත් ඒක ගෝල් එකක් කරගන්න ආජන්ටිනාවට පුළුවං උනේ නැහැ...
ඒ වගේම ඊට විනාඩි කීපයකට පස්සේ ජර්මනි ගෝල් එක සාර්ථකව ආක්‍රමණය කරන්න,
හිගුවේන්ට පුළුවං උනත් ඕෆ සයිඩ් නීතිය යටතේ ඒ ගෝල් එක නිශ්ප්‍රභා කෙරුනා...
හැමෝගෙම වීරයා වෙච්ච මෙසීටත් අවස්තා කීපයක් ලැබුනා ගෝල් එකක් ගහන්න...
සෙකන්ඩ් හාෆ් එක පටං ගත්ත ගමංම වගේ මෙසීගේ වම් කකුලෙන් පාර කාපු බෝලේ ගෝල් එක ඇතුළට නොගියේ ඇයි කියලා මෙසී තාමත් හිතනවා ඇති...
ෆුට්බෝල් ඔස්තාර්ලාගේ අදහසට අනුව බාසිලෝනා ක්ලබ් එකේ මැච් එකකදී ඔය වගේ අවස්තා 10ක් ආවොත් ඒකෙන් 9ක්ම මෙසී නවත්තන්නේ ගෝල් එක ඇතුළට බෝලේ දාලයි...
ඒ වගේම තරඟේ පෙනල්ටි රවුම දක්වා ඇදගෙන යන්න ලැබුන අන්තිම අවස්තාවේ,
ඒ කියන්නේ තරඟයේ 122වෙනි මිනිත්තුවේදී,
මෙසී ගැහුව ෆ්‍රී කික් එක ගෝල් එකට අඩි 10ක් විතර උඩිං පියාඹලා ගියේ,
2014 වර්ල්ඩ් කප් චැම්පියන් හීනේ ආජන්ටිනාවේ සීමාවෙන් ඈතට ගෙනියමින්...
ඊයේ දවසේ ආජන්ටිනාවේ වාසනා චක්කරේ කැරකුනේ ඔන්න ඔය විදියට...

අනිත් පැත්තෙං ජර්මනියට උනත් එච්චරම තමයි...
අවස්තා කීපයකදීම ආජන්ටිනා ගෝල් එකට ඔන්න මෙන්න බෝලේ ගෙනිච්චත්,
ගෝල් එකක් කරගන්න අවස්තාවක් ලැබුනේම නැහැ ඔවුන්ටත්...
කෝනර් කික් කීපයක්ම තමන්ගේ ඔලුවේ වද්දගන්න ජර්මනිය ක්‍රීඩකයන්ට පුළුවං උනත්,
ඒ ඔලුවෙන් ගහපු බෝලේ ගිහිං නතර උනේ ගෝලිගේ අතේ, ගෝල් කණුවේ හරි, ගෝල් එකක් නොවෙන වෙන ඕනෑම තැනක...

කොහොම වෙතත් ජර්මනියේ වයස්ගතම ක්‍රීඩකයා වෙච්ච මිරස්ලෝව් ක්ලෝස,
88වෙනි මිනිත්තුවේදී වර්ල්ඩ් කප් එකට ආයුබෝවන් කියලා පිට්ටනියෙන් එළියට යන්නේ,
තරඟයේ ඉරනම වෙනස් කරන මාරියෝ ගොට්සේව පිට්ටනීයට කැඳවමින්...
ඒ ඇවිත් මිනිත්තු 25කට පස්සේ, එහෙමත් නැත්තං තරඟයේ 113වෙනි මිනිත්තුවෙදී,
මාරියෝ ගොට්සේ තමන්ට ඇන්ඩ්‍රෙ ෂෲරිල් එව්ව බෝලේ පපුවෙන් නවත්තලා වම් කකුලෙන් ගැහුවේ, අවුරුදු 22ක් වෙච්ච තමංගේ ජීවිතේ මෙච්චර කාලයක් ගහපු ගෝල්වලිං වටිනාම ගෝල් එකයි...
අතිරේක කාලයේදි ගැහැව්ව ඒ ගෝල්ඩන් ගෝල් එකෙන් තරඟේ ඉරණම තීන්දු වෙන්නේ,
අවුරුදු 24ක ජර්මනි ෆුට්බෝල් වර්ල්ඩ් කප් චැම්පියන් නියඟේ හමාර කරමින්...


2002 ඉඳං ජර්මනිය හැම වර්ල්ඩ් කප් එකකදීම ෆයිනල් හෝ සෙමි ෆයිනල් ආවත්,
ඒ කිසිම වතාවකදී චැම්පියන් වෙන්න ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ...
නමුත් තමන්ට හුරු නැති දකුණු ඇමරිකා කලාපයේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්,
කවදාවත් දකුණු ඇමරිකා කලාපේදී යුරෝපියන් ටීම් එකක් නොදින්න වර්ල්ඩ් කප් එක දිනමින්,
ජර්මනිය මෙදාපාර පෙන්නුවේ ලේසි පාසු දක්ෂතාවයක් නං නෙමේ...

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට දෙන ගෝල්ඩන් බෝල් සම්මානේ ආජන්ටිනාවේ ලයනල් මෙසී දිනාගත්තත්,
දියාගෝ මැරඩෝනා වගේ දෙවියෙක් වෙන්න ඒ සම්මානේ මදි කියලා මෙසී දන්නවා...
ඒ සඳහා ආජන්ටිනා ජනතාවට ෆුට්බෝල් ලෝක කුසලානයක් ලබා දෙන්න,
තමන්ගේ ජීවිත කාලය තුළදී ලයනල් මෙසීට හැකිවේවා කියලයි මම ප්‍රාර්තනා කරන්නේ...
මොකද මෙසී සුපිරි තරුවක් වගේම අති දක්ෂයෙක් නිසා...
ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමයි...


2010 වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක් ගහලා ඇඩිඩාස් රත්තරං සපත්තුව ගෙනිච්ච,
තෝමස් මුලර්ට මෙදාපාර ගෙදර ගෙනියන්න ඊට වඩා ලොකු තෑග්ගක් තියෙනවා...
රත්තරං සපත්තුව නැති උනත් මුලර් රිදී සපත්තුව අරගෙන යන්නේ,
මෙදා වර්ල්ඩ් කප් එකේ දෙවෙනියට වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා විදියට...
ඒ වගේම දෙවෙනියට දක්ෂතම ක්‍රීඩකයට දෙන රිදී බෝලේත් හිමිවෙන්නේ මුලර්ටමයි...

දවස් 32ක් තිස්සේ බ්‍රසීලේ නගර 12ක තිබ්බ,
ලෝක කුසලාන තරඟාවලිය 64වෙනි තරඟෙන් අවසාන උනා...
තරඟාවලියේ අවසාන ප්‍රතිඵලේ ඉඳිරි අවුරුදු 4 සඳහා,
ලෝක ශූරයන් විදියට ජර්මනිය අභිශේක ලැබීම...
ඒ තරඟ 64ම නැතත් අහුවෙච්ච අහුවෙච්ච විදියට ගෙනාව,
වර්ල්ඩ් කප් ෆුට්බෝල් විචාර සීරීස් එක මේ විදියට අදින් අවසාන වෙනවා...

කියෝපු හැමෝටම ජයවේවා!!!

Sunday, July 13, 2014

ආජන්ටිනාවද ජර්මනියද... මෙසීද මුලර්ද... | Who will be the Champion?


දවස් 32ක් තිස්සේ මැච් 63ක් ගහලා,
33වෙනි දවසේ 64වෙනි මැච් එකෙන්,
2014 ෆිෆා වර්ල්ඩ් කප් එක අවසන් විමට නියමිතයි...
අද තමයි අවසාන මහා තරඟේ...
මෙච්චර දවසක් අපරාජිතව හිටිය,
ජර්මනිය සහ ආජන්ටිනාව අද තරඟ වදින්නේ,
ලෝක ෆුට්බෝල් කිරුළ තමන්ගේ රටට ගෙනියන අධිෂ්ඨානයෙන්...
කව්රු දිනයිද, කව්රු පරදියිද,
කව්රු ජයපැන් බොයිද, කව්රු දුක් කඳුළු බොයිද,
තව පැය කීපයකින් මුලු ලෝකෙටම ඒක දැකබලාගන්න පුළුවනි...

ආජන්ටිනාව ගත්තොතින් මුහුණ දීපු සියළුම තරඟ ජයග්‍රහණය කරගෙනයි,
අවසාන තරඟේ දක්වා පැමිණියේ...
ඔවුන් අද දක්වා අපරාජිතයි...
සමස්ත තරඟාවලියේදී ඔවුන් ලබාගත්ත ගෝල් ගාණ 8ක්...
ඒ වගේම ශක්තිමත් ආරක්ෂක වළල්ලකුත් ආජන්ටිනාව සතුව තියෙනවා...
මේ තරඟ සියල්ලේදීම ඔවුන් ලබාදීලා තියෙන්නේ ගෝල් 3ක් පමණයි...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි පැනල්ටි දක්වා තරඟේ ඇදුනම,
පැනල්ටි ගෝල් 2ක් පමණයි ඔවුන් ලබාදුන්නේ...
මෙයින් පැහැදිලි වෙනවා ඔවුන්ගේ ශක්තිය...

නමුත් අද තරඟයේදී ඔවුන්ගේ ප්‍රධානම ඉඳිරි පෙළ ක්‍රීඩකයෙක් වෙන,
ඒන්ජල් ඩී මරියාගේ දායකත්වය ආජන්ටිනාවට ලැබේවිද කියන එක සැක සහිතයි...
ඔහු සුළු ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටිනවා...
ඒ වගේම ආජන්ටිනාව අද දක්වාම තනිකරම රැඳීසිටින්නේ ලයනල් මෙසී මතයි...
ඔවුන් ලබාගත් ගෝල් 8න් ගෝල් 4ක්ම ගැහුවේ මෙසී...
නමුත් අවසාන තරඟ 3දීම (සෙකන්ඩ් රවුන්ඩ්, ක්වාටර් ෆයිනල්, සෙමි ෆයිනල්),
මෙසී එක ගෝලයක්වත් වාර්තා කළේ නැහැ...
ඒ වගේම මෙසී බෝලේ අරගෙන යන වෙලාවට,
ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙන්නෙක් හෝ තුන්දෙනෙක්,
ඔහුට අභියෝග කරලා ඔහුගෙන් බෝලය ඩැහැගෙන යන හැටි,
ඉරාන් සහ ස්විට්සර්ලන්ඩ් මැච් දෙකේදී හොඳින්ම දකින්න ලැබුනා...
මේ තත්ත්වේ ජර්මනිය අධ්‍යයනය කරලා නැතිවෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
ඉතිං බොහෝ වෙලාවට ලයනල් මෙසී මත රඳාපවතින ආජන්ටිනාවට,
මෙසී නැති උනොත් හෝ හිර උනොත් ඇතිවෙන තත්ත්වය සෝචනීය වෙන්න පුළුවං...
ඒ වගේම තමයි ඔවුන්ට් තියෙන පීඩනය...
අද තරඟය නරඹන්න එන සියළුම බ්‍රසීල ජාතිකයන් අද චියර් කරන්නේ ආජන්ටිනාවටයි...
ඒ විතරක් නෙමේ, ඔවුන් තමයි දකුණු ඇමරිකානු කණ්ඩායම...
ඔවුන්ට තමන්ගේ සුපුරුදු දේශගුණික/කාළගුණික/පරිසර තත්ත්වයන්ගේදී පරදින්න බැහැ...
මේ අමතර පීඩනේත් ඔවුන්ගේ හිස මත තියෙනවා නිසැකයි...

අනිත් අතිං ජර්මනිය ගත්තම,
අද ඔවුන්ට තියෙන ලොකුම මානසික ගැටලුව වෙන්නේ,
කිසිම යුරෝපීය පාපන්දු කණ්ඩායමක් දකුණු ඇමරිකානු රටකදී,
ලෝක කුසලානය දිනා නැති වීම...
පිටතට නොපෙන්නුවට මේ විස්තරේ ඔවුන්ගේ හිතේ හොල්මන් කරනවා ඇති...
හැබැයි මුලු ලෝකෙම බලාගෙන ඉද්දි, සෙමි ෆයිනල් එකේදී බ්‍රසීලේ වත්ත පිටිපස්සේ ඉඳං,
බ්‍රසීල පාපන්දු කණ්ඩායමට ෆ්ලැට් වෙන්න ගහපු ගැහිල්ලෙන්,
ඔවුන්ගේ මානසිකත්වය සෑහෙන්න තරම් හැදිලා හොඳ ෆෝම් එකේ ඉන්න බව පේනවා...
ඒවගේම ජර්මනිය කියන්නේ ටීම් එකක්...
තනි තනි සුපර් ස්ටාර්ලා ජර්මනියේ නැහැ...


ටිම් එකක් විදියට යුද්ධ ටැංකියක් වගේ අනිත් ටීම් එක පොඩි පට්ටම් කරගෙන ඔවුන් ගිය විදිය, පෘතුගාල, ඇමරිකා, ප්‍රංශ සහ බ්‍රසීල කියන නම් දරාපු කණ්ඩායම්,
ඔවුන් පරාද කරපු හැටියෙන් පේනවා...
මේ දක්වා තරඟාවලියේදී ජර්මනිය ගෝල් 17ක් ලබාගෙන තියෙනවා...
ඒ ගෝල් 17 ගැහුවේ ප්ලේයර්ස්ලා 7 දෙනෙක්...
වැඩිම ගෝල් ගාණක් ගහපු තෝමස් මුලර් (05),
තරඟාවලියේ වැඩිම ගෝල් ගහන ක්‍රීඩකයාට දෙන,
ගෝල්ඩන් බූට් සම්මානේ ගන්න ඔන්න මෙන්න ඉන්නේ...
ඒ වගේම 2010 වර්ල්ඩ් කප් එකේදිත් ඒක ගෙදර ගෙනිච්චේ මුලර්ම තමයි...
ඉතිං මුලර් කැමති ඇති මෙදාපාර වැම්පියන් කෙනෙක් වෙලා,
ගෝල්ඩන් බූට් එකත් අරගෙනම යන්න...
ඒ වගේම ජර්මන් ටීම් එකේ ඉන්න වයස්ගතම ක්‍රීඩකයා වෙන මිරස්ලෝව් ක්ලෝස (වයස 36),
ලෝක කුසලාන 4කදී ගෝල් 16ක් ගහලා ලෝක කුසලාන වැඩිම ගෝල් ගානේ වාර්ථාව තමංගේ කරගෙන ඉන්නේ...
තෝමස් මුලර්, ටෝනි කෲස්, මෙසුට් ඔසිල් සහ බැස්ටියන් ශ්වයින්ස්ටයිගර් හතරදෙනාගේ,
හොඳටම සංවිධානය වෙච්ච ආක්‍රමණයට මුහුණ දෙන්න,
මෙච්චර දවසක් ඔවුන් එක්ක සෙල්ලං කරපු කිසිම කණ්ඩායමකට බැරිඋනා...
ඒ වගේම අතිරේක ක්‍රීඩකයන් විදියට මිරස්ලෝව් ක්ලෝස සහ නිකලස් පොඩොල්ස්කි බැස්සම,
ජර්මනියේ ඇටෑකිං සයිඩ් එක එක්ක හැරෙන්න වෙන කිසි කෙනෙක් නැහැ...
මේ ඇටෑක් එකට මුහුණ දීලා, තමංගේ ගෝල් එක බේරගෙන,
ඔවුන්ව පරාද කරන්න ආජන්ටිනාවට හැකි උනොත්,
ඔවුන් ලෝක ශූරයෝ විදියට ගෙදර යන්න පුළුවං...
ලයනල් මෙසීට, දියාගෝ මැරඩෝනා වගේ දේවත්වයෙන් පිදුම් ලබන්න පුළුවං...
මේ සියල්ල සිද්ධ වෙන්න තව පැය 3ක් විතර තියෙන්නේ...
එකම අවුල තමයි අපේ රටේ වෙලාවෙන්,
යක්කු ගස්යන වෙලාවට මේ මැච් එක පෙන්නන එක...

මීට කළිං තිබ්බ 2002, 2006, 2010 වර්ල්ඩ්කප් 3 දිම,
අවසාන මහා තරඟේ ගෝල් ගැහුවේ
2002 - බ්‍රසීලේ - ජර්මනිය 2-0,
2006 - ප්‍රංශේ - ඉතාලිය 1-1 (පැනල්ටි 3-5),
2010 - ස්පාඤ්ඤේ - නෙදර්ලන්තේ 1-0 විදියට...
ඒ නිසා මේ තරඟේදීත් මහා විශාල ගෝල් ගාණක් ගහයි කියලා මම හිතන්නේ නැහැ...
කොහොම උනත් ඉතාම තියුණු, සුපිරි, පට්ට සිරා ෆුට් බෝල් මැච් එකක් අපිට දැකබලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම මේ මැච් එක විනාඩි 90කට වැඩිය යයි කියලත් මට හිතෙනවා...
පැනල්ටි ශූට් එකක් දක්වා මැච් එක ගියොත්, බලන අපි මාර වාසනාවන්තයි...
ඒ කොහොම වෙතත්, අද දවස ලෝක ෆුට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්...

ඔක්කොමත් හරි මැච් එක කව්රු දිනයිද....
මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ...
මගේ පෞද්ගලික අදහස,
මෙදාපාර ලෝක ශූරයෝ වෙන්නේ ජර්මනිය...
1-0 හෝ 2-1 විදියට ඔවුන් තරඟය ජයග්‍රාහීව අවසන් කරාවි...
මම හරිද වැරදිද කියලා,
අපි හැමෝටම තව පැය කීපයකින් බලාගන්න පුළුවං වේවි...

එහෙනං,
අලුත් ලෝක ශූරයෝ එක්ක අවසාන මහා තරඟේ පසු සටහන අරගෙන,
හෙට උදේට සෙට් වෙමු...

Saturday, July 12, 2014

මෙදාපාර රත්තරං බෝලේ අයිතිකාරයා කව්ද | Adidas Golden Ball



ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ,
වටිනාම ක්‍රීඩකයා එහෙම නැත්තං Man of the Seriesට,
ලැබෙන සම්මානේ තමයි මේ රත්තරං බෝලේ සම්මානේ...
තරඟාවලියේ සෙමිෆයිනල් වලදී,
ක්‍රීඩකයින් 10දෙනෙකුගේ නම් මේ සඳහා ප්‍රසිද්ධ කරනවා...
අවසාන මහා තරඟේ ඉවර උනාම,
ෆිෆා තාක්ෂණික අධ්‍යයන කණ්ඩායම (FIFA Technical Study Group),
කව්ද මේ සම්මානේට හිමිකම් කියන්නේ කියලා ප්‍රකාශ කරනවා...
දෙවෙනි සහ තුන්වෙනි ස්තාන දිනාගන්නා ක්‍රීඩකයින් දෙන්නාට,
රිදී බෝලය (Silver Ball) සහ ලෝකඩ බෝලය (Bronze Ball) දෙන්නත්
ෆිෆා අමතක කරන්නේ නැහැ...


මෙදාපාර රත්තරං බෝලේ සඳහා,
නිර්දේශ වෙලා ඉන්න ප්ලේයර්ස්ලා සෙට් එක තමයි මේ...
අද තරඟේට සෙල්ලම් කරන ක්‍රීඩකයින් 7ක්ම ඉනවා...
ඒ ආජන්ටිනාවෙන් 3ක් සහ ජර්මනියෙන් 4ක් විදියට..
දැං අපි බලමු මෙයාලගෙන් කව්ද මේ සම්මානේට,
වැඩියෙන්ම ළංවෙලා ඉන්නේ කියලා...

ලයනල් මෙසී - ආජන්ටිනාව

මේ සම්මානේ ගන්න ඉන්න ළඟම ක්‍රීඩකයා මෙසී...
ලෝකේ විතරක් නෙමේ අපේ රටේත්,
ආජන්ටිනාවට සපෝට් කරන අති බහුතරයක් දෙනා,
එහෙම කරන්නේ මෙසී හින්දයි...
මෙසී දක්ෂ ක්‍රීඩකයෙක් වගේම මාධ්‍ය මගින් සෑහෙන්න තරම්,
තද ප්‍රචාරයකුත් ලබාදෙන ක්‍රීඩකයෙක්...
මෙදාපාර ආජන්ටිනාව ෆයිනල් ගෙනාවේ මෙසී තමයි...
පළවෙනි වටේදී හැම තරඟෙකදිම මෙසී ගෝල් ගැහුවා...
ඊටපස්සේ දෙවෙනි වටේදි සහ ක්වාටර් ෆයිනල්වලදි,
ගෝල් ගහන්න පට්ට සපෝට් එකක් දුන්නා...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි,
පෙනල්ටි ගහන වෙලාවෙදිත් තමන්ගේ වගකීම ඉටුකරලා,
කණ්ඩායම දිනවන්න මෙසීට හැකියාව ලැබුනා....
අද තරඟේදී ආජන්ටිනාව ජයග්‍රහණය කරවන්න,
ලයනල් මෙසීට හැකි උනොත්,
එයා මේ සම්මානේට හිමිකම් කියනවා විතරක් නෙමේ,
1986දී ආජන්ටිනාවට ලෝක කුසලානේ ගෙනිච්ච,
දියාගෝ මැරඩෝනා වගේ,
අමරණීය චරිතයක් බවටත් පත්වෙනවා...

තෝමස් මුලර් - ජර්මනිය

රත්තරං බෝලේට හිමිකම් කියන්න ලෑස්ති වෙන,
තවත් පට්ටම සිරා ක්‍රීඩකයෙක් තමයි මුලර්...
ජර්මනියේ ප්‍රධානම ඉඳිරිපෙළ ක්‍රීඩකයායි මේ...
මේ දක්වා තරඟාවලියේදී මුලර් ගෝල් 5ක් ගහලා තියෙනවා...
ඒ විතරක් නං කමක් නැහැ...
වෙන අයට සාර්ථකව ගෝල් ගහන්න,
මුලර් 3පාරක් සපෝට් කරලත් තියෙනවා...
මෙදාපාර තරඟාවලිය වෙනස් කරපු ක්‍රීඩකයෙක් තමයි මුලර්...
ඒ වගේම තරඟාවලියේ වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා වෙන්න,
මුලර් ගහන්න ඕනේ තව එක ගෝල් එකක් විතරයි...
අද තරඟයේදී මුලර් දක්වන දක්ෂතාවයන් මත,
මෙදාපාර වර්ල්ඩ් කප් වටිනාම් ක්‍රීඩකයා වෙන්න,
මුලර්ට තියෙන හැකියාව ඉතා වැඩි බවයි මගේ අදහස...

ඒරන් රොබෙන් - නෙදර්ලන්තය

මෙදාපාර 3වෙනි ස්ථානේ දිනාගත්ත නෙදර්ලන්ත කණ්ඩායමේ,
ප්‍රධානතම ක්‍රීඩකයෙක් තමයි ඒරන් රොබෙන්...
නෙදර්ලන්ත කණ්ඩායම 3වෙනි තැනට ගේන්න,
පට්ටම දායකත්වයක් දැක්වූ ක්‍රිඩකයෙක් තමයි රොබෙන්...
2010 වර්ල්ඩ්කප් එකේදීත් වෙච්ච විදියට,
බොහෝ දුරට නෙදර්ලන්තේ රොබෙන්ට,
මේ සම්මානේ මෙදාපාර ලැබෙන එකක් නැහැ...
නමුත් මෙදාපාර තරඟාවලියේදී,
නියමෙටම සෙලම් කරපු ක්‍රීඩකයෙක් තමයි මෙයත්...

මීට කළිං වර්ල්ඩ් කප් තරඟාවලිවලදී,
දියාගෝ මැරඩෝනා - ආජන්ටිනාව (1986),
රොනාල්ඩෝ - බ්‍රසීලේ (1998),
සිඩාන් - ප්‍රංශේ (2006),
ෆෝර්ලාන් - උරුගුවේ (2010) වගේ ක්‍රීඩකයෝ,
මේ වටිනා සම්මානේ දිනගත්තා...
අද රෑ පැවැත්වෙන අවසාන තරඟේදී,
2014 දක්ෂතම ක්‍රීඩකයා කව්ද කියලා,
දැකබලාගන්න අපිට හැකියාව ලැබේවි...

ෆිෆා සහ ජර්මන් වට පිට විත්ති....


මරකානා පිටිය.



මේපාර ෆිෆා අවසාන තරඟය පැවැත්වෙන්නෙ රියෝද ජැනෛරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේදී. පසුගිය 8 වෙනිදා පැවැත්වුන ජර්මනිය සහ බ්‍රසීලය අතර තරඟය 7ට 1ක් ලෙස පරාජය වීමට පෙර බ්‍රසීල පාපන්දු කන්ඩායමේ අපකීර්ථිමත්ම පරාජය විදියට සැලකුවේ 1950 වර්ශයේදී ලක්ෂ දෙකකට අධික ජනකායක් ඉදිරියේ එවකට දක්ෂ කන්ඩායම් ලැයිස්තුවේ පහල කන්ඩායමක් වුන උරුගුවේට 2-1ක් ලෙස පරාජයට පත්වීම. ලක්ෂ දෙකක ජනකායක් ඉදිරියේ උරුගුවේට බ්‍රසීලය අනපේක්ෂිත විදියට පරාජය වුනේ මේ මරකානා ක්‍රීඩාංගනයේදී. ඒ නිසා අවසාන තරඟයට බ්‍රසීලය ආවොත් ඒ අවාසනාවන්ත සලකුනු සහිත මේ මරකානා භූමිය යළිත් බ්‍රසීලයට අවාසිදායක වේ දැයි බ්‍රසීලය බියකින් පසු වුනා. නමුත් ඊට කලිං බ්‍රසීලය මෑත ඉතිහාසයේ හොදි නැතිවෙනම කෑම ජර්මනියෙන් කෑවා. මේ ගැන ටුවිටර් හරහා අදහස් දක්වන ජර්මනියට ලැදි පාපන්දු රසිකයන් කියලා තිබුනේ නාසින් විසින් බ්‍රසීලයට හැඳිගෑවිලා යන්නම දුන්නා කියලා.

මරකානා පිට්ටනිය දකුණු අමරිකාවේ මෙන්ම ලෝකයේම තිබෙන විශාලතම පාපන්දු ක්‍රීඩාංගන වලින් එකක්. මරකානා පිටිය බ්‍රසීලයේ ජාතික සලකුණක් විදියටත් භාවිත  කරනවා. එය විවිධ උත්සව, සංගිත සංදර්ශන, දේව මෙහෙයන් , ක්‍රීඩා උළෙලවල් වල අවසාන සහ මුල් උත්සව පවත්වන්න යොදාගන්නවා. මේ ක්‍රීඩාංගනයේ දැනට නම් ධාරිතාවය 80,000ක වගේ අගයක් ගන්නවා.

මේ තියෙන්නෙ මරකානා වල මේ වාරයේදී තිබුන තරඟ විස්තර. මේ අනුව පෙනී යනවා අවසාන තරඟයට තේරිල ඉන්න ජර්මනිය සහ ආජන්ටිනාව යන රටවල්‍ දෙකම මීට කලින් මරකානා වල මේ ලග දවස්වලම සෙල්ලම් කරලා සාර්ථක ජයග්‍රහන අත්කරගෙන තිබෙනවා කියලා. ක්‍රිකට් වල වාගේ පිටිය තනතීරුව ආදිය පාපන්දු වලට බලපෑමක් නැහැ. නමුත් ක්‍රීඩාංගනය පිහිටලා තිබෙන මුහුදු මට්ටමේ උස පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යම් බලපෑමක් තිබෙනවා කියලා වාර්ථා වෙනවා.

පාපන්දු සහ දේශපාලනය.

පාපන්දු මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා. ටුවිටර් වගේ සමාජ ජාල හරහා නරඹන්නන් හැෂ් ටැග් හරහා තමුන්ගේ අදහස් එකතු කරලා හුවමාරු කරගන්නවා. ඒ අතර ජනප්‍රිය තරුද වෙනවා. බ්‍රසීලය ජර්මනිය හමුවේ පරාජය වුනු කුජීත විදිය දැකපු සුපිරි බ්‍රසිල් ක්‍රීඩක රොනල්ඩෝ ටුයිටර් එක හරහා කියලා තිබුනා ක්‍රීඩකයින් ස්ථානගත කිරීමේ ලොකු වැරදි තිබුනා කියලා මැච් එකේදි. බ්‍රසීලයේ පුහුනුකරුත් තමුන්ගේ වරද පිළිඅරගෙන තිබුනා.
මේ දිනවල ඝාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්කාරී වාතාවරණයක් තිබෙනවා. විශාල පුළුල් තිරයක එළිමහනේ පාපන්දු තරඟ නරඹමින් හිටපු පලස්තීන ජාතිකයින් කිහිප දෙනෙක් අවාසනාවන්ත ිවිදියට ඊශ්‍රායල් ‍රොකට් ප්‍රහාර වලට ලක්වෙලා මියගිහින් තිබුනා.
බ්‍රසීලය කියන්නෙ පාපන්දු වලට බොහොම ජනප්‍රිය රටක්. ඒ නිසා බ්‍රසීලයේ පරාජය බ්‍රසීල ජනතාවන්ට දැඩි සිත් වේදනා ගෙනාපු දෙයක් වෙන්නට ඇති.

ජර්මනිය.


ජර්මනිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරම්භක සාමාජිකයෙක්. මුල්ම අන්තර්ජාතික පාපන්දු තරඟය පැවත්වි තිබෙන්නෙත් ජර්මනිය සහ ස්විස් අතර. ඒ තර‍ඟෙනුත් ජර්මනිය ජයග්‍රහනය කරලා තිබෙනවා. මුල්1900 ගනන් වල මුල් කාලයේදී ජර්මනියෙ පාපන්දු ජනප්‍රිය තත්වෙට ආවත් පසුකාලිනව යුදෙව්වන්ට කල කෙනෙහිලිකම් ආදියත් නාසිවාදයත් නිසා 1930-1945 අතර කාලයේදී ජර්මන් පාපන්දු ගොඩක් පහලට වැටුනා. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ බටහිර සහ නැගෙනහිර ජර්මනිය ලෙස ජර්මනිය දෙකඩ වුනායින් පස්සෙ පාපන්දු කන්ඩායමත් ටීම් දෙකක් වුනා. 1990 දි ආයෙත් නැගෙනහිර බටහිර එකතුවෙලා ජර්මන් ටිම් එකක් විදියට හැදුනා.
අන්තර්ජාතික පාපන්දු ශූරතා අවසාන තරඟ දිහා බලනකොට අවසාන ටිම් හතරට ජර්මනිය ආපු නැති අවුරුදු තියෙන්නෙ බොහාම අඩු ගානක්. 1954,1974,1990 යන වර්ශවලදී ශූරතාවය දිනාගන්න ජර්මනිය සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 1966,1982,1986,2002 යන වර්ශවලදි අනුශූරතාවය දිනාගෙන තියෙන්නෙත් ජර්මනිය. 1970 දි සහ අදට වඩාත් ආසන්නයේ පැවති ලෝක කුසළාන තරඟාවලි දෙක වන 2006 සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙදි  ජර්මනිය තුන් වෙනි තැන රැකගන්න සමත් වෙලා තිබෙනවා.
ක්ලෝස 2006දී සහ 2014දී
පසුගිය බ්‍රසීල තරඟයේදී මිරස්ලොව් ක්ලෝස කියන ජර්මන් ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලියකදි ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව වාර්ථා කලා.ක්ලෝස තමයි ජර්මනිය වෙනුවෙන් වැඩිම ගෝල සංඛයාවක් අරගෙන තිබෙන ක්‍රීඩකයා..ක්ලෝසගේ මව පෝලන්තය නියෝජනය කරපු හෑන්ඩ්බෝල් ක්‍රීඩිකාවක් ජෝසෆ් ක්ලෝස නම් වූ පියා පෝලන්තයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වුනාලු 1970 ගනන් වල. ඇත්තටම මේ පවුල ජර්මනියට ඇවිත් තියෙන්නෙ 1978 දි මාසෙලෝ ඉපදිලා අවුරුදු අටකට පස්සෙ. මිරස්ලෝව් ක්ලෝසයි තාත්තයි ජර්මනියට එනකොට ජර්මන් වචන දෙකයිලු දැනගෙන උන්නෙ. තාමත් ක්ලෝස  පවුලෙ අය කතාකරන්නෙ පෝලන්ත බසින්ලු..
ආජන්ටිනාවට වඩා ලෝක කුසලාන තරඟයේ දිනුම ලැබෙන්න හැකියාව තියෙන්නෙ ජර්මනියට කියලා තමයි මම හිතන්නෙ. ජර්මනිය වඩාත් වේගවත්ව දක්ෂ ලෙස මේ තරඟාවලිය පුරාම සෙල්ලම් කලා. මගේ විශ්වාසය ජර්මනිය 2-0 වගේ අගයකින් තරඟය ජයග්‍රහනය කරාවි...
අද සටහන - අමිල චතුරංග 

Tuesday, July 1, 2014

ජර්මනිය VS ඇල්ජීරියාව - පසු සටහන | Review


කව්රුත් බලාපොරොත්තු වෙච්ච විදියටම,
ජර්මනිය තරඟාවලියේ තවත් ඉඳිරියට ගියත්,
හිතපු තරම් ලේසියෙන් ඒ ගමන යන්න,
සටන්කාමී ඇල්ජීරියානුවන් ඉඩ දුන්නේ නැහැ...

තරඟේ 17වෙනි විනාඩියේදී ඇල්ජීරියානුවන්,
ජර්මනි ගෝල් එක ආක්‍රමණය කළත්,
ඕෆ්සයිඩ් නිසා ඒ අවස්තාව ඔවුන්ට මගහැරී ගියා...
තරඟේ පළවෙනි විනාඩි 45 සම්පූර්ණයෙන්ම පාලනය කළේ,
ඇල්ජීරියානුවන් කියලා කිව්වොත් වැරදි නැහැ...
ඒ තරමටම තර්ජනාත්මකව ඔවුන්,
ප්‍රබල ජර්මනියට අභියෝග කළා...

නමුත් තරඟේ දෙවන භාගයේදී,
ජර්මනිය නැවතත් තරඟයට අවතීර්ණ උනා...
පළවෙනි කොටසේදී ඔවුන් සිදුකළ වැරදි බොහොමයක්,
දෙවෙනි කොටසට එද්දි හදාගෙන තිබ්බ ආකාරයක් තමයි පෙන්නුම් කළේ...
ජර්මනිය ආක්‍රමණශීලී රටාවකට ක්‍රීඩා කළත්,
ජර්මනියේ හිඩැස් අතරින් රිංගා යන්න ඇල්ජීරියාවට හැකියාව ලැබුනා...
මේ තරඟේ ඒක පාර්ෂවීය තරඟයක් වෙයි කියලා,
හැමෝම මුලින් කල්පනා කළත්,
ඇල්ජීරියාවේ ක්‍රීඩා විලාශය නිසාම,
තරඟය දෙපිලටම විවෘත උනා...

තරඟයේ සමස්ත ක්‍රීඩා කාලය වෙන,
මිනිත්තු 90වම ගෝල් නැතුව අවසාන කරගන්නට,
ඇල්ජීරියානුවන්ට හැකියාව ලැබුණා...
ඒක ඇල්ජීරියාව පැත්තෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්...
නමුත් අතිරේක මිනිත්තු 30 පටං ගත්ත ගමංම,
තෝමස් මුලර් සහ ඇන්ඩෘ ෂෲල් සුසංයෝගයෙන්,
ජර්මනිය ගෝල් රැස් කරන්න පටං ගත්තා...
ඇල්ජීරියානුවන් අන්ද මන්ද කරමින්,
ඇඟට පිටිපස්සෙන් ගහපු ඒ ගෝල් එක,
තරඟේ ඉරණම තීරණය කරයි කියලයි බොහෝ දෙනෙක් හිතුවේ...
නමුත් ආයෙත් තරඟේ 120වෙනි විනාඩියේදී,
ඔසිල් ජර්මනියේ දෙවෙනි ගෝල් එකත් ගහලා,
ක්වාටර් ෆයිනල් සීට් එක ජර්මනියේ බුක්තියට සවිකර ගත්තා...
නමුත් සටන්කාමී ඇල්ජීරියාවත් හිස් අතින් ගෙදර යන්න,
බලාපොරොත්තු වෙච්ච වගක් පෙන්නුවේ නැහැ...
ඔවුන් 120 වෙනි විනාඩියේදී ජර්මානු ගෝලය ආක්‍රමණය කළේ,
අතිරේක කාලය අවසන් වෙද්දී 2-1 විදියට ගෝල සටහන අවසන් කරමින්...
අවසානයේ සටන්කාමී ඇල්ජීරියාව පරදා,
ප්‍රභල ජර්මනිය ජයග්‍රහණය කෙරුවා...

අනිත් තරඟවලදී වගේම මේ තරඟේදීත්,
කණ්ඩායම් දෙකේම ගෝල් කීපර්ලාගේ දක්ෂතාවයන්,
ඉතා ඉහළ මට්ටමකින් තිබෙනු දකින්නට ලැබුණා...
කණ්ඩායම් දෙකේම ගෝලිලා නවත්තපු,
නිසැක ගෝල් සංඛ්‍යාව ඉතා විශාලයි...
එයිනුත් ඇල්ජීරියාවේ ගෝලි රෙයිස්ගේ දක්ෂතාවයන්,
වඩාත් හොඳින් කැපී පෙනුනා...
ඇල්ජීරියාව තරඟේ පරාද උනත්,
තරඟේ වීරයා සම්මානේ රෙයිස්ට හිමිවුනේ,
ඔහුගේ ඒ විශේෂ දක්ෂතා නිසාම තමයි...


මේ තරඟය ජර්මනිය ජයග්‍රහණය කෙරුවත්,
ඔවුන්ගේ මැදපෙළ ආරක්ෂක දුර්වලතාවයන්,
යළිත් වතාවක් නිරාවරණය වෙච්ච ආකාරය දැකගන්න පුළුවං...
ක්වාටර් ෆයිනල් තරඟෙදි ජර්මනියේ ප්‍රතිවාදීන් වෙන ප්‍රංශේ,
මේ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න එකක් නැහැ...
ඒක ප්‍රංශේ පැත්තෙන් යහපත් දෙයක් උනත්,
වර්ල්ඩ් කප් දිනන බලාපොරොත්තුවෙන් ආව ජර්මනියට නං,
යහපත් තත්ත්වයක් නෙමේ...

කොහොම උනත්,
යුරෝපීය පාපන්දු ශූරයින් දෙගොල්ලකගේ,
සුවිශේෂී ගැටුමක් දැකබලාගන්න,
ලොව පුරා ෆුට්බෝල් ප්‍රේමීන්ට අවස්තාව ලැබිලා තියෙනවා...
ලබන ජූලි 04 සිකුරාදා,
පළවෙනි ක්වාටර් ෆයිනල් මැච් එක විදියට,
ජර්මනිය සහ ප්‍රංශය තරඟ වදිනවා...
ඒ උණුසුම් තරඟය එක්ක ආයෙත් සෙට් වෙමු... :-)

Monday, June 30, 2014

ජර්මනිය VS ඇල්ජීරියාව | Germany VS Algeria


ජර්මනිය මෙදාපාර වර්ල්ඩ් කප් දිනයි කියලා,
බොහෝ දෙනෙක් හිතපු සහ,
ඒ බව මේ වනවිට ක්‍රියාවෙනුත්,
සෑහෙන තරම් දුරට පෙන්නපු ටීම් එකක්...
70% දුරට තවත් ඒක පාර්ෂවීක තරඟයක් වේවි මේකත්...
විශේෂයෙන්ම තෝමස් මුලර් අද දවසේදීත්,
තමන්ගේ සුප්රුදු දක්ෂතා අතරට පැමිණේවි කියලයි මට හිතෙන්නේ...
ඒ වගේම වර්ල්ඩ් කප් 4කදී ගෝල් 15ක් ගහලා,
දැනට වැර්ල්ඩ් කප් ගෝල් වැඩිම ගාණක වාර්තාව,
බ්‍රසීලේ රොනාල්ඩෝ එක්ක බෙදාහදාගෙන ඉන්න මිරස්ලෝව් ක්ලෝස,
අද තරඟේ මුල ඉඳංම ක්‍රීඩා කරයි කියලත් බලපොරොත්තු වෙනවා...
පහුගිය තරඟ 3දීම ක්ලෝස පිට්ටනියට ආවේ ආදේශක ක්‍රීඩකයෙක් විදියට...
ඒ වගේම ඔහුට අද ඔහුගේ ගෝල් මල්ලට තව ගෝල් එකක්,
දාගන්නත් අවස්තාවක් ලැබේවි...

ඇල්ජීරියාවත් පළවෙනි වටේ මුහුණ දුන්න හැම තරඟේදීම,
ගෝල් එකක් හෝ ඊට වැඩිය ලබාගත්තා...
මේ තරඟේදීත් ඒ දක්ෂතාවයන් ඔවුන්ට දක්වන්න පුළුවං උනොත්,
වඩාත් උණුසුම් සහ තියුණු තරඟයක් බලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම ඝානා සහ ඇමරිකා තරඟ දෙකේදී,
ජර්මනිය පෙන්නපු මැද පෙළ ආරක්ෂක දුර්වලතාවයන්,
මේ තරඟේදී උලුප්පලා ගන්න ඇල්ජීරියාවට හැකි උනොත්,
ඔවුන්ට හොඳ තරඟයක් දෙන්න අවස්තාවක් තියෙනවා...
පළවෙනි විනාඩි 15-20 ඇතුළේ ගෝල් එකක් ගහගන්න,
ඇල්ජිරියාවට හැකි උනෝතිං,
මේ තරඟේ පට්ටම සිරා තරඟයක් බවට පත්වෙනවා...
ආයේ ඒකේ දෙකක් නැහැ...
ඒ වගේම ඇල්ජීරියාවට තවදුරටත් ඉස්සරහට යන්න,
තියෙන එකම බලාපොරොත්තුවත් ඒකම තමයි....

මට හිතෙන්නේ,
මේ තරඟය ජර්මනිය ජයග්‍රහණය කරනවා...
ඒක ගෝල් 2-1 වගේ ජයග්‍රහණයක් වෙයි...
සමහරවිට ජර්මනිය ගෝල් 3ක් විතර ගහන්නත් පුළුවනි...

මේ හැමදේම අනුමානයන් සහ උපකල්පන පමණයි...
අර රෑ 1.30 ඉඳලා මේ දේවල් වෙනවද කියලා දැකබලාගන්න පුළුවනි...
තරඟේ රිසල්ට් එක එක්ක හෙට උදේ සෙට් වෙමු... :-)