Sunday, July 13, 2014

ආජන්ටිනාවද ජර්මනියද... මෙසීද මුලර්ද... | Who will be the Champion?


දවස් 32ක් තිස්සේ මැච් 63ක් ගහලා,
33වෙනි දවසේ 64වෙනි මැච් එකෙන්,
2014 ෆිෆා වර්ල්ඩ් කප් එක අවසන් විමට නියමිතයි...
අද තමයි අවසාන මහා තරඟේ...
මෙච්චර දවසක් අපරාජිතව හිටිය,
ජර්මනිය සහ ආජන්ටිනාව අද තරඟ වදින්නේ,
ලෝක ෆුට්බෝල් කිරුළ තමන්ගේ රටට ගෙනියන අධිෂ්ඨානයෙන්...
කව්රු දිනයිද, කව්රු පරදියිද,
කව්රු ජයපැන් බොයිද, කව්රු දුක් කඳුළු බොයිද,
තව පැය කීපයකින් මුලු ලෝකෙටම ඒක දැකබලාගන්න පුළුවනි...

ආජන්ටිනාව ගත්තොතින් මුහුණ දීපු සියළුම තරඟ ජයග්‍රහණය කරගෙනයි,
අවසාන තරඟේ දක්වා පැමිණියේ...
ඔවුන් අද දක්වා අපරාජිතයි...
සමස්ත තරඟාවලියේදී ඔවුන් ලබාගත්ත ගෝල් ගාණ 8ක්...
ඒ වගේම ශක්තිමත් ආරක්ෂක වළල්ලකුත් ආජන්ටිනාව සතුව තියෙනවා...
මේ තරඟ සියල්ලේදීම ඔවුන් ලබාදීලා තියෙන්නේ ගෝල් 3ක් පමණයි...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි පැනල්ටි දක්වා තරඟේ ඇදුනම,
පැනල්ටි ගෝල් 2ක් පමණයි ඔවුන් ලබාදුන්නේ...
මෙයින් පැහැදිලි වෙනවා ඔවුන්ගේ ශක්තිය...

නමුත් අද තරඟයේදී ඔවුන්ගේ ප්‍රධානම ඉඳිරි පෙළ ක්‍රීඩකයෙක් වෙන,
ඒන්ජල් ඩී මරියාගේ දායකත්වය ආජන්ටිනාවට ලැබේවිද කියන එක සැක සහිතයි...
ඔහු සුළු ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටිනවා...
ඒ වගේම ආජන්ටිනාව අද දක්වාම තනිකරම රැඳීසිටින්නේ ලයනල් මෙසී මතයි...
ඔවුන් ලබාගත් ගෝල් 8න් ගෝල් 4ක්ම ගැහුවේ මෙසී...
නමුත් අවසාන තරඟ 3දීම (සෙකන්ඩ් රවුන්ඩ්, ක්වාටර් ෆයිනල්, සෙමි ෆයිනල්),
මෙසී එක ගෝලයක්වත් වාර්තා කළේ නැහැ...
ඒ වගේම මෙසී බෝලේ අරගෙන යන වෙලාවට,
ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙන්නෙක් හෝ තුන්දෙනෙක්,
ඔහුට අභියෝග කරලා ඔහුගෙන් බෝලය ඩැහැගෙන යන හැටි,
ඉරාන් සහ ස්විට්සර්ලන්ඩ් මැච් දෙකේදී හොඳින්ම දකින්න ලැබුනා...
මේ තත්ත්වේ ජර්මනිය අධ්‍යයනය කරලා නැතිවෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
ඉතිං බොහෝ වෙලාවට ලයනල් මෙසී මත රඳාපවතින ආජන්ටිනාවට,
මෙසී නැති උනොත් හෝ හිර උනොත් ඇතිවෙන තත්ත්වය සෝචනීය වෙන්න පුළුවං...
ඒ වගේම තමයි ඔවුන්ට් තියෙන පීඩනය...
අද තරඟය නරඹන්න එන සියළුම බ්‍රසීල ජාතිකයන් අද චියර් කරන්නේ ආජන්ටිනාවටයි...
ඒ විතරක් නෙමේ, ඔවුන් තමයි දකුණු ඇමරිකානු කණ්ඩායම...
ඔවුන්ට තමන්ගේ සුපුරුදු දේශගුණික/කාළගුණික/පරිසර තත්ත්වයන්ගේදී පරදින්න බැහැ...
මේ අමතර පීඩනේත් ඔවුන්ගේ හිස මත තියෙනවා නිසැකයි...

අනිත් අතිං ජර්මනිය ගත්තම,
අද ඔවුන්ට තියෙන ලොකුම මානසික ගැටලුව වෙන්නේ,
කිසිම යුරෝපීය පාපන්දු කණ්ඩායමක් දකුණු ඇමරිකානු රටකදී,
ලෝක කුසලානය දිනා නැති වීම...
පිටතට නොපෙන්නුවට මේ විස්තරේ ඔවුන්ගේ හිතේ හොල්මන් කරනවා ඇති...
හැබැයි මුලු ලෝකෙම බලාගෙන ඉද්දි, සෙමි ෆයිනල් එකේදී බ්‍රසීලේ වත්ත පිටිපස්සේ ඉඳං,
බ්‍රසීල පාපන්දු කණ්ඩායමට ෆ්ලැට් වෙන්න ගහපු ගැහිල්ලෙන්,
ඔවුන්ගේ මානසිකත්වය සෑහෙන්න තරම් හැදිලා හොඳ ෆෝම් එකේ ඉන්න බව පේනවා...
ඒවගේම ජර්මනිය කියන්නේ ටීම් එකක්...
තනි තනි සුපර් ස්ටාර්ලා ජර්මනියේ නැහැ...


ටිම් එකක් විදියට යුද්ධ ටැංකියක් වගේ අනිත් ටීම් එක පොඩි පට්ටම් කරගෙන ඔවුන් ගිය විදිය, පෘතුගාල, ඇමරිකා, ප්‍රංශ සහ බ්‍රසීල කියන නම් දරාපු කණ්ඩායම්,
ඔවුන් පරාද කරපු හැටියෙන් පේනවා...
මේ දක්වා තරඟාවලියේදී ජර්මනිය ගෝල් 17ක් ලබාගෙන තියෙනවා...
ඒ ගෝල් 17 ගැහුවේ ප්ලේයර්ස්ලා 7 දෙනෙක්...
වැඩිම ගෝල් ගාණක් ගහපු තෝමස් මුලර් (05),
තරඟාවලියේ වැඩිම ගෝල් ගහන ක්‍රීඩකයාට දෙන,
ගෝල්ඩන් බූට් සම්මානේ ගන්න ඔන්න මෙන්න ඉන්නේ...
ඒ වගේම 2010 වර්ල්ඩ් කප් එකේදිත් ඒක ගෙදර ගෙනිච්චේ මුලර්ම තමයි...
ඉතිං මුලර් කැමති ඇති මෙදාපාර වැම්පියන් කෙනෙක් වෙලා,
ගෝල්ඩන් බූට් එකත් අරගෙනම යන්න...
ඒ වගේම ජර්මන් ටීම් එකේ ඉන්න වයස්ගතම ක්‍රීඩකයා වෙන මිරස්ලෝව් ක්ලෝස (වයස 36),
ලෝක කුසලාන 4කදී ගෝල් 16ක් ගහලා ලෝක කුසලාන වැඩිම ගෝල් ගානේ වාර්ථාව තමංගේ කරගෙන ඉන්නේ...
තෝමස් මුලර්, ටෝනි කෲස්, මෙසුට් ඔසිල් සහ බැස්ටියන් ශ්වයින්ස්ටයිගර් හතරදෙනාගේ,
හොඳටම සංවිධානය වෙච්ච ආක්‍රමණයට මුහුණ දෙන්න,
මෙච්චර දවසක් ඔවුන් එක්ක සෙල්ලං කරපු කිසිම කණ්ඩායමකට බැරිඋනා...
ඒ වගේම අතිරේක ක්‍රීඩකයන් විදියට මිරස්ලෝව් ක්ලෝස සහ නිකලස් පොඩොල්ස්කි බැස්සම,
ජර්මනියේ ඇටෑකිං සයිඩ් එක එක්ක හැරෙන්න වෙන කිසි කෙනෙක් නැහැ...
මේ ඇටෑක් එකට මුහුණ දීලා, තමංගේ ගෝල් එක බේරගෙන,
ඔවුන්ව පරාද කරන්න ආජන්ටිනාවට හැකි උනොත්,
ඔවුන් ලෝක ශූරයෝ විදියට ගෙදර යන්න පුළුවං...
ලයනල් මෙසීට, දියාගෝ මැරඩෝනා වගේ දේවත්වයෙන් පිදුම් ලබන්න පුළුවං...
මේ සියල්ල සිද්ධ වෙන්න තව පැය 3ක් විතර තියෙන්නේ...
එකම අවුල තමයි අපේ රටේ වෙලාවෙන්,
යක්කු ගස්යන වෙලාවට මේ මැච් එක පෙන්නන එක...

මීට කළිං තිබ්බ 2002, 2006, 2010 වර්ල්ඩ්කප් 3 දිම,
අවසාන මහා තරඟේ ගෝල් ගැහුවේ
2002 - බ්‍රසීලේ - ජර්මනිය 2-0,
2006 - ප්‍රංශේ - ඉතාලිය 1-1 (පැනල්ටි 3-5),
2010 - ස්පාඤ්ඤේ - නෙදර්ලන්තේ 1-0 විදියට...
ඒ නිසා මේ තරඟේදීත් මහා විශාල ගෝල් ගාණක් ගහයි කියලා මම හිතන්නේ නැහැ...
කොහොම උනත් ඉතාම තියුණු, සුපිරි, පට්ට සිරා ෆුට් බෝල් මැච් එකක් අපිට දැකබලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම මේ මැච් එක විනාඩි 90කට වැඩිය යයි කියලත් මට හිතෙනවා...
පැනල්ටි ශූට් එකක් දක්වා මැච් එක ගියොත්, බලන අපි මාර වාසනාවන්තයි...
ඒ කොහොම වෙතත්, අද දවස ලෝක ෆුට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්...

ඔක්කොමත් හරි මැච් එක කව්රු දිනයිද....
මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ...
මගේ පෞද්ගලික අදහස,
මෙදාපාර ලෝක ශූරයෝ වෙන්නේ ජර්මනිය...
1-0 හෝ 2-1 විදියට ඔවුන් තරඟය ජයග්‍රාහීව අවසන් කරාවි...
මම හරිද වැරදිද කියලා,
අපි හැමෝටම තව පැය කීපයකින් බලාගන්න පුළුවං වේවි...

එහෙනං,
අලුත් ලෝක ශූරයෝ එක්ක අවසාන මහා තරඟේ පසු සටහන අරගෙන,
හෙට උදේට සෙට් වෙමු...

1 comment:

  1. කාන්තා ෆුට්බෝල් තරඟයක් ගැනනම් ඔයාලා මේ තරම් උනන්දුවෙන් විස්තර දාන්නේ නෑ නේද?

    ReplyDelete