Tuesday, August 5, 2014

ශ්‍රි ලංකා, පාකිස්තාන පළමු ටෙස්ට් තරගය...




සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පවත්වන්නට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමුවන තරඟය අද උදෑසන ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදි ආරම්භ විමට නියමිත තිබේ.


එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟයන් දිනා සිටි ශ්‍රී ලංකා කණඩායම දකුණු අප්‍රිකාණුවන් ඉදිරියේ ලැබු පරාජයෙන් යම් තාක් දුරට සාර්තකත්වයට පත් වීමට නම් මෙම තරඟාවලිය ජය ගත යුතුව තිබේ.


සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර, උපනායක ලහිරු තිරිමාන්න ක්‍රීඩා කරන්නේ නැත. ව්ශේෂයෙන්ම සදහන් කලයුතු කරුණ වන්නේ මහේල ජයවර්ධන ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වීමයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් මෙමෙ තරඟයේදීත් ලකුණු අතරට පැමිණීමට හැකි උවහොත් මහේලට මෙන්ම අපටද ප්‍රීති ඝෝෂා නැගිය හැක.


අපගේ අනික් බලාපොරොත්තුව වන්නේ කුමාර සංගක්කාරයි. උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ඉකුත් දකුණු අප්‍රිකාණු තරඟාවලියේදි දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම තරඟයටද කැදවා තිබේ. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ක්‍රීඩා කරන අතර වේග පන්දු යවන්නන් ලෙස දම්මික ප්‍රසාද් සමගින් ශාමින්ද එරංග ක්‍රීඩා කරනු ඇති.

 

පාකිස්තානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මිස්බා උල් හක් වන අතර පිතිකරුවන් ලෙස යුනිස් ඛාන්, අහමඩ් ෂෙහාඩ්, කුරාම මන්සූර්, අසාර් අලි ක්‍රීඩා කරන අතර වේග පන්දු යවන්නන් ලෙස ජුනයිඩ් ඛාන් සමගින් අබ්දුර් රෙහෙමාන් ක්‍රීඩා කරනු ඇති. රංහන හේරත් සමගින් කරට කර කඩුළු ලබා ගැනීමට සෑම තරඟයකම දඟ පන්දු යවන්නකු ලෙස මහඟු සේවයක් ඉ‍ටු කරන සහීඩ් අජ්මාල් මෙමෙ තරඟයේදී ශ්‍රී ලංකා පිලට අභියෝගයක් වනු නොඅනුමානය.


කෙසේවෙතත් ඉකුත් දකුණු අප්‍රිකාණු ටෙස්ට් තරඟයට මෙන් වර්ශාවෙන් බාදාවක් ඇති නෙවී මෙමෙ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු...



ජය වේවා...!!!

Monday, July 28, 2014

පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං - මංජු වන්නිආරච්චි | Manju Wanniarachchchi - The Boxer



මංජු වන්නිආරච්චි...
ඔබට ඒ නම මතක ඇති...
ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ඨතම,
බොක්සිං ක්‍රීඩකයෙක් ඔහු...
2010 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී,
තමන් තරඟවදින බැන්ටම් බර පංතියේ (කි.ග්‍රෑ 56),
රන් පදක්කම දිනාගන්නේ මංජු!!!
නමුත් ඒ පදක්කම මංජුට අහිමි වෙන්නේ,
තහනම් උත්තේජක පාවිච්චි කළ බවට,
ජාත්‍යන්තරය හමුවේ ඔප්පු වෙන නිසයි...
ඒ විතරක් නෙමෙයි, අවුරුදු දෙකක තරඟ තහනමකටත්,
මංජු වන්නිආරච්චි යටත් වෙනවා දඬුවමක් විදියට...
2011දි මංජු බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නේ,
තවදුරටත් බොක්සිං අනාගතයක් තමන්ට නැති නිසයි..

නමුත් අවුරුදු දෙකක තරඟ තහනමෙන් පස්සේ,
නැවතත් 2013දී මංජු ක්‍රීඩාවට එක්වෙන්නේ,
2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාතරඟාවලියේදීම,
ගිළිහුණු කිරුළ යළි දිනාගැනීමේ එකම අධිෂ්ඨානයෙන්...

මංජු,
අපි උඹට ආදරේ,
උඹ අපිට පදක්කමක් ගේන නිසා නෙමෙයි...
අපි ආදරේ උඹේ නොසැලෙන ධෛර්යයටයි...
උඹ දින්නත් පැරදුනත්,
උඹ පදක්කමක් ගෙනාවත් නැතත්,
අපේ හිතවල උඹට තියෙන ආදරේ,
නැතිවෙන්නේ නැහැ මචං!!!


අද තියෙන 16දෙනාගේ වටේන් අන්තිම 8ට යන්නත්,
එතනින් අන්තිම 4දෙනාට ගිහිං සෙමිෆයිනල් යන්න්නත්,
සෙමිෆයිනල් එක දිනලා ෆයිනල් ගිහිං,
2010දීම වගේ ආයෙත් රන් පදක්කම අපේ රටට ගේන්න,
ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව උඹට ලැබේවා...

ගහලම වරෙං!!!



අද අපේ රටේ වෙලාවෙන් හවස 6ට,
මංජු වන්නිආරච්චගේ තරඟේ පැවැත්වෙනවා...
ටීවී එකේ ඒ මැච් එක පෙන්නුවොත්,

මංජු වෙනුවෙන් ඒක බලන්න...
හවස 6.10ට මධුරංග පතිරගේ තරඟවදින මැච් එකත්,
හවස 6.15ට මධුෂාන් ගමගේ තරඟවදින මැච් එකත් තියෙනවා...
අපේ කොල්ලොන්ට ජය පතන්න එක්කහුවෙන්න...

Saturday, July 26, 2014

2014 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේ පලමු පදක්කම



පොදු රාජ්යමණ්ඩලීය ක්‍රීඩා තරග මේ වෙද්දි පටන් අරගෙන දවස් කීපයක්,,103 වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු පදක්කම වාර්තා උනා බර ඉසිලීමේ තරග වලින්.වෙනම 44 වන නිලධාරීන් කන්ඩායමක්,, ස්කොට්ලන්තය බලන්න යන චාන්ස් එක නේ,,
අපේ රටට මුල්ම පද්දක්කම ගෙනාවේ සුදේශ් පීරිස්, 62kg බර පන්තියේ රිදී පදක්කම 276kg බරක් ඔසවලා තමා මේ පදක්කම හිමිකර ගත්තේ ,ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නෙත් සුදේශ්,ඒ එක්කම 2010 නවදිල්ලි පොදු රාජ්ය මන්ඩල තරගාවලියේ මේ අංශෙන්ම ලෝකඩ පදක්කම හිමිකර ගත්තා,
සඳලංකාවේ ඉපැදුණු සුදේශ් පීරිස් 29 වැනි වියෙහි පසු වෙනවා. මීගමුව සාන්ත මේරි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2004 සිට 2009 දක්වා සේවය කලා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සොහොයුරා වන්නේ සුදේශ්. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක් සිටී. 2004 වසරේ සිට පිට පිට වසර 5ක් බර ඉසිලීමේ ජාතික සූරතාව දිනා ගත් ඔහු 2006 වසරේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් දකුණු ආසියාවේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
මෙවර අපේ කණ්ඩායමේ නායකත්වය ලබලා ආරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන කණ්ඩායමේ පෙරටුව ගමන් ගත්තෙත් සුදේශ්.කණ්ඩායමටම ආදර්ශයක් වෙලා පලමු පදක්කම හිමි කර ගත්තා

 අපේ ස්පෝර්ට් අඩවියේ අපව නිරන්තරයෙන් දිරි ගන්වන අරූ අයියා විසින් මෙමෙ ක්ලිප් එක අපට ලබා දුන්නා.සුදේශ් 2010 ලබා ගත් ජයග්‍රහනය

Wednesday, July 23, 2014

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල - 2014

අද උදේ පාන්දරම රාජකාරි පටං ගන්න ගූගල් ගියාම උගෙ ඩූගල් එකේ තිබ්බා අමුතු සීන්ස් එකක්. ඒක මොකක්ද කියලා බලන්න ගියාම තමා දන්නේ අද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල පටං ගන්නවා කියලා. ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ අපෙ බ්‍රිතාන්‍ය මහ රජ්ජුරුවන්ට යටත් වෙලා හිටපු රටවල් ටිකටනේ. ඒත් මං දන්න තරමින් ඇමරිකාව ලොකු සීන්ස් නිසා එන්නෑ ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන ගේ ඇතුලට.
ඒකෙන් වැඩක් නෑනේ. දැන් ඔය පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රිඩා උළෙල පටං අරං තියෙන්නේ බොහෝ ඈත කාලෙක. ඒ කිව්වේ ඔය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උලෙල ඉස්සල්ලාම පටං ගත්තේ රටවල් අතර මිත්‍රත්වය ඇති කරන්න කියලා අලවන ලේබලය යටතේ තමා. එය මිතුදමේ තරගාවලියක් විදිහට උනා කියලා තමා ඔය ඒ ගැන දන්න රට්ටු කියන්නේ. පලවෙනි තරගාවලිය පටං අරං තියෙන්නෙ 1930 දි කැනඩාවේ හැමිල්ටන් කියන නගරේ. ඒ තරගාවලියට රටවල් 11කින් තරඟ කරුවන් 400ක් සහභාගි වෙලා තියනවා.ඒතේ තරඟ 6ක් සහ ඉසව් 59ක් තිබිලා තියනවා. 1930 ඉදලා මේ දක්වා හැම අවුරුදු 4කටම වරක් ඔය කියන ක්‍රිඩා තරගාවලිය තිබිලා තියනවා. හැබැයි 1942 අවුරුද්දෙයි 1946 අවුරුද්දෙයි ඔය තරගාවලිය පැවැත්විලා නෑ. මොකද කියනවා නන් ඒ කාලේ ඒ පැත්තේ දෙවනි ලෝක යුද්ධ තිබ්බලුනේ. ඒ නිසා ඒ අවුරුදු දෙක නැතුව අනිත් හැමදාම අවුරුදු 4කට වරක් මේ තරගාවලිය පැවැත්විලා තියනවා.

ඒ කාලේ මේකට කියපු නම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල නෙමේ.1930 - 1950 කාලේ මේකට කියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය කියලා. පස්සෙ ඒ නම හොද මදි කියලා  1954 දි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා පොදු රද මඩුලු ක්‍රිඩා වලිය කියලා නම් කරලා ඒ නම 1966 වෙනකං පාවිච්චි කරලා තියනවා. 1970 පැවතුන තරගෙට දීලා තියන නම තමා බ්‍රිතාන්‍ය පොදු රජ්‍ය මණ්ඩල ක්‍රිඩාවලිය. 1974 තරගෙටත් ඒ නමම පාවිච්චි කරලා තියනවා කියලා තමා ඔය තැන් තැන් වල සදහන් වෙලා තියෙන්නේ.1978 ඔන්න ආයෙත් කැනඩාවෙම තමා මේ තරගාවලිය තිබිලා තියෙන්නේ.අන්න ඒ තරගාවලියෙදි තමා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල කියන නම ඉස්සල්ලම භාවිතා කරලා තියෙන්නේ.

ඔය තරගාවලිය ආසියානු කලාපයේ දෙපාරයි පැවැත්විලා තියෙන්නේ. ඒ තමා වසර 1998දී මැලේසියාවේදී සහ වසර 2010 දී ඉන්දියාවේදී. මේවෙද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල ඇතුලේ තරඟ ඉසවු 39ක් විතර තියනවා. 1998 වසරෙදි ක්‍රිකට් ක්‍රීඩාවත් මේකෙ තරග ඉසව්වක් කියලා පිළි අරගෙන තියනවා. ඒත් මට නන් මතක නෑ ලංකාවෙ ටීම් එකක් ක්‍රිකට් ගහන්න ගියා කියලා. මගේ මතකේ අවුලක්ද දන්නෑ ඉතින්. ඒත්  එහෙම ක්‍රිකට් ක්‍රිඩාවත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල තියනවා කියලා තමා ඉතින් කියන්නේ.
ඉතින් ඔන්න ඔහොම කතන්දර තියන තරගාවලි ඉතිහාසයක 2014 කතාව අද ඉදලා ඉතිහාසයේ ලියවෙන්න පටං ගන්නවා. ස්කොට්ලන්තෙ නයිජීරියාවත් එක්ක තරග කරලා තමා 2014 තරගාගවලිය ස්කොට්ලන්තෙට දිනා ගත්තේ.ඉතින් ඔය ජයග්‍රහනයත් එක්ක තව පැය 7කින් විතර ස්කොට්ලන්තෙ තියන glasgow කියන නගරේ ඉදං ඉතිහාසෙට අලුත් කතාවක් එකතු කරන්න කස්ටිය බෝම ලක ලෑස්තියෙන් ඉන්නවා කියලා ආරංචි උනේ.
වැඩි විස්තර ඔයාලට පුලුවන්

මෙතනින් ගිහින් බලා ගන්න..
http://www.glasgow2014.com/

ඒ විතරක් නෙමේ. මේ වෙද්දි 2018 දි මේ තරගාවලිය කොහෙත තියෙන්නෙ කියලත් දැන්ම සැලසුම් කරලා ඉවරයි. ඒක තියෙන්නේ ඉතින් Gold Coast කියන නගරේ.

2018 තරගාවලිය ගැන විස්තර තියනවා මෙන්න මෙතන..
http://www.gc2018.com/

එහෙනන් තව පැය කිහිපයකින් ආරම්භ වෙන සැනකෙලියකින් පස්සේ රටවල් 71ක්  සහ 4500ක් විතර තරඟ කරුවන් එක්ක අපිට විඳින්නත් ලෝකෙට අලුත් සටහන් තබන්නත් නව වාර්ථා බිහිවෙන්නත් හේතු වන තරගාවලියක් අපට අත්විදින්නට ලැබේවි.





Tuesday, July 22, 2014

ප්‍රංශ සවාරිය - Tour de France 2014


පාපන්දු උන්මාදයෙන් පස්සෙ අලුත් පෝස්ට් එකකට යන්න හිතුනා,,අපේ ක්‍රීඩා වලට ආසා යාලුවන්ට හදුන්වලා දුන්නු ක්‍රීඩා බ්ලොග් එක නේ මේ,ලෝකෙ ඕනම ක්‍රීඩා උත්සවයක්,ක්‍රීඩා තොරතුරක් බෙදා හදා ගන්න එක තමා අපේ කණ්ඩායමේ අරමුන.
උඩ මාතෘකාව දකින්න ඇති නේ ලෝකෙ බයිසිකල් ධාවක තරග රසිකයන්ට ජූලි කියන්නෙ වැදගත් මාසයක් ඒ ලෝක ප්‍රකට ප්‍රංශ සවාරිය පවත්වන මාසය.ඔන්න මේ වෙනකොටත් තරගයේ අවසන් අදියරයෙ තමා මේ ඉන්නේ.මේ වෙනකොට දින 15 අවසන්,මේ ලිපිය ලියන අද 21 දවස විවේක දිනයක්,තවත් දින 6 ඉතුරු වෙලා තියෙන්නෙ.
පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කලොත් 1903 දී තමා මේ සවාරියේ ආරම්භය,ලෝක යුද්ධ දෙක පැවති කාලයේ සවාරිය නැවතුනාට අනෙක් සැම වසරකම නොකඩවා මේ තරගාවලිය පැවත් වූවා.මෑත කාලයේ සිදු උනු විශාලතම කලු පැල්ලම තමා නොකඩවා 7 වසරක් තරගය ජයග්‍රහනය කරපු ලෝක ප්‍රසිද්ද ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් , ඔහු තහනම් උත්තේජක භාවිත කලා කියලා ඔප්පු වෙලා ජයග්‍රහන සියල්ලම ඉවත් කිරීම.ඔහු පිළිකා රෝගියෙක්, රෝගයත් සමගම තරග ජයග්‍රහනය කරපු ක්‍රීඩකයෙක්.තහනම් උත්තේජක සිදු වීමත් සමගම ඔහුගේ කීර්තියට දැඩි හානි උනා.
2014 වසරේ එංගලන්තයේ සිට ආරම්භ උනු තරගයේ දින15 වෙද්දි කහ ජර්සිය හිමි කරන් ඉන්නෙ පහු ගිය වසරේ ඉතාලි සවාරිය ජයගත් වින්චෙන්සෝ නීබලි,නීබලිව වරක් දැකගන්න මට වාසනාව ලැබුනා,,ඒ නීබලි මා ජීවත් වන පලාතෙම වැසියෙක් නිසා.මේ වෙනකොට මුලු ඉතාලියම බලන් ඉන්නෙ පාපන්දුවෙන් බැට කාලා ආපු ඉතාලියට යම් සහනයක් නීබලි අරන් ඒවි කියලා. නීබලි කදු තරනයේ දක්ශයෙක්.කදු නැග්ම 35-40 Kmph අතර වේගයක් ගන්නවා. දින 3 ජයග්‍රහන වාර්තා කලා,ඒ එක්කම අනෙක් සෑම දිනකම මුල් ස්තාන 5 අතරේ ‍රැදී සිටින්න දක්ශ උනා.

                                          මේ ඉන්නෙ නීබලි
නීබලිට දැඩි තරගයක් දෙනවා ස්පාඤ්ඤ ක්‍රීඩකයෙක් වෙන බෙල්මොන්තෙ වල්වේර්දෙ ඔහු මේ වෙද්දි මිනිත්තු 4.30 පසු පසින් ඉන්නේ,බලමු තරගය කොහොම වේවිද කියලා.
මා නිරන්තරයෙන් දකින දෙයක් තමා ප්‍රංශ සවාරිය ජයග්‍රහනය කරන්නෙ,ඊට ඉකුත් වසරේ ඉතාලි සවාරිය හෝ ස්පාඤ්ඤ  සවාරිය ජය ගන්න ක්‍රීඩකයෙක්.ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය සහ ස්පාඤ්ඤ සවාරිය තමා ලෝකෙ බයිසිකල් සවාරි වලින් ඉදිරියෙන්ම ඉන්න සවාරි 3,ඒ නිසාමද කොහෙද මම ඉස්සල්ලා කියපු දේට හේතුව ,ඉදිරි ලිපියකින් හමු වෙමු කවුද ජයග්‍රහකයා කියලා දැන ගන්න....

Monday, July 14, 2014

ජර්මනිය VS ආජන්ටිනාව | Germany VS Argentina | Final



වර්ල්ඩ් කප් එක දැං ඉවරයි...
ශූරයෝ, අනු ශූරයෝ කව්ද කියලා හැමෝම දන්නවා...
කොහොම උනත් පට්ට සිරා විනාඩි 120ක ෆුට්බෝල් තරඟෙකින් පස්සේ,
ජර්මනිය 4වෙනිවතාවටත් ලෝක ශූරයෝ බවට ඊයේ අභිශේක ලැබුවා...
ජර්මනිය සහ ආජන්ටිනා කණ්ඩායම් දෙකම,
එකම තරඟේකින්වත් පරදින්නේ නැතුව අවසාන තරඟෙට ආවත්,
දෙගොල්ලොම දැනගෙන හිටියා ඊයේ තරඟයෙන් කව්රු හෝ පරදින බව...
ඒ පරදින කණ්ඩායම තමන්ගේ කණ්ඩායම නොවෙන්නයි,
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ එකම අරමුණ වෙලා තිබ්බේ...
මිනිත්තු 90ක් යනකංම එකම ගෝල් එකක්වත්,
කණ්ඩායම් දෙකටම ගහගන්න බැරි උනේත් මේ නිසාමයි...

ජර්මනි සහ ආජන්ටිනා ක්‍රීඩකයෝ හැමෝම,
විරුද්ධවාදීන්ගේ ගෝල් එක කීප සැරයක්ම ආක්‍රමණය කෙරුවත්,
ඒ කිසිම වතාවකදී සාර්ථක වෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැහැ...
විශේෂයෙන්ම ෆස්ට් හාෆ් එකේදී ආජන්ටිනාවට ලැබුණ අවස්තාව ඒකෙන් විශේෂයි...
ජර්මනියේ කෲස් වැරදි පාස් එකකින් බෝලේ ආජන්ටිනාවේ ගොන්සාලෝ හිගුවේන්ට දුන්නේ,
මේං මචං බෝලේ ගිහිං ගෝල් එකක් ගහගනිං කියන්නා වගේ...
නමුත් ඒක ගෝල් එකක් කරගන්න ආජන්ටිනාවට පුළුවං උනේ නැහැ...
ඒ වගේම ඊට විනාඩි කීපයකට පස්සේ ජර්මනි ගෝල් එක සාර්ථකව ආක්‍රමණය කරන්න,
හිගුවේන්ට පුළුවං උනත් ඕෆ සයිඩ් නීතිය යටතේ ඒ ගෝල් එක නිශ්ප්‍රභා කෙරුනා...
හැමෝගෙම වීරයා වෙච්ච මෙසීටත් අවස්තා කීපයක් ලැබුනා ගෝල් එකක් ගහන්න...
සෙකන්ඩ් හාෆ් එක පටං ගත්ත ගමංම වගේ මෙසීගේ වම් කකුලෙන් පාර කාපු බෝලේ ගෝල් එක ඇතුළට නොගියේ ඇයි කියලා මෙසී තාමත් හිතනවා ඇති...
ෆුට්බෝල් ඔස්තාර්ලාගේ අදහසට අනුව බාසිලෝනා ක්ලබ් එකේ මැච් එකකදී ඔය වගේ අවස්තා 10ක් ආවොත් ඒකෙන් 9ක්ම මෙසී නවත්තන්නේ ගෝල් එක ඇතුළට බෝලේ දාලයි...
ඒ වගේම තරඟේ පෙනල්ටි රවුම දක්වා ඇදගෙන යන්න ලැබුන අන්තිම අවස්තාවේ,
ඒ කියන්නේ තරඟයේ 122වෙනි මිනිත්තුවේදී,
මෙසී ගැහුව ෆ්‍රී කික් එක ගෝල් එකට අඩි 10ක් විතර උඩිං පියාඹලා ගියේ,
2014 වර්ල්ඩ් කප් චැම්පියන් හීනේ ආජන්ටිනාවේ සීමාවෙන් ඈතට ගෙනියමින්...
ඊයේ දවසේ ආජන්ටිනාවේ වාසනා චක්කරේ කැරකුනේ ඔන්න ඔය විදියට...

අනිත් පැත්තෙං ජර්මනියට උනත් එච්චරම තමයි...
අවස්තා කීපයකදීම ආජන්ටිනා ගෝල් එකට ඔන්න මෙන්න බෝලේ ගෙනිච්චත්,
ගෝල් එකක් කරගන්න අවස්තාවක් ලැබුනේම නැහැ ඔවුන්ටත්...
කෝනර් කික් කීපයක්ම තමන්ගේ ඔලුවේ වද්දගන්න ජර්මනිය ක්‍රීඩකයන්ට පුළුවං උනත්,
ඒ ඔලුවෙන් ගහපු බෝලේ ගිහිං නතර උනේ ගෝලිගේ අතේ, ගෝල් කණුවේ හරි, ගෝල් එකක් නොවෙන වෙන ඕනෑම තැනක...

කොහොම වෙතත් ජර්මනියේ වයස්ගතම ක්‍රීඩකයා වෙච්ච මිරස්ලෝව් ක්ලෝස,
88වෙනි මිනිත්තුවේදී වර්ල්ඩ් කප් එකට ආයුබෝවන් කියලා පිට්ටනියෙන් එළියට යන්නේ,
තරඟයේ ඉරනම වෙනස් කරන මාරියෝ ගොට්සේව පිට්ටනීයට කැඳවමින්...
ඒ ඇවිත් මිනිත්තු 25කට පස්සේ, එහෙමත් නැත්තං තරඟයේ 113වෙනි මිනිත්තුවෙදී,
මාරියෝ ගොට්සේ තමන්ට ඇන්ඩ්‍රෙ ෂෲරිල් එව්ව බෝලේ පපුවෙන් නවත්තලා වම් කකුලෙන් ගැහුවේ, අවුරුදු 22ක් වෙච්ච තමංගේ ජීවිතේ මෙච්චර කාලයක් ගහපු ගෝල්වලිං වටිනාම ගෝල් එකයි...
අතිරේක කාලයේදි ගැහැව්ව ඒ ගෝල්ඩන් ගෝල් එකෙන් තරඟේ ඉරණම තීන්දු වෙන්නේ,
අවුරුදු 24ක ජර්මනි ෆුට්බෝල් වර්ල්ඩ් කප් චැම්පියන් නියඟේ හමාර කරමින්...


2002 ඉඳං ජර්මනිය හැම වර්ල්ඩ් කප් එකකදීම ෆයිනල් හෝ සෙමි ෆයිනල් ආවත්,
ඒ කිසිම වතාවකදී චැම්පියන් වෙන්න ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ...
නමුත් තමන්ට හුරු නැති දකුණු ඇමරිකා කලාපයේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්,
කවදාවත් දකුණු ඇමරිකා කලාපේදී යුරෝපියන් ටීම් එකක් නොදින්න වර්ල්ඩ් කප් එක දිනමින්,
ජර්මනිය මෙදාපාර පෙන්නුවේ ලේසි පාසු දක්ෂතාවයක් නං නෙමේ...

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට දෙන ගෝල්ඩන් බෝල් සම්මානේ ආජන්ටිනාවේ ලයනල් මෙසී දිනාගත්තත්,
දියාගෝ මැරඩෝනා වගේ දෙවියෙක් වෙන්න ඒ සම්මානේ මදි කියලා මෙසී දන්නවා...
ඒ සඳහා ආජන්ටිනා ජනතාවට ෆුට්බෝල් ලෝක කුසලානයක් ලබා දෙන්න,
තමන්ගේ ජීවිත කාලය තුළදී ලයනල් මෙසීට හැකිවේවා කියලයි මම ප්‍රාර්තනා කරන්නේ...
මොකද මෙසී සුපිරි තරුවක් වගේම අති දක්ෂයෙක් නිසා...
ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමයි...


2010 වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක් ගහලා ඇඩිඩාස් රත්තරං සපත්තුව ගෙනිච්ච,
තෝමස් මුලර්ට මෙදාපාර ගෙදර ගෙනියන්න ඊට වඩා ලොකු තෑග්ගක් තියෙනවා...
රත්තරං සපත්තුව නැති උනත් මුලර් රිදී සපත්තුව අරගෙන යන්නේ,
මෙදා වර්ල්ඩ් කප් එකේ දෙවෙනියට වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා විදියට...
ඒ වගේම දෙවෙනියට දක්ෂතම ක්‍රීඩකයට දෙන රිදී බෝලේත් හිමිවෙන්නේ මුලර්ටමයි...

දවස් 32ක් තිස්සේ බ්‍රසීලේ නගර 12ක තිබ්බ,
ලෝක කුසලාන තරඟාවලිය 64වෙනි තරඟෙන් අවසාන උනා...
තරඟාවලියේ අවසාන ප්‍රතිඵලේ ඉඳිරි අවුරුදු 4 සඳහා,
ලෝක ශූරයන් විදියට ජර්මනිය අභිශේක ලැබීම...
ඒ තරඟ 64ම නැතත් අහුවෙච්ච අහුවෙච්ච විදියට ගෙනාව,
වර්ල්ඩ් කප් ෆුට්බෝල් විචාර සීරීස් එක මේ විදියට අදින් අවසාන වෙනවා...

කියෝපු හැමෝටම ජයවේවා!!!

Sunday, July 13, 2014

ආජන්ටිනාවද ජර්මනියද... මෙසීද මුලර්ද... | Who will be the Champion?


දවස් 32ක් තිස්සේ මැච් 63ක් ගහලා,
33වෙනි දවසේ 64වෙනි මැච් එකෙන්,
2014 ෆිෆා වර්ල්ඩ් කප් එක අවසන් විමට නියමිතයි...
අද තමයි අවසාන මහා තරඟේ...
මෙච්චර දවසක් අපරාජිතව හිටිය,
ජර්මනිය සහ ආජන්ටිනාව අද තරඟ වදින්නේ,
ලෝක ෆුට්බෝල් කිරුළ තමන්ගේ රටට ගෙනියන අධිෂ්ඨානයෙන්...
කව්රු දිනයිද, කව්රු පරදියිද,
කව්රු ජයපැන් බොයිද, කව්රු දුක් කඳුළු බොයිද,
තව පැය කීපයකින් මුලු ලෝකෙටම ඒක දැකබලාගන්න පුළුවනි...

ආජන්ටිනාව ගත්තොතින් මුහුණ දීපු සියළුම තරඟ ජයග්‍රහණය කරගෙනයි,
අවසාන තරඟේ දක්වා පැමිණියේ...
ඔවුන් අද දක්වා අපරාජිතයි...
සමස්ත තරඟාවලියේදී ඔවුන් ලබාගත්ත ගෝල් ගාණ 8ක්...
ඒ වගේම ශක්තිමත් ආරක්ෂක වළල්ලකුත් ආජන්ටිනාව සතුව තියෙනවා...
මේ තරඟ සියල්ලේදීම ඔවුන් ලබාදීලා තියෙන්නේ ගෝල් 3ක් පමණයි...
ඒ වගේම සෙමි ෆයිනල් එකේදි පැනල්ටි දක්වා තරඟේ ඇදුනම,
පැනල්ටි ගෝල් 2ක් පමණයි ඔවුන් ලබාදුන්නේ...
මෙයින් පැහැදිලි වෙනවා ඔවුන්ගේ ශක්තිය...

නමුත් අද තරඟයේදී ඔවුන්ගේ ප්‍රධානම ඉඳිරි පෙළ ක්‍රීඩකයෙක් වෙන,
ඒන්ජල් ඩී මරියාගේ දායකත්වය ආජන්ටිනාවට ලැබේවිද කියන එක සැක සහිතයි...
ඔහු සුළු ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටිනවා...
ඒ වගේම ආජන්ටිනාව අද දක්වාම තනිකරම රැඳීසිටින්නේ ලයනල් මෙසී මතයි...
ඔවුන් ලබාගත් ගෝල් 8න් ගෝල් 4ක්ම ගැහුවේ මෙසී...
නමුත් අවසාන තරඟ 3දීම (සෙකන්ඩ් රවුන්ඩ්, ක්වාටර් ෆයිනල්, සෙමි ෆයිනල්),
මෙසී එක ගෝලයක්වත් වාර්තා කළේ නැහැ...
ඒ වගේම මෙසී බෝලේ අරගෙන යන වෙලාවට,
ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙන්නෙක් හෝ තුන්දෙනෙක්,
ඔහුට අභියෝග කරලා ඔහුගෙන් බෝලය ඩැහැගෙන යන හැටි,
ඉරාන් සහ ස්විට්සර්ලන්ඩ් මැච් දෙකේදී හොඳින්ම දකින්න ලැබුනා...
මේ තත්ත්වේ ජර්මනිය අධ්‍යයනය කරලා නැතිවෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
ඉතිං බොහෝ වෙලාවට ලයනල් මෙසී මත රඳාපවතින ආජන්ටිනාවට,
මෙසී නැති උනොත් හෝ හිර උනොත් ඇතිවෙන තත්ත්වය සෝචනීය වෙන්න පුළුවං...
ඒ වගේම තමයි ඔවුන්ට් තියෙන පීඩනය...
අද තරඟය නරඹන්න එන සියළුම බ්‍රසීල ජාතිකයන් අද චියර් කරන්නේ ආජන්ටිනාවටයි...
ඒ විතරක් නෙමේ, ඔවුන් තමයි දකුණු ඇමරිකානු කණ්ඩායම...
ඔවුන්ට තමන්ගේ සුපුරුදු දේශගුණික/කාළගුණික/පරිසර තත්ත්වයන්ගේදී පරදින්න බැහැ...
මේ අමතර පීඩනේත් ඔවුන්ගේ හිස මත තියෙනවා නිසැකයි...

අනිත් අතිං ජර්මනිය ගත්තම,
අද ඔවුන්ට තියෙන ලොකුම මානසික ගැටලුව වෙන්නේ,
කිසිම යුරෝපීය පාපන්දු කණ්ඩායමක් දකුණු ඇමරිකානු රටකදී,
ලෝක කුසලානය දිනා නැති වීම...
පිටතට නොපෙන්නුවට මේ විස්තරේ ඔවුන්ගේ හිතේ හොල්මන් කරනවා ඇති...
හැබැයි මුලු ලෝකෙම බලාගෙන ඉද්දි, සෙමි ෆයිනල් එකේදී බ්‍රසීලේ වත්ත පිටිපස්සේ ඉඳං,
බ්‍රසීල පාපන්දු කණ්ඩායමට ෆ්ලැට් වෙන්න ගහපු ගැහිල්ලෙන්,
ඔවුන්ගේ මානසිකත්වය සෑහෙන්න තරම් හැදිලා හොඳ ෆෝම් එකේ ඉන්න බව පේනවා...
ඒවගේම ජර්මනිය කියන්නේ ටීම් එකක්...
තනි තනි සුපර් ස්ටාර්ලා ජර්මනියේ නැහැ...


ටිම් එකක් විදියට යුද්ධ ටැංකියක් වගේ අනිත් ටීම් එක පොඩි පට්ටම් කරගෙන ඔවුන් ගිය විදිය, පෘතුගාල, ඇමරිකා, ප්‍රංශ සහ බ්‍රසීල කියන නම් දරාපු කණ්ඩායම්,
ඔවුන් පරාද කරපු හැටියෙන් පේනවා...
මේ දක්වා තරඟාවලියේදී ජර්මනිය ගෝල් 17ක් ලබාගෙන තියෙනවා...
ඒ ගෝල් 17 ගැහුවේ ප්ලේයර්ස්ලා 7 දෙනෙක්...
වැඩිම ගෝල් ගාණක් ගහපු තෝමස් මුලර් (05),
තරඟාවලියේ වැඩිම ගෝල් ගහන ක්‍රීඩකයාට දෙන,
ගෝල්ඩන් බූට් සම්මානේ ගන්න ඔන්න මෙන්න ඉන්නේ...
ඒ වගේම 2010 වර්ල්ඩ් කප් එකේදිත් ඒක ගෙදර ගෙනිච්චේ මුලර්ම තමයි...
ඉතිං මුලර් කැමති ඇති මෙදාපාර වැම්පියන් කෙනෙක් වෙලා,
ගෝල්ඩන් බූට් එකත් අරගෙනම යන්න...
ඒ වගේම ජර්මන් ටීම් එකේ ඉන්න වයස්ගතම ක්‍රීඩකයා වෙන මිරස්ලෝව් ක්ලෝස (වයස 36),
ලෝක කුසලාන 4කදී ගෝල් 16ක් ගහලා ලෝක කුසලාන වැඩිම ගෝල් ගානේ වාර්ථාව තමංගේ කරගෙන ඉන්නේ...
තෝමස් මුලර්, ටෝනි කෲස්, මෙසුට් ඔසිල් සහ බැස්ටියන් ශ්වයින්ස්ටයිගර් හතරදෙනාගේ,
හොඳටම සංවිධානය වෙච්ච ආක්‍රමණයට මුහුණ දෙන්න,
මෙච්චර දවසක් ඔවුන් එක්ක සෙල්ලං කරපු කිසිම කණ්ඩායමකට බැරිඋනා...
ඒ වගේම අතිරේක ක්‍රීඩකයන් විදියට මිරස්ලෝව් ක්ලෝස සහ නිකලස් පොඩොල්ස්කි බැස්සම,
ජර්මනියේ ඇටෑකිං සයිඩ් එක එක්ක හැරෙන්න වෙන කිසි කෙනෙක් නැහැ...
මේ ඇටෑක් එකට මුහුණ දීලා, තමංගේ ගෝල් එක බේරගෙන,
ඔවුන්ව පරාද කරන්න ආජන්ටිනාවට හැකි උනොත්,
ඔවුන් ලෝක ශූරයෝ විදියට ගෙදර යන්න පුළුවං...
ලයනල් මෙසීට, දියාගෝ මැරඩෝනා වගේ දේවත්වයෙන් පිදුම් ලබන්න පුළුවං...
මේ සියල්ල සිද්ධ වෙන්න තව පැය 3ක් විතර තියෙන්නේ...
එකම අවුල තමයි අපේ රටේ වෙලාවෙන්,
යක්කු ගස්යන වෙලාවට මේ මැච් එක පෙන්නන එක...

මීට කළිං තිබ්බ 2002, 2006, 2010 වර්ල්ඩ්කප් 3 දිම,
අවසාන මහා තරඟේ ගෝල් ගැහුවේ
2002 - බ්‍රසීලේ - ජර්මනිය 2-0,
2006 - ප්‍රංශේ - ඉතාලිය 1-1 (පැනල්ටි 3-5),
2010 - ස්පාඤ්ඤේ - නෙදර්ලන්තේ 1-0 විදියට...
ඒ නිසා මේ තරඟේදීත් මහා විශාල ගෝල් ගාණක් ගහයි කියලා මම හිතන්නේ නැහැ...
කොහොම උනත් ඉතාම තියුණු, සුපිරි, පට්ට සිරා ෆුට් බෝල් මැච් එකක් අපිට දැකබලාගන්න පුළුවං වෙයි...
ඒ වගේම මේ මැච් එක විනාඩි 90කට වැඩිය යයි කියලත් මට හිතෙනවා...
පැනල්ටි ශූට් එකක් දක්වා මැච් එක ගියොත්, බලන අපි මාර වාසනාවන්තයි...
ඒ කොහොම වෙතත්, අද දවස ලෝක ෆුට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්...

ඔක්කොමත් හරි මැච් එක කව්රු දිනයිද....
මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ...
මගේ පෞද්ගලික අදහස,
මෙදාපාර ලෝක ශූරයෝ වෙන්නේ ජර්මනිය...
1-0 හෝ 2-1 විදියට ඔවුන් තරඟය ජයග්‍රාහීව අවසන් කරාවි...
මම හරිද වැරදිද කියලා,
අපි හැමෝටම තව පැය කීපයකින් බලාගන්න පුළුවං වේවි...

එහෙනං,
අලුත් ලෝක ශූරයෝ එක්ක අවසාන මහා තරඟේ පසු සටහන අරගෙන,
හෙට උදේට සෙට් වෙමු...